යේමන ප්‍රහාරයේදී කෲස් මිසයිල යොදාගෙන

යේමන ප්‍රහාරයේදී කෲස් මිසයිල යොදාගෙන

අන්තර්ජාතික ක්ෂමා සංවිධානයෙන් චෝදනා

සිවිල් වැසියන් බහුතරයකින් යුක්තව 55 දෙනකු ඝාතනය වුණු ඉකුත් දෙසැම්බර් යේමන ප්‍රහාරයේදී එක්සත් ජනපදය නීති විරෝධී අයුරින් පොකුරු බෝම්බ අඩංගු කෲස් මිසයිල යොදාගෙන ඇති බව තහවුරු වී ඇතැයි අන්තර්ජාතික ක්ෂමා සංවිධානය චෝදනා කැර තිබේ.

යේමනයේ අල් කයිඩා පුහුණු මධ්‍යස්ථානයකට එල්ල කළ අමෙරිකානු ගුවන් ප්‍රහාරවලදී පොකුරු බෝම්බ යොදාගත් බවට චෝදනා නගන ක්ෂමා ආයතනය ඒ බව තහවුරු කිරීමට ඉදිරිපත් කළ අදාළ ප්‍රදේශයේ වැටී තිබුණු
BLU 97
නම් පුපුරානොගිය පොකුරු බෝම්බයේ ඡායාරූපයකි මේ.

මෙය තහවුරු කරන සාක්ෂි වශයෙන් යේමන ප්‍රහාරය එල්ල වූ තැන දැක්වෙන ඡායාරූප කීපයක් ඔවුන් ඉදිරිපත් කැර ඇත. 2009 දෙසැ: 17 දා එල්ල වූ ප්‍රහාරයෙන් පසු ගත් එම ඡායාරූපවල එක්සත් ජනපදයේ නිෂ්පාදිත ටොම් - හෝක් මිසයිලයක සුන්බුන් හා නොපිපිරුණ පොකුරු බෝම්බ රැසක් දක්නට ලැබී තිබේ.

මේ අනුව යේමනයේ දකුණු අබ්යාන් පළාතේ අල් මාජලා ගම්මානයට එල්ල කළ හමුදා ප්‍රහාරයේදී නීති විරෝධී අවි භාවිතයට එක්සත් ජනපදය පෙළඹී තිබෙන බවට ක්ෂමා සංවිධානය චෝදනා කැර ඇත.

පොකුරු බෝම්බවලින් වගවිභාගයක් නැතිව කැරෙන විනාශයට අමතරව නොපිපිරුණ කුඩා බෝම්බ දිගුකාලීනව ජීවිතවලට හා ජීවනෝපායන්ට තර්ජනයක්ව පවතින බව ප්‍රකාශ වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් පසු යේමන ආරක්ෂක අමාත්‍යාංශය එහි වගකීම බාරගෙන තිබුණේ එක්සත් ජනපද භූමිකාව ගැන සඳහනක් නොකරමිනි. ප්‍රහාරයෙන් සටන්කාමීන් 24 – 30 අතර ප්‍රමාණයක් ඝාතනය වුණු බව ඔවුහු කීහ.

එහෙත් ප්‍රාදේශීය බලධාරීන් කියා තිබුණේ සිවිල් වැසියන් 49 දෙනකු ඝාතනය වුණු අතර ඉන් 23 දෙනකු ළමයින් බවත් 14 කාන්තාවන් බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යේමන පාර්ලිමේන්තුව එහිදී ඝාතනය වුණු අල් කයිඩානුවන් 14 දෙනාට අතිරේකව ප්‍රාදේශීක නේවාසිකයන් 41 දෙනකු මියගොස් ඇති බව කියා තිබිණ.

කාන්තාවන් 14 දෙනකු හා ළමයින් 21 ක් ඊට ඇතුළත් බවද කියැවිණ.

මේ ප්‍රහාරයේදී එක්සත් ජනපදය තහනම් පොකුරු බෝම්බ භාවිත කැර ඇති බව මෙතෙක් ප්‍රකාශයට පත් නොකළේ ඡායාරූපවල සත්‍යාසත්‍ය බව තහවුරු කැරගැනීමට හා එක්සත් ජනපදයට ඊට ප්‍රතිචාර දැක්වීමට කාලය ලබාදී තිබුණු නිසා බව ක්ෂමා සංවිධානය කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා