මාතලේ දිසා මලල ක්‍රීඩා අද ඇරැඹේ

මාතලේ දිසා මලල ක්‍රීඩා අද ඇරැඹේ

මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මාතලේ දිසා මලල ක්‍රීඩා උළෙල අද (1) හෙට (2) සහ අනිද්දා (3) තෙදින තුළදී මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහභාගි වීමට නියමිතය.

වයස් සීමා යටතේ මාතලේ දිසාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින එකම ක්‍රීඩා තරගාවලිය ද මෙයයි. වයස අවුරුදු 11, 13, 15, 17, 19 සහ 21 න් පහළ වයස් සීමා යටතේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරග ඉසව්වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසක් පමණ තරග වැදීමට නියමිතව ඇතැයි මාතලේ දිසා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රංජිත් අළුවිහාරේ මහතා “දිනමිණ” ට පැවසීය.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන මාතලේ දිසා මලල ක්‍රීඩා විශිෂ්ටතා සම්මාන ප්‍රදානය තෙවැනි වරටත් අද පෙරවරුවේ මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. මෙහිදී 2010 වසරේ මාතලේ දිසාව නියෝජනය කරමින් ජාතික තරගවලදී දක්‍ෂතා දැක්වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සම්මාන ලැබීමට නියමිතය. ඒ අතුරින් වසරේ දක්‍ෂතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනේ.

මේ යටතේ ක්‍රියාත්මක ගුරුපිය හරසර වැඩසටහන යටතේ මුල් වරට මාතලේ දිසාවට සහ මුළු දිවයිනේම ක්‍රීඩා ක්ෂේත්‍රයට අමිල සේවයක් කළ ක්‍රීඩා පුහුණුකරුවන්, සංවිධායකයන් සහ ක්‍රීඩකයන් වූ විජය උඩුපිහිල්ල, මර්වින් රණසිංහ, ඒ. ජේ. එම්. ෆාරුක් සහ යූ. එල්. එම්. ලතිබ් යන මහත්වරු උපහාර ලබති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා