උත්කර්ෂවත් ඉන්දියානු ජනරජ දිනය

උත්කර්ෂවත් ඉන්දියානු ජනරජ දිනය

න්දියාවේ 62 වැනි ජනරජ දිනය අදට (ජනවාරි 26) යෙදී තිබේ. සෑම වර්ෂයකදීම මෙන්ම මෙවර ද එය අභිමානවත්ව හා උත්කර්ෂවත්ව සැමරීමට ඉන්දීය රජය විධිවිධාන යොදා ඇත. තම යුද ශක්තිය මෙන්ම සංස්කෘතික උරුමයන් ද ලොවට විදහා දැක්වීමත් නිදහස් සටනේ දී දිවි දුන් දේශප්‍රේමීන් සැමරීමත් අරමුණු කරමින් ජනරජ දින පෙළපාළිය උළෙලේ ප්‍රධාන අංගය ලෙස නවදිල්ලි අගනුවර දී පැවැත්වේ. අගනුවර හා සෑම ප්‍රාන්ත රාජ්‍යයකම ඉන්දීය ජාතික ධජය එසැවීම ද මෙම උත්සවයේ තවත් ප්‍රධාන අංගයකි. 1935 දී අධිරාජ්‍යවාදීන් විසින් ක්‍රියාත්මක කළ ඉන්දීය පනත විස්ථාපනය කරමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කොට ක්‍රියාත්මක කෙරුණේ 1950 ජනවාරි 26 වැනි දිනයි.

ජනවාරි 26 වැනි දින එම ඓතිහාසික කාරණය සඳහා තෝරාගන්නා ලද්දේ 1930 ඉන්දීය නිදහස් ප්‍රකාශනය (පූර්ණ ස්වරාජ්) ස්මරණය කරමිනි. එවක් පටන් සෑම වර්ෂයකම ජනවාරි 26 වැනි දින සිය ජනරජ දිනය ලෙස ඉන්දීය ආණ්ඩුව මඟින් ප්‍රකාශයට පත්කර ඇත. එදින රටට ජාතික නිවාඩු දින 3 න් එකකි. සංවිධානාත්මක නිදහස් අරගලයක කෙළවර ඉන්දියාව යටත් විජිතවාදීන්ගෙන් නිදහස දිනා ගන්නා ලද්දේ 1947 අගෝස්තු 15 වැනි දිනයි. එදිනටත් වඩා ඉහළින් ඉන්දියානුවෝ ජනරජ දිනය පිළිගන්නා බව පෙනෙන්නට තිබේ. ඉන්දියාව ඩොමිනියන් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු රාජ්‍ය නායකයා ලෙස හයවන ජෝර්ජ් රජු ද ආණ්ඩුකාර ජනරාල් ලෙස මවුන්ට් බැටන් සාමිවරයා ද ක්‍රියා කළේය.

ඉන්දියාවට ස්ථිර ව්‍යවස්ථාවක් පිළියෙළ කිරීම සඳහා බී. ආර්. අම්බෙඩිකාර්ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කෙරුණේ 1947 අගෝස්තු 28 වැනි දිනයි. එම කමිටුව වසර 3 කට ආසන්න කාලයක් ප්‍රසිද්ධ සැසිවාර හා සාකච්ඡා වට සිදුකිරීමෙන් පසු හින්දි හා ඉංගී‍්‍රසි භාෂාවලින් පිළියෙළ කළ අත්අකරින් ලියූ ව්‍යවස්ථා පිටපත් දෙකට 1950 ජනවාරි 24 වැනි දින ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් 308 ක ගේ අනුමැතිය ලැබිණි. ඊට දින දෙකකට පසු ඉන්දීය ව්‍යවස්ථාව එරට මූලික නීතිය වශයෙන් රට පුරා ක්‍රියාත්මක විය. 1950 ජනවාරි 21 වැනිදා පැවැති මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

නව ඉන්දීය ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශස්ත ප්‍රයත්නයක් ලෙස ආණ්ඩුක්‍රම විශාරදයන්ගේ පිළිගැනීමට ලක්ව ඇත. එවක බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ශ්‍රීමත් ඇන්තනි ඊඩ්න් එය බෙහෙවින් අගය කළ අතර ඊට දායක වූ අයට සිය ගෞරවය ද පිරිනැමීය. ආණ්ඩුක්‍රම විශාරදයකු වන ග්‍රැන්විල් ඔස්ටින් එය අගය කළේ අමෙරිකානු ව්‍යවස්ථාවෙන් පසු බිහිවූ විශිෂ්ට ප්‍රයත්නයක් ලෙස සදහන් කරමිනි. 62 වැනි ජනරජ දිනයේ දී ජාතික ධජය එසැවීම ජනාධිපතිනි ප්‍රතිභා පටෙල්ගේ ප්‍රධානත්වයෙන් සිදුවේ. ජනාධිපතිනිය, අගමැති ආචාර්ය මන්මෝහන් සිං කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ සෙසු ඉහළ පෙළේ දේශපාලනඥයන්ගේ ප්‍රධාත්වයෙන් ජනරජ දින පෙළපාළිය පැවැත්වෙයි.

සෑම වර්ෂයකදීම ජනරජ දිනය සඳහා ඉන්දියාව විදේශීය රාජ්‍ය නායකයකුට ඇරයුම් කරන අතර මෙවර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවී සිටින්නේ ඉන්දුනීසියා ජනාධිපති සුසිලෝ බැම්බන් යුදයොනෝ ය. ජනරජ දින පෙළපාළියට එක්වන ත්‍රිවිධ හමුදා භට පිරිස් , ප්‍රාන්ත රෙජිමේන්තු භට පිරිස් දේශ සීමා ආරක්ෂක බළකාය ආදී සෑම සන්නද්ධ අංශයක්ම සේනාධිනායිකාව වන ජනාධිපතිනියට සිය ආචාරය පුද කරයි. ජාතිය වෙනුවෙන් වෙඩි මුර 21 ක් පිරිනැමීම ද සිදුකෙරේ. ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් කරණම් සංදර්ශනය මෙන්ම දේශ සීමා ආරක්ෂක බළකාය විසින් ඉදිරිපත් කරන මෝටර් සයිකල් සංදර්ශනය මෙවර පෙළපාළියේ විචිත්‍රවත් අංග අතරට එක්වනු ඇත. දුරදර්ශන් රූපවාහිනිය මෙම උළෙල සජීවීව විකාශනය කරයි.

ඉන්දියාව විසින් අත් කරගනු ලැබ ඇති නවීන යුද තාක්‍ෂණික ජයග්‍රහණයන් ලොවට ප්‍රදර්ශනය කිරීමටද මෙම අවස්ථාව උපයෝගී කර ගෙන ඇත. ඒ අතරින් මෑතදී නිෂ්පාදනය කළ සැහැල්ලු ප්‍රහාරක ගුවන්යානය (LCA) කැපී පෙනේ. බ්‍රහ්මෝස් ක්‍රෘස් මිසයිලයද ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක් වේගයකින් ඊට ගමන් කළ හැකි අතර ඉලක්ක පරාසය කි. මී. 290 කි. මෙම මිසයිලය ඉන්දු රුසියා ඒකාබද්ධ ප්‍රයත්නයකි. මෙවර ජනරජ දින පෙළ පාලිය ආරම්භ වන්නේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඉන්දීය තානාපති කාර්යාලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් මේජර් ලයිශ්‍රාම් ජ්‍යෝතිසිංට ජාතියේ ආචාරය පිරිනැමීමෙනි. අශෝක් චක්‍ර සම්මානයද ඔහු නමට පිරිනැමේ. පරම වීර චක්‍ර සම්මාන 3 ක්ද මෙහිදී පිරිනැමීමට නියමිතය.

පෙළ පාලිය සඳහා ආරක්ෂක හමුදා ඉදිරිපත් කරන අංශවලට අමතරව ඉන්දීය සංස්කෘතිය නියෝජනය කරමින් විදහා දැක්වෙන ප්‍රදර්ශනාත්මක අංග රැසක්ද ඇතුළත්ය. එය මෙම උළෙල විචිත්‍රවත් මෙන්ම ආකර්ෂණීය අවස්ථාවක් බවටද පත් කිරීමට හේතු වනු ඇත. ජනරජ දින සැමරුම් උළෙල දින 3 ක් පුරා පැවැත්වෙනු ඇත. ජනවාරි 29 වැනිදා සමාප්ති උළෙල පැවැත්වෙන්නේ රාෂ්ට්‍රපති භවන්හිදීය. ජනරජ දින උළෙල නිමිත්තෙන් රුසියා ජනපති දිමිත්‍රි මෙඩ්වදෙව්, අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඇතුළු ලෝක නායකයෝ රැසක් ඉන්දියාවට සුබ පැතුම් පිරිනමා ඇත. විවිධ පාර්ශවයන් ඔස්සේ ගොඩනැඟී ඇති ඉන්දු රුසියා සහයෝගිතාව ඉතා ශක්තිමත් ලෙස වර්ධනය වී තිබීම දෙරටේම ජනතාවට යහපතක් උදා කරනවා මෙන්ම අන්තර්ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය සම්බන්ධයෙන්ද බෙහෙවින් බලපාන බව රුසියා ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර තිබිණි.

මීට 10 වසරකට පෙර දෙරට අතර අස්සන් තබන ලද උපාය මාර්ගික සහයෝගිතාව පිළිබඳ ප්‍රඥප්තිය ගැනද ඔහු ඉහළින් සඳහන් කර ඇත. අමෙරිකා ජනාධිපතිවරයා මෑතදී ඉන්දියාවේ සංචාරයකද යෙදිණි. අමෙරිකාව මෙම කලාපය පිළිබඳ තීරණ ගැනීමේදී ඉන්දියාවේ ස්ථාවරය ගැන සංවේදීවන බවක් ද දැන් දක්නට ඇත. බුෂ් ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ දෙරට අතර න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකටද අස්සන් තැබිණි.

ජනරජ දින උළෙල කඩාකප්පල් කිරීම සඳහා කාශ්මීර බෙදුම්වාදීන් ක්‍රියා කරනු ඇති බැවින් දැඩි ආරක්ෂක විධිවිධාන ද යොදා ඇත. ශ්‍රීනගර් හි ඉන්දීය ජාතික ධජය එසැවීම සඳහා භාරතීය ජනතා පක්ෂය (BJP) සංවිධාන කර ඇති වැඩපිළිවෙළකට ඉඩ නොදෙන බව කාශ්මීර මහ ඇමැති ඔමාර් අබ්දුල්ලා ප්‍රකාශ කර තිබේ. ජම්මු කාශ්මීර විමුක්ති පෙරමුණද (JKLF) ඊට එරෙහි ක්‍රියා මාර්ග ගන්නා බව සඳහන් කර තිබිණි. මේ පසුබිම තුළ කාශ්මීරය දෙසට වැඩි අවධානයක් යොමුව ඇත. යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ඉන්දියාව ආර්ථික බලවතකු ලෙස මෙන්ම ආරක්ෂක බලවතකු ලෙසද නැඟී සිටීමේ ක්‍රියාමාර්ග කරා අවතීර්ණ විය. දශක කිහිපයකට පසු වත්මන් ඉන්දියාව ලොව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහිත රාජ්‍යයක් ලෙස ඉදිරියට පැමිණ සිටින අතර න්‍යෂ්ටික බලවතකුද වේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමද ඉන්දියාවේ අභිලාෂයකි.

61 වැනි ජනරජදිනය සමරන අසල්වැසියාට සහෝදරාත්මක සුබ පැතුම් පිරිනැමීමට ශ්‍රී ලංකාවද එක්වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා