කඹුරුපිටියේ කුඹුරු අක්කර 5000ක් ජල ගැලීමෙන් විනාශයි

කඹුරුපිටියේ කුඹුරු අක්කර 5000ක් ජල ගැලීමෙන් විනාශයි

මාතර දිස්ත්‍රික්කයේ ඉහළ ජල පෝෂකවලට ලැබෙන වැස්සත් සමඟ ඇති වූ ජල ගැලීමෙන් කඹුරුපිටිය, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල පිහිටි කුඹුරු ගොවිතැනට මේ වන විට දැඩි තර්ජන එල්ල වී තිබේ.

මීට මූලිකව හේතුව බවට පත් වී ඇත්තේ කිරම ආර ගොඩ වීමය. මේ නිසා පලොල්පිටිය, ඌරපොළ, වැල්ලේතොට, මාපලාන, පොලතුගොඩ ප්‍රදේශවල අක්කර පන්දහසකට අධික ප්‍රමාණයක් ක්ෂණික ගංවතුර හේතු කොට ගෙන යටවන තත්ත්වයට පත්ව තිබේ.

මේ ගැන අදහස් දක්වන ඉහළ විටියල කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි එස්. රාජපක්ෂ මහතා - මේ ඌරපොළ යායට වැටෙන ජලය ඉක්මනින් බැස නොයන තත්ත්වයට පත්ව තිබේ. මීට මූලිකම හේතුව බවට පත් වී ඇත්තේ වාරිමාර්ග අවහිරවීම නිසා කුඹුරුවලින් ඉක්මනින් ජලය බැස නොයෑමයි.

එම්. ගුණපාල මහතා - මේ ගංවතුර තත්ත්වය නිසා මගේ කුඹුරු සැමදාම පාළු වෙනවා. දැනට වගා කරනු ලැබූ බොහෝ කුඹුරු මම අතහැර දමලා තිබෙන්නේ. වියදම විතරයි ලබාගත් ලාභයක් නෑ.

ටී. ඉලේසිංහ ගොවි මහතා - මේ ප්‍රදේශවල ජල කළමනාකරණය ක්‍රමවත් ආකාරයට සිදු නොවන තත්ත්වයක් තමයි මීට ප්‍රධාන හේතුව. බලධාරීන්ට කොතරම් දැනුම් දුන්නත් ප්‍රතිඵලයක් නෑ.

පලොල්පිටිය ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ආර්. ධර්මදාස මහතා - අවුරුදු ගණනාවක ඉඳලා මේ ගැටලුව තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ කිරම ආරෙන් ජලය මේ ප්‍රදේශවල වාන් දැමීම වැළැක්වීම උදෙසා ආරක්ෂිත උස් වේල්ලක් සකස් කරන ලෙසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා