විජයග්‍රහණයට වසරයි

විජයග්‍රහණයට වසරයි

2010 ජනාධිපතිවරණය පවත්වා අදට (ජනවාරි 26) වසරක් සම්පූර්ණ වේ. එමෙන්ම 2011 පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යොජනා පත්‍ර භාර දීම ද අද දිනයෙන් ආරම්භ වීම ද සුවිශේෂී ය. 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය රටේ සුබ සිද්ධියට හේතු වූයේ කෙසේද? එදා ජනතාවගේ අපේක්ෂා මේ වනවිට කෙතරම්දුරට මල්ඵල ගැන්වී තිබේද සහ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ගනුලබන තීන්දුව ජනාධිපතිවරණයේදී ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ජය ගැනීමට කෙතරම්දුරට උපකාරි වේද යන්න පිළිබඳ මෙම ලිපිය මඟින් විමසා බැලේ.

තීරණාත්මක මැතිවරණයක්

පසුගිය වසරේ ජනවාරි 26 දින ඔබට මතක ද එදින රට ඉදිරියේ පෙළ ගැසී තිබුණේ අතිශය තීරණාත්මක වූත් බිහිසුණු වූත් අභියෝගයකි. එදින මෙරට අති බහුතර ජනතාවක් නිවැරැදි ලෙස මෙම තත්ත්වය තේරුම් නොගත්තේ නම් අද රට තිබෙන්නේ මෙම තත්ත්වයේ නොව අතිශය බිහිසුණු අඩියක වීමට හොඳටම ඉඩ තිබුණි. එදා තිබූ එම තීරණාත්මක ජනාධිපතිවරණයේදී තරගය ඇති වී තිබුණේ මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන චරිත දෙක අතර නොව රටට හිතැති රටට ආදරය කරන ප්‍රගතිශීලි කඳවුර හා දේශයට ආදරය නොකළ ධනපති සහ අන්තවාදීන්ගේ ප්‍රතිගාමී කඳවුර අතරය.

මෙම තත්ත්වය තුළ රට ඉදිරියේ තිබූ අභියෝගය වූයේ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දී රටත් දැයත් සංවර්ධන මෙහෙයුමත් ආරක්ෂා කරනවා ද නැතිනම් ඔහුට එරෙහිව ඡන්දය පාවිච්චි කර සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරවා රට විනාශයේත් භීෂණයේත් මාවත වෙත යොමු කරනවා ද යන ප්‍රශ්නයයි. සරත් ෆොන්සේකා මහතා ගේ පෙර ක්‍රියාකාරකම් කුමක් වුවද එම ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ඔහු වටා පෙළ ගැසී සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට උදව් කළ බලවේග; රටට එරෙහිව ජවාරම්කරුවන්ට සහය දුන් පිරිස් හා රට විනාශය වෙත යොමු කළ පාර්ශවයන් ය.

එවැනි තත්ත්වයක් තුළ රටට යහපතක් බලාපොරොත්තු විය නොහැකිව තිබුණි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්නේ එවැනි විනාශකාරි දේශපාලන බලවේග නොව රටට හිතැති, රටට ආදරය කරන ලද දේශපාලන බලවේගයන්ය. මේ සියල්ල හොඳින් විමසා බැලූ මෙරට ඡන්ද දායකයා මීට වසරකට පෙර දෙවන වතාවට ද මහින්ද රාජපක්ෂ මහතා වෙත රට ඉදිරියට ගෙන යාමේ වගකීම භාර දුන්නේ එබැවිනි. එදා එලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙත රට භාර දීමට තීරණය කළ ජනතාව හදවතින්ම ප්‍රාර්ථනා කළේ එක් දෙයකි.

එනම් යුද්ධය නිමා කළ මේ නායකයා රටේ ආර්ථික හා සංවර්ධන මෙහෙයුම ද නිසි ලෙස ජයගනු ඇතැයි යන්නය. පසුගිය 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විමසා බලන්නෙකුට ඒ තත්ත්වය ජනතාවගේ බලාපොරොත්තුවක් බව මනා ලෙස වටහා ගත හැකිය. ජනාධිපතිවරණයේ ප්‍රතිපලය පිළිබඳව පෙර විමසුම් කළ විචාරකයන්ගේ පොදු මතය වූයේ “නූලෙන් තීරණය වන” මැතිවරණයක් බව මෙම ජනාධිපතිවරණය පත්වනු ඇතැයි කියා ය. ප්‍රචාරක ව්‍යාපාරය දෙස බැලූ බැල්මට වුවද දැක ගන්නට ලැබුණේ එවැනි තත්ත්වයකි.

එය අප මතුපිටින් දුටු දේ වුවද සමාජය අභ්‍යන්තරයේ මෙන්ම පර්යන්ත ප්‍රදේශවල ජනමතය ද මෙයට වඩා හාත් පසින් වෙනස් මට්ටමක තිබුණි. එහෙත් එම මතය නගරයේ සිට නිරීක්ෂණය කරන්නෙකුට දක්නට නොලැබුණි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව තදින්ම විශ්වාස කළේ ය. “අපි ජනවාරි 26 වෙනිදට ලබන්නේ ජයග්‍රහණයක් නොවේ; විජයග්‍රහණයක්” ජනාධිපති රාජපක්ෂ මහතා නිර්භයව ප්‍රකාශ කළේ ඒ නිසා ය.

යුද බිය නැතිවුණා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තම ජයග්‍රහණය පිළිබඳව විශ්වාස කිරීමට හේතු ඕනෑවටත් වඩා තිබුණි. තිස් අවුරුදු යුද්ධය තුන් අවුරුද්දකින් නිමාවට පත් කිරීම, යුද්ධයත් සමඟ රටේ ආර්ථික හා සංවර්ධන කටයුතු ද එක ලෙස සිදු කිරීමත් එහි ප්‍රතිලාභ ජනතාවට තම දෙඇස් අභියස දැක බලා ගැනීමට පුළුවන් වීම එයින් ප්‍රධානය. ඒ ගැන එදා ප්‍රචාරක රැළියකදී කතා කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ‘සමහරු යුද්ධයට මුවා වෙලා කිසිවක් නොකර සිටියා. ඒත් අපි යුද්ධය ජය ගන්නා අතර සංවර්ධනයට අවශ්‍ය පසුබිම ගොඩනඟන්නටත් පුළුවන් වුණා.  එහෙම නොවුණානම් සංවර්ධනයේ ප්‍රතිලාභ මේ තරම් ඉක්මනට රටට ලබා දීමට ලැබෙන්නේ නැහැ.”

මෙය ජනාධිපතිතුමා දේශපාලන වේදිකාව තුළ සිදු කළේ හුදු ප්‍රලාපයක් ලෙස නොවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ජනාධිපතිවරයාට බහුතර මනාපය පළ කළේ එබැවිනි. එමෙන්ම එම ප්‍රතිඵලය මඟින් රටේ මහජන මතය කුමක් ද රට ඉදිරියට ගමන් කළ යුතු දිශාව කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳව පැහැදිලි ඉඟියක් ලැබී තිබුණි. අද පළාත් පාලන ඡන්දය අරබයා එජාපය ඇතුළු විපක්ෂය ගොඩනඟන ප්‍රබලම තර්කයක් වන්නේ තමන්ට නගරය තුළ වාසිදායක තත්ත්වයක් තිබෙන නිසා රජය මහ නගර සභා සහ නගර සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බවය. එදා ජනාධිපතිවරණයේදී ද එජාපය, ජවිපෙ ඇතුළු විපක්ෂය ගොඩනැඟූ මතය වූයේ ද එයයි.

ගැති නොවූ ආර්ථික පිළිවෙතක්

එහෙත් ජනාධිපතිවරණ ප්‍රතිපලය නිකුත් වූ පසු ඔවුන්ගේ එම මතය සම්පූර්ණයෙන්ම පරාජය වී තිබුණි. ජනමාධ්‍ය සමඟ සමීපව ගනුදෙනු කරන දැනුවත් පිරිසක් සිටින බව සැලකෙන, කොළඹ දිස්ත්‍රික්කය තුළ දී සරත් ෆොන්සේකා මහතාට ලබා ගැනීමට පුළුවන්කම ලැබුණේ 40%ටත් මදක් අඩු ඡන්ද ප්‍රතිශතයක් පමණි. මහින්ද රාජපක්ෂ මහතා ඉතාමත් පහසුවෙන් 60% ඡන්ද ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයේ දී ඉක්මවා ගිය අතර ගම්පහ දිස්ත්‍රික්කයේදී ද දැක ගැනීමට ලැබුණේ මෙයට සමගාමී වූ තත්ත්වයකි. එදා සරත් ෆොන්සේකා මහතාට ජයගැනීමට පුළුවන්කම ලැබුණේ කොළඹ නගරයේ මැතිවරණ කොට්ඨාස පහකි.

මීගමුව ,මහනුවර ,ගාල්ල ආසනය ඇතුළු ආසන කිහිපයක් පමණි. එම ප්‍රදේශ සම්ප්‍රදායිකව එජාපයට වාසිසහගත ආසන වුවත් එහිදී ද ෆොන්සේකා මහතාට අපේක්ෂා කළ තරමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය. මේ හැම කරුණක් මගින්ම පැහැදිලි වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට අති බහුතර ඡන්ද දායකයන් ප්‍රමාණයක් බලාපොරොත්තු වූයේ කුමක්ද යන්නයි. ඔවුන්ට අවශ්‍යව තිබුණේ යුද්ධය නිමා වූ රට තුළ මහා සංවර්ධනයක් හා ආර්ථික විප්ලවයක් වෙත රට යොමුකළ යුතු බවයි.

එදා ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත තම ඡන්දය පාවිච්චි කරමින් ඔවුන් තැබූ බලාපොරොත්තු හා අරමුණු මෙම ගෙවී ගිය වසර තුළ කෙතරම් දුරට යථාර්ථයක් බවට පත්ව තිබේ ද යන්න පිළිබඳව විමසා බැලිය යුතුය. ජනතාව 2005 දී මුල්වරට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කර ගැනීමේදී ඔවුන්ගේ අරමුණ වූයේ අරාජික වෙමින් තිබූ රට නැවැත ගොඩනැගීමත් ත්‍රස්තවාදය පරාජය කර රට තුළ තිබූ මරණ බිය පහ කිරීම යන කරුණු ය. එදා ජනතාවගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඔහුගේ පාලනයේ සිව් වසරක් ඉක්මවා යාමටත් පෙර පුළුවන්කම ලැබුණි.

2010 දී ඔහු කෙරෙහි විශ්වාසය තැබූ මහජන ගඟ 2005 ට වඩා විශාල වූයේත් ඔහු පොරොන්දු දී අත සෝදා ගත් නායකයකු නොවී පොරොන්දු ඉටුකළ සහ තමා වෙත බාරවුණු භාරධුර වගකීම ඉතාමත් විශිෂ්ට ලෙස ඉටුකළ නායකයකු වූ නිසාය. දැන් එළැඹ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඔහුගේ දෙවන ධුර කාලයේදී සිදුකළ යුතු වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු කාලයයි. රටේ පුරවැසියකු ලෙස නිදහස් මනසින් බලන කළ ජනාධිපතිතුමා එම යුතුකම් හා වගකීම් තම කර මතට ගෙන අනාගත සංවර්ධන ඉලක්ක වෙත රට ගෙනයන ආකාරයක් අපට දැකිය හැකිය.

ලොවම පිළිගත් සංවර්ධන මෙහෙයුම

යුද්ධය නිමා වූ පසු රට ඉදිරියේ ඇති මීළඟ අභියෝගය ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කල්පනා කළේ ආර්ථික හා සංවර්ධන ඉලක්ක ජයගැනීමයි. එහෙත් රාජපක්ෂ මහතා ඒ සඳහා තෝරා ගත්තේ පසු ගිය දශක තුන හතර තුළ මෙරට සිටි හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු තෝරාගත් යල්පැන ගිය හා ගර්භිත වූ ආර්ථික හා සංවර්ධන උපක්‍රම නොව අලුත් සංවර්ධන හා ආර්ථික වැඩපිළිවෙළකි. එනම් දේශීයත්වයට මුල්තැන දෙමින් හා ලොව කිසිදු රාජ්‍යයකට ගැති නොවූ පිළිවෙතක් අනුගමනය කිරීමය.

අද වනවිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්ථික හා සංවර්ධන ප්‍රතිපත්ති රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළද ස්ථාපිත වෙමින් තිබේ. මෙතෙක් කල් බොහෝ අයගේ සැලැසුම වූයේ ජනතාවට නොදැනෙන ආර්ථික හා සංවර්ධන දත්ත හරහා පමණක් රට ගම සංවර්ධනය වූවායැයි ප්‍රකාශ කිරීමය. එහෙත් වර්තමානයේ සිදුවන සංවර්ධනය හා ආර්ථික වර්ධනය ජනතාවට ඇඟට දැනෙන සංවර්ධනයක් බවට පත්වී ඇත. පසුගිය වසරේ ජනවාරි 26 වෙනිදා ජනතාව බලාපොරොත්තු වූයේ එම තත්ත්වයයි. අලුත් වරාය, අධිවේගී මාර්ග, නාගරික හා ග්‍රාමීය සංවර්ධනය , ගුවන්තොටුපොළ, මහා මාර්ග සංවර්ධනය, වාරිමාර්ග සංවර්ධනය ඇතුළු විවිධ මංපෙත් ඔස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉටු කරමින් සිටින්නේ එම සංවර්ධන මෙහෙයුමයි.

එම ඉලක්ක සියල්ල දින තුන්සිය හැට පහක් වැනි සුළු කාල සීමාවක දී ඉටු කිරීම අපහසු දෙයක් වුවද ඒ සඳහා වූ අඩිතාලම මත මෙම අලුත් සංවර්ධන මෙහෙයුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වය යටතේ සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරමින් තිබේ. මෙහිදී ජනාධිපතිතුමාට හෝ රජයට පමණක් මේ කාර්ය භාරය තනිව ඉටුකළ නොහැකි අතර ඒ සඳහා ජනතාවගේ පූර්ණ සහය හා ආශිර්වාදය අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඒ සඳහා හොඳ ප්‍රවේශයක් ලෙස සඳහන් කළ හැකිය.

රට වෙනුවෙන් තීන්දුවක්

විපක්ෂය සඳහන් කරන ආකාරයට මේ වනවිට ආණ්ඩුව ගම් මට්ටමින් පිරිහිලාය. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව පරාජය කිරීමට ඔවුන්ට ශක්තිය තිබේ. එහෙත් යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් යුතුව සලකා බලද් දී පමණක් නොව 2006 මාර්තු මස පැවැති පළාත් පාලන මැතිවරණයේ සහ 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරද්දී මෙහි වාසිය ඇත්තේ ආණ්ඩුවට ද විපක්ෂයට ද යන්න මනා ලෙස හඳුනාගත හැකිය. 2006 මාර්තු පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සන්ධානය පළාත් පාලන ආයතන තුන් සියයකට ආසන්න ප්‍රමාණයක් ජයග්‍රහණය කළ අතර එජාපයට හිමි වූයේ පළාත් පාලන ආයතන 37 බලය පමණි.

ඔවුන්ට එදා එම සුළු ජයග්‍රහණය හෝ ලබා ගැනීමට පුළුවන් වූයේ එජාපය තුළ සිටි ප්‍රබලයන්ගේ ශක්තිය නිසා ය. අද වන විට එජාපය තුළ සිටි ප්‍රබලයන්ගෙන් අති බහුතරය ආණ්ඩුව තුළ කටයුතු කිරීම නිසා ඔවුන්ට 2006 මාර්තු පළාත් පාලන මැතිවරණයේදී තිබූ වාසිය ද අහිමි වී තිබේ. පසුගිය 2010 ජනාධිපතිවරණ ප්‍රතිපලය අනුව ගත්ත ද එජාපයට හිමිවන්නේ අන්ත පරාජයකි. මෙහිදී ඡන්ද දායකයන්ට ද විශාල වගකීමක් හා අයිතියක් තිබේ.

එනම් තමන් විසින්ම 2010 ජනාධිපතිවරණයේදී රටේ, ආර්ථික හා සමාජීය සංවර්ධනය අපේක්ෂාවෙන් බලය ලබාදුන් ජනාධිපතිවරයාට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය තවදුරටත් ලබා දීමය. ඒ සඳහා එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දුන් තීන්දුව නැවත සනාථ කළ යුතුය.  රටක් සංවර්ධනය, සමෘද්ධිය හා ආර්ථික ස්ථාවරත්වය වෙත ගමන් කරද්දී බිම් මට්ටමේ පළාත් පාලන ආයතනවල සහයෝගය ද රජයට අත්‍යවශ්‍ය වේ.

එය එසේ නොවී රජයේ වැඩපිළිවෙළ පිළිනොගෙන කඩා කප්පල් කරන තැනකට එම ආයතන යොමු වුවහොත් ලැබිය හැක්කේ ද ඍණාත්මක හා සතුටු විය නොහැකි ප්‍රතිපලයකි. ඒ නිසා 2010 ජනාධිපතිවරණයේදී ජනතාව ගත් තීන්දුව තවදුරටත් ස්ථාවර කර ගැනීමට නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ සහ රජයේ සාර්ථක පිළිවෙත තවදුරටත් ඉදිරියට ගෙනයාමටත් මෙම පළාත් පාලන මැතිවරණයේදී ද නිදහස් සන්ධානයට පළාත් පාලන ආයතනවල බලය ලබාදිය යුතුය. විවිධ බාධක අභියෝග මැද බඩ ගැන නොසිතා රට වෙනුවෙන් ඔබ ගත් තීන්දුව ප්‍රතිඵලදායක තීන්දුවක් වීමට නම් ඔබ 2010 ජනාධිපතිවරණයේදී ගත් තීන්දුව හා සමාන තීන්දුවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද ගත යුතුමය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා