මාතලේ කොම්පෝස්ට් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉබි ගමනේ

මාතලේ කොම්පෝස්ට් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉබි ගමනේ

මාතලේ නගරයේ කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මාතලේ මහ නගර සභාව පරිසර අමාත්‍යාංශයේ ද සහයෝගය යටතේ රුපියල් ලක්ෂ 28 ක වියදමින් මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදි කෙරෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉබි ගමනේ පවතී. මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාතලේ ඓතිහාසික මැක්ඩොනල් බළකොටුවට අයත් භූමියක සිදුවෙමින් පවතී.

කොම්පෝස්ට් ව්‍යාපෘතිය සඳහා ඉදි වූ ටැංකි

කැළි කසළ උවදුර දිගු කාලයක් තිස්සේ මාතලේ නගරයට ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබියදී මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉබි ගමනේ සිදුවීම ද ගැටලුවක් වී ඇත. මේ වන විට ප්‍රධාන වශයෙන් මාතලේ නගරයේ අපද්‍රව්‍ය මාතලේ නගරාසන්න බණ්ඩාරපොළ වත්ත ප්‍රදේශයට ගෙනවිත් දැමීමද එම ප්‍රදේශවාසීන්ගේ බලවත් විරෝධයට හේතු වී තිබේ. දැනට කොම්පෝස්ට් ව්‍යාපෘතිය ඉදිවෙමින් පවතින භූමිය අසලටද කැළි කසළ ගෙනවිත් දමන තත්ත්වයක්ද පෙනෙන්නට තිබේ.

මාතලේ නගරයට මායිම් වූ සුදුගඟට ගලා බසිනා ඇළ ඉවුරකට මාතලේ නගරයේ කැළි කසළ බැහැර කිරීම නිසා පරිසර ගැටලු රැසක් ඉස්මතු වී තිබේ. මේ නිසා පරිසරය පුරා පැතිර යන දුගදත්, මැසි මදුරු උවදුරත්, තවත් පාරිසරික ගැටලු රැසක් නිසාත් තමන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි බණ්ඩාරපොළ වත්ත ප්‍රදේශවාසීහු පවසති.

මාතලේ නගරයේ පවතින කැළි කසළ ප්‍රශ්නය ඉදිරියේ දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති කොම්පෝස්ට් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් මේ ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇතැයි නගරවාසීහු පෙන්වා දෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා