දීප්තිමත් දේශපාලන පණිවුඩයක් ගෙනා මහින්ද ජනපති

දීප්තිමත් දේශපාලන පණිවුඩයක් ගෙනා මහින්ද ජනපති

ශ්‍රී ලංකාවට නිදහස හිමි වුයේ 1948 පෙබරවාරි 04 බව බොහෝ දෙනා අතර ජනපි‍්‍රය මතයයි. එහෙත් 48 වර්ෂයේ සිට 2009 වර්ෂය අතර කාලපරිච්ඡේදය තුළ මෙරට ගොඩනැංවුණ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වටපිටාව පිළිබඳ අවධානය යොමුකිරීමේ දී සත්‍ය වශයෙන් ම අප සැබෑ නිදහසක් භුක්ති වින්ඳාද යන්න ප්‍රශ්නාර්ථයකි. 1948 වර්ෂයේ දී යටත්විජිත පාලකයන්ගෙන් අපට ලැබුණේ නාමික නිදහසක් පමණි.

ඒ නිදහස තුළ රටේ ආර්ථිකය නිදහස් කර ගැනීමට හෝ නිදහස් කොට ගත් ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු ජනයා අතර සාධාරණව බෙදී යාමක් හෝ සිදු වූයේ නැත. අනෙක් අතට 1948 ලැබුණ නිදහස තුළ දේශපාලන නිදහසක් හෝ රටේ ජනතාවට දේශපාලන කටයුතුවලට දායක වීමට හැකි අවකාශ පුළුල් කරන වටපිටාවක් හෝ නිර්මාණය වූයේ නැත. එමෙන් ම අපේ රටේ සංස්කෘතික සමාජ බලවේගවලට රටේ උවමනා එපාකම් අනුව දේශපාලනය, ආර්ථිකය පවත්වා ගෙන යාමේ ප්‍රශස්ත වූ වටපිටාවක් මේ නිදහසින් නොලැබුණි.

1956 දී සිදු වූ දේශපාලනික පෙරළියත් සමඟ ම මේ පසුගාමී සමාජ, ආර්ථික, දේශපාලනික වටපිටාව යම්කිසි විපර්යාසයකට බඳුන් වෙමින් රට තුළ ප්‍රගතිශීලී වටපිටාවක් ගොඩනැඟුණ ද බණ්ඩාරනායකයන්ගේ ඝාතනය, 1960 දශකයේ දී සිදු වූ දේශපාලනික කුමන්ත්‍රණ ජනවාර්ගික ඉල්ලීම් මුල්කරගෙන බරපතළ අර්බුද නිර්මාණය වීම මෙන් ම 1971 ඇති වූ තරුණ කැරැල්ල නිසා ද ශ්‍රී ලංකාවට ලැබුණ නාමික නිදහස යථාර්ථවාදී නිදහසක් බවට පත් කර ගැනීමට ගත් උත්සාහය උපන් ගෙයිම මියැදුණේ ය.

සංස්කෘතික අනන්‍යතාව

ඉන් පසුකාලීනව අප රටක් වශයෙන් මුහුණ දුන්නේ අති දැවැන්ත ඛේදවාචකයකට ය. විශේෂයෙන් ම සිංහල ජන සමාජය කේන්ද්‍ර කොටගෙන ගොඩනැඟුණු කැරළි මෙන් ම ඒ කැරළි මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග ද කැරැළිකරුවන් ගේ යම් යම් ක්‍රියාකාරකම් ද අප වැනි නාමිකව හෝ නිදහස ලැබූ අලුත් රටකට ඔරොත්තු නොදෙන තරම් විය. 1977 වර්ෂයෙන් අනතුරුව රට තුළ ඇති වෙන ඛේදවාචකය සියල්ලට වඩා භයානක ය. ඉතා පටු හා සංවේදී සටන් පාඨ කිහිපයක් ඉදිරිපත් කරමින් රාජ්‍ය බලයට එක් ව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව මෙරටේ සංස්කෘතික අනන්‍යතාව, ජාතික අනන්‍යතාව පාගා දමමින් ඉතාම බරපතළ මුදලාලිවාදයක් රට තුළ ගොඩනැඟුවේ ය.

ඒ මුදලාලිවාදයේ ඉතාම කුරිරු සහ නරුම අවස්ථාවන්ගෙන් එකක් ලෙස 1980 ඇති වූ මහා වැඩ වර්ජනය මර්දනය කළ ආකාරය දැක්විය හැකි ය. වැඩ වර්ජනයේදී 40000 කට අධික පිරිසක් සිය සේවා ස්ථානයන්ගෙන් පලවා හැර ඒ වෙනුවට සිය දේශපාලන හිතවතුන්ට එම තනතුරු ලබා දුන්නේ ය. ඉන් නොනැවතී එවකට රටේ ප්‍රධාන දේශපාලන නායිකාවක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක වැන්නවුන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම 1982 ජනමත විචාරණය ඉතාමත් ම දූෂණ සහ වංචා සහිත ජනමත විචාරණයක් බවට පත් කිරීම ආදී සමාජය විනාශය කරළීමට හේතු වන විවිධ බලවේග ඒ සමාජය තුළ ක්‍රියාත්මක විය.

මේ තත්ත්වය දෙගුණ තෙගුණ වූයේ 1983 පසුව තීරණාත්මකව ඉදිරියට වර්ධනය වූ LTTE ත්‍රස්තවාදය සමඟින්ය. ඉන් අනතුරුව මෙරටේ ජනතාවට අවම නිදහසක් හෝ භුක්ති විඳීමට ඉඩ සැලසුණේ නැත. 83 පසුව දැවැන්තව නැඟී සිටි LTTE ත්‍රස්තවාදය සිංහල සමාජය, දෙමළ සමාජය, මුස්ලිම් සමාජය පමණක් නොව ලෝක සමාජය පවා ත්‍රාසයට භීතියට පත් කළ මහා භීෂණයක් මුදා හැරියේ ය. මේ භීෂණයත් සමඟින් ම 1987 දී ඇති වූ අති දැවැන්ත ඛේදවාචකයෙන් උතුර මෙන් ම දකුණත් ගිනි ගත්තේ ය. එවකට රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව දකුණේ පමණක් 60000 කට අධික තරුණ පිරිසක් ඝාතනය විය.

අභියෝග

1977 න් පසුව රට තුළ ඇරැඹි දේශපාලන ක්‍රියාවලිය නිසා ගොඩනැගුණු ඛේදවාචකය 80 දශකයේ දී තව දුරටත් මෝරා ගිය අතර 1983, 1987 ආදී කාලපරිච්ඡේද තුළ රට ගිනි ගොඩක් බවට පත් විණි. මේ තත්ත්වය තුළ හුදු නිදහසක් තබා ජීවත්වීම කොයි මොහොතේ අහිමි වේදෝයි යන ඛේදනීය තත්ත්වයට ජන සමාජය පත් විය. උදෑසනින් ම නිවසින් පිටවෙන පුද්ගලයා සවස ආපසු නිවසට ඒමට හැකිවේදෝයි යන්න විශ්වාස කිරීමට තරම් අපහසු අවිනිශ්චිත තත්ත්වයකට ජනතාව ගොදුරු වී තිබුණි. දශක ගණනාවක් පුරා ලාංකේය ජනයා මුහුණ දුන් මේ අභියෝගයෙන් ඔවුන් මුදාගැනීමට මෙරට බලයට පත් වූ කිසිදු රාජ්‍ය නායකයෙකුට අවකාශ සැලසුණේ නැත.

එහෙත් 2005 වර්ෂයේ දී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශක්තිමත්ව යුද්ධයට මුහුණ දෙමින් එය ජයග්‍රහණය කරා ගමන් කරවීමට සමත් විය. එහෙයින් 1948 වර්ෂයේ දී අපට හිමි වූ නාමික නිදහස සැබෑ නිදහසක් බවට පත් කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා 2009 වර්ෂයේ දී සමත් විය. මහින්ද රාජපක්‍ෂ මහතා තනි පුද්ගලයෙකු වශයෙන් බලයට පත්වීම තීරණාත්මක සාධකයකි. අපේ රටේ දේශපාලන සමාජය දියුණු දේශපාලන සමාජයක් නොවේ. අති බහුතරයක් දේශපාලනඥයන් ක්‍රියාකරන්නේ තමන්ට හා තම පවුලට ලැබෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජන සලකාගෙන බඩගෝස්තරවාදී පදනමකිනි.

එහෙත් ඒ බඩගෝස්තරවාදී දේශපාලනයට ඉහළින් දීප්තිමත් දේශපාලන පණිවුඩයක් ගෙන ආ පුද්ගලයා වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ය. එනම් දේශපාලනයෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභ පසුපස දිව ගියා වෙනුවට සෑම විට ම සිය මාතෘ භූමිය ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ රාජ්‍ය නායකයෙකි. මෙය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හැර වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙකු තුළ දැකගත හැකි වූ ලක්‍ෂණයක් නොවේ. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතා 30 වසරක කුරිරු යුද්ධයෙන් මේ රට ගලවා ගන්නා බවට වූ පොරොන්දුව, 1931 වර්ෂයේ සිට විවිධ පොරොන්දු රැසකට යට වී සිටි බොහෝ පිරිස් සිතුවේ එය තවත් බොරු දේශපාලන පොරොන්දුවක් පමණක් කියා ය.

එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් ඒ පොරොන්දුව 2005 සිට වසර 4 ක් තුළ ඉටු කරමින් මෙරට භූ®මියෙන් මුළුමනින් ම ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට සමත් විය. මේ ක්‍රියාව නිසි ලෙසකින් හෝ කිසිදා හෝ අවතක්සේරු කළ හැක්කක් නොවේ. ඇතැම් දෙනාගෙන් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට ඇතැම් අවස්ථාවල දී යම් යම් විවේචනයන් එල්ල විය. ආණ්ඩුවේ යම් යම් දුර්වලතා තිබුණත් ඒ පිළිබඳ යම් යම් විවේචන ඉදිරිපත් කළ හැකි වුවත් පුද්ගලයෙකු වශයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගේ අඩු ලුහුඬුකම් පිළිබඳ විවේචනය කිරීමට පෞද්ගලිකව මම සුදුස්සෙක් නොවෙමි. ඊට හේතුව නම් මා එතුමා තරම් මේ රටට සේවයක් කොට නොතිබීමයි.

මේ අවස්ථාවේ දී තවත් අපූරු සිද්ධියක් කිව යුතුය. ජනාධිපතිවරණය පැවැත් වූ ජනවාරි 26 වැනිදා මගේ දියණියගේ ද උපන් දිනයයි. දිනක් පාසල ඇරී ගෙදර එන අතරතුරේ දී මගේ දියණිය මගෙන් විමසුවේ අප්පච්චි බොරැල්ලෙ රැස්වීම තිබුණ ද? ඊළඟට ඇය ඇසුවේ ඒ රැස්වීමට විශාල ජනකායක් සහභාගි වූවා ද කියායි. ඊට මා ඔව් යැයි පැවසූ විට දියණිය පැවසූයේ එහෙනම් භය වෙන්න දෙයක් නෑ. ෆොන්සේකා දිනන්නෙ නෑනෙ. මහින්ද මාමනෙ දිනන්නෙ. මම දියණියගෙන් විමසුවේ මහින්ද රාජපක්‍ෂ මහතාට ඔය තරම් කැමති ඇයි කියාය. එවිට ඇය කරුණු 2 ක් ඉදිරිපත් කළාය. එකක් තමයි එයා ළමයින්ට ආදරෙයි. අනික එයා රටට ආදරෙයි යනුවෙනි. කුඩා දැරියකට පවා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තුළින් සුවිශේෂීත්වයක් දක්නට ලැබෙයි.

බලාපොරොත්තුවේ සංකේතය

ජනවාරි 26 වැනිදා මෙරට ජනතාව ජනාධිපතිවරණයේ දී ලබා දුන් අති විශිෂ්ට ජයග්‍රහණය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පිළිබඳ මිසක වෙන කිසිවෙකු හෝ පිළිබඳ තැබූ විශ්වාසයක් නොවේ. රටේ ජනතාවට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අති දැවැන්ත සෙවණැල්ලක් බවට පත් විය. එනම් මෙරටේ බහුතර ජනයා ගේ සිත තුළ තිබෙන බලාපොරොත්තුවක්, සංකේතයක් බවට පත් විය. ඒ අනුව 2010 ජනවාරි 26 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත් ජයග්‍රහණය වූ කලී මහා නායකයෙකු කෙරෙහි මහා ජනකායක් තැබූ නොබිඳෙන හා ශක්තිමත් විශ්වාසයක් ලෙස සැළකිය හැකි ය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේ දී අනන්ත අප්‍රමාණ අභියෝග රැසකට මුහුණ දී ඒ සියල්ල ජය ගැනීමට හැකි වූයේ පුද්ගලයෙකු වශයෙන් එතුමා ගේ කැපවීම හා ක්‍රියාකාරීත්වය පිළිබඳ මෙරට ජනයා තුළ තිබූ අචල විශ්වාසයයි. ඒ විශ්වාසය තුළ ඉදිරියට යා යුතු ගමනක් තිබේ. ඒ ගමන තුළ අභියෝග බොහොමයක් ද තිබේ.

පරිපූර්ණභාවය

මේ ඉදිරි ගමනේ දී හඳුනාගැනීමට ලැබෙන අභියෝග අතර මහින්ද චින්තන ඉදිරි දැක්ම 2011 පරිපූර්ණභාවයට පත් කරගන්නේ කෙසේද යන්න ප්‍රධානම අභියෝගයකි. එම අභියෝගය නිසි පරිදි ජය ගැනීමට හැකි වුවහොත් සෙසු අභියෝග ජයගැනීම කිසිලෙසකින් හෝ අපහසු නොවේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මහින්ද චින්තනයේ හරය බවට පත්ව ඇත්තේ පුද්ගලයා ගොඩනගා පවුල ගොඩ නැඟීම, පවුල ගොඩනඟා ගම ගොඩ නැඟීම, ගම ගොඩ නඟා රට ගොඩනැඟීම, රට ගොඩ නඟා ලෝකය දිනීම. මේ හරය ක්‍රියාත්මක කර ගැනීම සඳහා වූ ඒ මහා බලවේගයන් නිර්මාණය කරන්නේ කෙසේද යන අභියෝගය ද අද ජනාධිපතිතුමන් ඉදිරිපිට තිබේ.

වීර පුරන්අප්පුව ඝාතනය කිරීමට සුදානම් වූ මොහොතේ ඔහු ප්‍රකාශ කළේ අපේ අම්ම මා වැනි තවත් එක පුතෙක් හැදුවා නම් රටේ එක සුද්දෙක්වත් ඉතිරි නොවන බවයි. ජනාධිපතිතුමා තරමින් ම නොවුණත් එතුමාගේ ගුණයෙන් 50% ක් හෝ ඇති අය 10 ක් 12 ක් සිටී නම් මේ රට ගොඩනැංවීම එතරම් අපහසු කාර්යයක් නොවේ. එහෙත් එවැන්නන් ඇත්තේ ඉතාම අතළොස්සකි. මෙය ඉතා බරපතළ තත්ත්වයක් මෙන්ම ජයගත යුතු අභියෝගයකි. යුද සමයේ දී සියලු දෙනාගේ ඇස් යොමුවී තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය කෙරෙහි ය. යුද්ධයෙන් අනතුරුව බොහෝ දෙනා බලා සිටින්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දෙසයි.

ආර්ථික සංවර්ධනය යන්න රටේ ජනතාවගේ අංක එකේ ප්‍රාර්ථනාව සහ අපේක්‍ෂාව බවට පත්ව තිබේ. මේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ගමෙන් ඇරඹි ගම නගරයට ආවඩන්නේ නැතිව නගරවාසීන් පවා ගමට ඒමට සිත්වෙන ගමක් නිර්මාණය කොට ඒ ගම හරහා ජාතික සංවර්ධනය අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ද අද අප ඉදිරියේ ඇති විශාල අභියෝගයකි. මේ ආර්ථික සංවර්ධන උපායන් ජයග්‍රහණය කරමින් අදාළ ඉලක්කයන් වෙත ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැවැන්ත සංවර්ධන මහෝපායන් ජනතාව තුළ නිර්මාණය කළ යුතු ය.

පොදුවේ ගත් කළ 1983 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා අපේ රටේ පැවැතියේ දේශපාලනික අස්ථාවර භාවයකි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව එම දේශපාලන අස්ථාවරභාවය ක්‍රමයෙන් ගිලිහී ගිය අතර ඇතැම් දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින්නේ මෙරට යළිත් අස්ථාවර කිරීමට ය. රටක ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම දේශපාලන ස්ථාවරභාවය ද රඳා පවතින්නේ නිසි කලට මැතිවරණ මගින් රටේ ආණ්ඩු වෙනස් වීමෙනි. එහෙත් වර්තමාන දේශපාලන පක්ෂ රටපුරා ප්‍රචාරය කරමින් සිටින්නේ ඔවුන් නොබෝ දිනකින් නොඑසේනම් ඊළඟ වර්ෂයේ දී බලය ලබාගන්නා බවයි.

ආර්ථික සංවර්ධනය

එහෙත් ඔවුන්ට ආණ්ඩු බලය ලබාගැනීමට තව නොබෝ දිනකින් හෝ වසරකින් මැතිවරණ කැලැන්ඩරයේ මැතිවරණ නැත. ඔවුන්ගේ උත්සාහය වන්නේ රට තුළ බරපතළ දේශපාලන අර්බුද නිර්මාණය කිරීමයි. එය කිසිසේත් රටට හිතකර තත්ත්වයක් නොවේ. නිරන්තරයෙන් රට තුළ දේශපාලන අර්බුද ගොඩනැඟීම තුළ රටට ආර්ථික සංවර්ධනයක් අත්පත් කොට ගත නොහැක්කේ ය. එමෙන්ම කිසියම් රටක ආර්ථික සංවර්ධනයක් අත්පත් කොට ගැනීමට නොහැකි වුවහොත් ඒ රට තුළ නිරතුරුව ම දේශපාලන අර්බුද ඇතිවීම ද වළක්වා ගත නොහැකි ය.

පාන් ගෙඩියේ මිල හාල් සේරුවේ මිල හෝ පොල් බෑයේ මිල ආදී පටු දේශපාලන අදහස් ජනතාව තුළට කාවැද්දීමට නිරතුරුවම පෙළගැසී සිටින දේශපාලඥයන් රට තුළ හිඟ නොවන නිසා රට තුළ අස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ පාලනය කිරීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවන්නේය. අප බොහෝ විට සිතා සිටින්නේ යුද්ධය අවසන්ව ඇති බවයි. එහෙත් තරයේ ම සිහි තබා ගත යුතු කාරණය වන්නේ ත්‍රස්තවාදය තුරන්කොට ඇත්තේ මේ භූමියෙන් පමණක් වන බවයි.

නියමින් හෝ අනියමින් ලෝකයේ බොහෝ රටවල් තුළ විවිධ මට්ටමෙන් ක්‍රියාත්මක වන විවිධ සංවිධාන හරහා යුද්ධයේ අභියෝග නැවත එල්ල නොවෙතැයි ස්ථිරව පැවසිය නොහැකි ය. ඒ අභියෝගයට ද සාර්ථකව මුහුණ දිය හැක්කේ මනා ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීමෙනි. ආර්ථික වශයෙන් පරිපූර්ණ මිනිසුන් නොඑසේනම් තමන්ගේ මූලික අවශ්‍යතාවයන් වෙනුවෙන් හූල්ලන්නට නොවන මිනිසුන් තුවක්කුවක් රැගෙන තම දරුවන් ජීවිතයත් මරණයත් අතර සටනකට එළඹෙනු දැකීමට අපේක්‍ෂා නොකරයි. මේ උතුරු නැගෙනහිර සමාජයේ පමණක් නොව රටේ සෑම තැනටම අදාළ වන්නේය.

එනිසා රට තුළ නිසි සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරමින් රට සංවර්ධන මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරවීම මෙන් ම සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාට සමානව බෙදාහැරීමේ ක්‍රියාවලියෙන් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ ක්‍රියාවලියෙන් අත්මිදිය හැකි ය. දේශීය ආර්ථිකය පිළිබඳ අදහස මහින්ද චින්තනය තුළ ඉතාම ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කොට තිබේ. දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සදහා විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරමින් සිටියත් එය තවදුරටත් වේගවත් කළ යුතු ය.

අප රටේ ඇතැම් ජනතාව නගර තුළ ජීවත් වුවත් ඔවන්ගේ සංස්කෘතිය ගොඩනැඟී ඇත්තේ ගැමි බෞද්ධ , හින්දු, කතෝලික, ග්‍රාමීය සංස්කෘතික පදනමින්ය. අප රට තුළ බහු සංස්කෘතිකමය හැඩයක් නිර්මාණය වී තිබේ මේ සංස්කෘතින් අතර ගැටීම් ඇති නොකොට ගෙන බහුවිධ සංස්කෘතිය අනන්‍යතාව ආරක්ෂා කරමින් එය ලෝකය ඉදිරියට ගෙන යෑම ද අප හමුවේ ඇති තවත් අභියෝගයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා