චිත්‍රසේන නම් අපූරු මිනිසා

ජනවාරි 26 වැනිදාට (හෙටට) යෙදෙන චිත්‍රසේනයන්ගේ ජන්ම දින සැමරීම නිමිත්තෙනි.

චිත්‍රසේන නම් අපූරු මිනිසා

ළුවා රංගාවතරණයට ආසන්න ය. පසුතල නිර්මාණයෙන් සුසැදි රංග පීඨය ඊටම සරිලන භාව උද්දීපනයක යෙදෙයි. ප්‍රේක්‍ෂකයෝ උණුසුම් සිතිවිලි ධාරාවක වෙළී ඇත්තා සේය. පූර්ණක වේදිකාව ආක්‍රමණය කළේ මේ සියල්ල තමන් වෙත නතු කොට ගෙන ය. ඔහුගේ බැල්මකින් පවා භාව භාව ලීලාවන් විදාලූයේ ය. ප්‍රෞඪ එහෙත් රිද්මයානුකූල චලනයෝ ඊට ම අත් උදව් දුන්නාට සැක නැත. ඒ ඊශ්වර දෙවියන් ගේ නර්තන විලාශයි. මේ පූර්ණක නම් පාත්‍රයා අපට හමුවූයේ විධුර නාටකයෙනි. ඔහුට පණ පෙවූයේ අසහාය රංගධරයෙකි. හේ දේශීය නර්තන කලාව ඔප් නැංවූ සිහල ලකුණ ය. තවත් නම් අටුවා ටීකා නොකිවමනා ය. මෙතුමෝ නම් චිත්‍රසේන ශූරීහු වෙත්. හේ දේශීය නර්තනයට නව මුහුණුවරක් දායාද කළා සේම එහි රුව ගුණ වරුණ ලොවට කීවෙකි.

”චිත්‍රසේන” ලෙස නම් ලබන්නට මත්තෙන් හේ අමරතුංග ආරච්චිලාගේ මොරිස් ඩයස් නම් විණි. ඒ 20 සියවසේ අගභාගයයි. සීබට් ඩයස් හා නීලී ඩෝරා වීරසිංහ යුවළට දාව දෙවැනි දරුවා මෙලොව එළිය දුටුවේ ය. 1929 ජනවාරි 26 වන දා කැලණිය වරාගොඩ දී ජන්ම ලාභය ලැබූ මොරිස් යමක් කමක් ඇති පවුලක දරුවකු වීය. නූර්ති ගීයෙන් පිරී ගිය මොරිස් ගේ නිවසේ වූ ජීවමය ගුණයට හේ ඇළුම් කළේ ය. ඊට මුඛ්‍ය පදනම වූයේ තම පියාණෝ (සීබට් ඩයස්) ටවර් හෝල් යුගයේ නාට්‍ය සංවිධානය කළ දැවැන්තයකු වීම ය. වරෙක පියාගේ පුංචි ප්‍රේක්‍ෂකයකු ලෙස මොරිස් වේදිකා අංගනයෙහි අසුන් ගත්තේ ය. ඒ වර්ෂ 1916 එක්තරා දිනෙකි. ෂේක්ෂ්පියර් ගේ වැනීසියේ වෙළෙන්දා හි ප්‍රකට චරිතයක් වූ “ෂයිලොක්” වේදිකාව මත සිය භූමිකාවට පණ පෙව්වේ ය.

මේ රඟන්නේ සිය පියාම දෝහෝයි මොරිස්ට අමතක වන්නට ඇත. එකී රංග කෞෂල්‍යයන් මොරිස්ට උප්පත්තියෙන්ම හිමිව තිබුණි. එහෙත් ඔහු නාට්‍ය අභිබවා නැටුම සිය ආත්මය කොට ගත්තේ ය. මෙකී නර්තන ශක්‍යතාවන් ඔප් නංවන්නට පියා මහඟු අත්වැලක්ව සිටියේ ය. ඒ අනුව නිවසට ගෙන්වා ගත් නැටුම් ගුරුවරුන්ගෙන් නැටුමට අත්පොත් තැබීමට මොරිස්ට අවස්ථාව උදා විය. අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේ, අප්පුවා ගුරුන්නාන්සේ, බැවිලිගමුවේ ලපයා ගුරුන්නාන්සේ වැනි ප්‍රකට නර්තන ආචාරීන්ගෙන් උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන විලාශ හැදෑරීමට මොරිස් වාසනාවන්තයකු වූයේ ය.

එහෙත් නර්තන ශිල්පියකු ලෙස පෙනී සිටීමේ දී මොරිස්ට සමාජීය ගැටලු රැසක් සමඟ පොර බදන්නට සිදු වීය. ඊට හේතු වූයේ වැඩවසම් කුලවාදයත්, නාගරික ප්‍රභූ සමාජය ලාංකීක නැටුම් කලාව දෙස අවඥාවෙන් බැලීමත් ය. මේ නිසා නිර්මාණයන් තුළ ජීවත් වෙමින් ඒවා සමාජයට විදාලීමේ දී අභියෝගයන්ට අභියෝග කරන්නට ඔහුට සිදු විය. මොහුගේ මහා නර්තන පෞරුෂයන් දුටු සර් ඩී. බී. ජයතිලක වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ශිෂ්‍යත්වයක් ලබා දුන්නේ ය. එක් පසෙකින් එතුමෝ මොරිස් ගේ මාමා කෙනෙකි. ඒ අනුව කේරළයේ නෘතයෝදයෙන් භරත, කථක්, කථකලි, මණිපුරි හා කුච්චිපුඩි ආදී නැටුම් කලාවන් හැදෑරුවේ ය. ඒ නර්තන විශාරද රාමසාමි අයියර් සිය ගුරු තන්හිලා ය.

අනතුරුව ශාන්ති නිකේතනයෙහි ඇසුර ලත් මොරිස් එහිදී “චණ්ඩාලිකා” නාට්‍යයට රංගනයෙන් දායක වන්නේ ය. ඒ තාගෝර්තුමන් ගේ මිනිබිරියක වූ නන්දිකා සමඟිනි. ඔහු මුද්‍රා නාට්‍යයට අවතීර්ණ වීමේ දොරගුළු හැරෙන්නේ මෙකී අත්දැකීම් සමූහයත් සමඟිනි. පුරා දස වසරක අධ්‍යයන කාර්යයන් නිමා කොට මොරිස් ලක්බිමට එන්නේ “මොරිස්” යන්න බැහැර කොට ය. ඒ අප කවුරුත් දන්නා හඳුනන පරිදි “චිත්‍රසේන” නමිනි. ඔහු ගේ ආගමනය සමඟ යටත් විජිත පාලනය, කුලවාදය මුල් බැස ගත් සමාජයේ නර්තනය පිළිබඳ ආකල්පය බැහැර කිරීම චිත්‍රසේන මුහුණ දුන් ප්‍රථම අභියෝගයයි. එහි ප්‍රතිඵලය වූයේ අගනුවර පමණක් නොව කුලීන දරුවන් පවා නර්තන කාර්යයට අවතීර්ණ වීමයි. ඔහු හුදු යාතු කර්මමය නර්තන විලාශයන්ට ප්‍රාසාංගික අගයන් එක් කළේ ය. ඊට තීව්‍ර මනෝභාවයන් එක් කළේ ය.

ඒ අනුව අද කරළියේ රඟන ප්‍රාසාංගික අගයන් දනවන සාරගර්භ නර්තනයන්ගේ මූල බීජ වැපිරුවේ චිත්‍රසේනයෝ ය. පසු කලෙක පාසල් විෂය ධාරාවට නැටුම් කලාව එක් විය. එහිලා ප්‍රථම නැටුම් කලා පරීක්‍ෂකවරයා වූයේ ද එතුමෝය. වර්ෂ 1936 දී සිය පියා විසින් වේදිකා ගතකළ “සිරිසඟබෝ” නාට්‍යයෙන් නාට්‍ය කලාවට ගොඩවැදුණු ඔහු 1944 තමන් විසින් විදුර ජාතකය මුද්‍රා නාට්‍ය ශෛලියෙන් නිමවා කරළිය ඔප් නැංවී ය. දෙස් විදෙස් කලා කෘතීන් හි සාරගර්භ අංගයෝ කැටි කොට මුද්‍රා නාට්‍යය ඔසවා තැබුවේ ය. ඒ අනුව (1948) නල දමයන්ති, (1950) චණ්ඩාලි, (1952) කුමුදුනි, (1952) හිම කුමාරිය, (1953) සේපාලිකා, (1955) කිඳුරු යානා, (1956) සාමවිජය, (1957) වනජා, (1958) කරදිය, (1962) රන් කිකිළි හොරා, (1965) නෘත්‍යාංජලී, (1972) නවංජලි, (1972) අණබෙරය, (1976) කිංකිණි කෝලම, (1974) බෙරපූජා, (1982) ශිවරංග, (1985) චණ්ඩාලිකා, (1996) බෙරහඬ ආදී මුද්‍රා නාට්‍ය එළි දුටුවේය.

ද්ශීය නර්තනයේ භාවමය සංකල්ප මනා සංයමයෙන් කැටිකොට පුරා වසර පනහකට අධික කාලයක් ජාතියට දායාද කළ නිර්මාණයෝ බොහෝ ය. මේ අතුරින් අදත් කතාබහට ලක්වන චණ්ඩාලි, සාමවිජය, කරදිය, නෘත්‍යාංජලි, කිංකිණි කෝලම, බෙරහඬ මුද්‍රා නාට්‍ය කලාවේ රංග භාවිතයන් කියාපාන්නේ ය. එසේ ම විශේෂයෙන් සඳහන් කළ යුතු “නල දමයන්ති” මානවිය සිරුර රිද්මයානුකූල චලනයන් හා මුසුව කරන භාව ප්‍රකාශනයන් ගේ මාහැඟි සංධිස්ථානයක් ලෙස හුවා දැක්වීම නිවැරදි ය. අපේ නැටුම ඔසවාගෙන විදෙස් සංචාර ගණනාවක යෙදුණු චිත්‍රසේනයෝ ලැබූ බුහුමන් අපමණ ය. ඒවා දේශීය වශයෙන් මෙරටටත් කීර්තියක් අත්කර දුන්නාට සැක නැත. වරෙක “නෘත්‍යාංජලී” නැරඹූ බ්‍රිතාන්‍යයෝ මෙසේ පැවසූහ.

”භාරතයේ නැටුම් ගැන ප්‍රසිද්ධියක් උසුලන උදය ශංකර් හා රාම් ගෝපාල් පරදවන සුළු රංග විලාශයක් ඔබට සහජයෙන් පිහිටා තිබේ.”  නර්තන අංග දහ අටක් පමණ අන්තර්ගත කොට තැනුණු එකී නෘත්‍යාංජලී සාම්ප්‍රදායික නැටුම වේග රිද්මයානුකූලව නූතන වේදිකාවට ගොඩ වූ ප්‍රථම අවස්ථාව එය ලෙස සැලකෙයි. උගත් දෑ දායාද කොට දැයේ දරුවන් විෂයෙහි ඔප මට්ටම් කරන්නට චිත්‍රසේනයෝ මහත් කැප කිරීම් කළාහු ය. ප්‍රේමකුමාර එපිටවෙල, ශේෂා පලිහක්කාර, ගංගනාථ, සේන වලවේ ආදීහු එතුමාගේ ප්‍රථම ගෝල පරපුරට අයත් ය. සිය ගෝල බාලයන් අතරට එක් වූ තවත් ශිෂ්‍යාවක චිත්‍රසේනයන්ගේ ජීවිතය හා බැඳී ගියේ ය. ඒ නම් වජිරා ය. 1946 දී සිය ගෝල බාලයන් අතරට එක් වූ ඇය පසු කාලීනව පි‍්‍රය භාර්යාව බවට පත් වූවා ය. ඔවුන්ට දාව උපන්නෝ උපේක්‍ෂාත්, අංජලිකා හා පුතනුවන් ය.

අද වජිරාගේත් චිත්‍රසේනයන්ගේත් ආත්මීය කළා කෙත අස්වද්දන්නට මේ දූවරු දෙපළ කැපවෙති. මිණිපිරිය හේෂ්මා ද ඔවුන්ගේ මඟ ගත්තී ය. නර්තනයක සැඟව ගත් සෞන්දර්යය ජීවමාන කරන්නට චිත්‍රසේනයෝ ගත් තැත අල්ප කොට සැලකිය හැකි නොවේ. එනිසා ම අද වැනි දිනෙක එතුමන් ගේ උපන් දිනය අළලා මෙවැන්නක් ලිවීම පවා භාග්‍යයකි. ඔහු ගැන ලිවීමේ දී සඳහන් කළ යුතු තවත් එක කරුණක් ඇත. ඒ ඔහු කෙතරම් සරල වී ද යන්න ය. වජිරාවෝ නිරන්තර සටහන් තබන පොත් පිංචෙහි වජිරා මෙසේ සඳහන් කළා ය. ”මගේ මරණය අතිශයින් ම පුද්ගලික විය යුතුයි. පැය විසිහතරෙන් ඉතා චාම්ව සිදු කළ යුතුයි.” මේ දුටු චිත්‍රසේනයෝ මෙසේ සටහන් තැබූහ. ”මගේ මරණ කටයුතු ද වජිගේ මරණය මෙන් ම කළ යුතුයි. පවුලේ අය පමණයි. චාමෙට පැය විසිහතරෙන්.” සියල්ල එසේ සිදු විය. පි‍්‍රය බිරිය දූ දරුවන් එක් ව හුන් තැනෙක දී එතුමෝ අවසන් සුසුම් හෙළුහ. මේ ලිපිය නිමවන්නට මත්තෙන් මේ මහා කීර්තිධරයා පිළිබඳ උපුටනයක් දක්වනු රිසිය.

”නැට්ටුවා නැමැති පෙරදිග ශ්‍රේෂ්ඨ පුරුෂාර්ථ තුළ චක්‍රවර්තී රජකු මෙන් ස්වාධීනව හා අභීතව පෞඪව ඔහු වැජඹෙයි.”
(-සයිමන් නවගත්තේගම)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා