වැව් දියවරින් සාර උතුරු කලාගම් කෝරළයේ ගම් සභාව ඉපලෝගම

වැව් දියවරින් සාර උතුරු කලාගම් කෝරළයේ ගම් සභාව ඉපලෝගම

ලාවැව දිය කෙත් බිම් සාර කරගෙන ගලා බසින්නේ ය. උතුරු කලාගම් කෝරලයේ ජනතාව ලත් උතුම් භාග්‍යය වැව් දියවරය. "මේ මගේ ධනයයි" සිය පුතු අමතා ධාතුසේනරජු කට පුරා කීවේ හදවතම කැටි කොට ගෙනය. ගොවිතැනින් ජීවිකාව කොටගන්නා මෙම ප්‍රදේශවාසීහු සිය ඕනෑ එපාකම් ගෙන ගියේ ගම් සභාවටය.  ඒ අනුව මුල් ගම්සභාපති ධූරය හෙබවූයේ මැන්ඩිස් මහත්මායි. ඒ එජාපය ආණ්ඩු කළ සමයයි.

එනම් 1987 වර්ෂයයි. අංක 15 දරණ පනත් කෙටුම්පත ආවේ මේ අවධියේදීය. ඒ අනුව ගම්සභාව සංවර්ධන සභාව වී නැවත ප්‍රාදේශීය සභාව ලෙස නම් වෙනස් විණි.  තුලාන් 32 කට හිමිකම් කියන අද ප්‍රාදේශීය සභාව අභිමානවත් මානෑව කන්දෙන් වටවී ඇත්තේ ය. ඊටම ආවේණික දුර්ලභ ගණයේ වෘක්ෂයන්ගෙන් පිරිගත් එය ප්‍රකට වූයේ පෙම් යුවළක් හා බැඳි පුවතක් නිසාවෙනි. ඒ නිසාම රෑනගල චිත්‍රපටියට පසුබිමද වීය.  වත්මන් ප්‍රාදේශීය සභාවට තවත් පසෙකින් මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ බිමත් පැරණි යෝධ ඇළත් අයිතිය.  පැරණි යෝධ ඇළ ආශි‍්‍රතව තැණූ මිහිලිය තුරුල කොයි කාගේත් සිත් බඳින්නේ එහි වටාපිටාව නිසා දැනෙන සාමයික ගුණය නිසාය. මිහිලිය තුරුල සැබෑ විවේකී ආශ්‍රමයකට සමාන යැයි කීම නිවැරදිය.

ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල

මිහිලිය තුරුල

පුස්තකාලය හා ආයූර්වේද මධ්‍යස්ථානය

කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගයක්

ඒ හැරුණු කොට ජෛව විවිධත්වයෙන් යුතු පාරිසරික අවකාශයක් තැනීමට යෝජනා වී ඇත්තේය.  එය පරිසරයට හිතකාමී කාගේත් අවධානයට පාත්‍ර විය යුත්තකි. ඒ පිළිබඳ ප්‍රදේශයේ දුවා දරුවන් දැනුවත් කිරීම ද මෙහි වැදගත් ලක්ෂණයකි. ලංකාවේ ප්‍රථම රණවිරු නගරය ඉඳිකෙරුණේ ද ඉපලෝගමය. ඔවුන්ට අවශ්‍ය පොදු සේවාවන් සියල්ල සැපයෙන්නේ ප්‍රාදේශීය සභාවේ මූලිකත්වය මතය. කුප්පි ලාම්පු එළියෙන් ආලෝකමත්ව තිබූ ගම් ගෙවල් අද විදුලි ආලෝකයෙන් දිලෙන්නේ ය. ඒ සූර්යය ලන්තෑරම් මඟිනි.

ඒ ප්‍රධාන අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම මත ගැමි එළිය ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එය ඉදිරියේදී වැඩි ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂිතය.  මඟ නැඟුම ව්‍යාපෘතිය යටතේ ලැබූ ප්‍රතිපාදන මත මයිලගස්වැව මාර්ගයේ අදියර 7 ක් යටතේ කොන්ක්‍රීට් කැට අල්ලා ඇත. පුලියන්කුලම ගම මැද පාර, කරඹෑව, ගම මැද පාර, මානෑව, විදුහල අසළ පාර, තිලකපුර, මයිලගන්වැව ඉදිරියේදී කොන්ක්‍රීට් කැට ඇල්ලීමට නියමිතව ඇත. ඉපලෝගම ප්‍රාදේශීය සභාව සතු ගලි බවුසරය කසළ බැහැර කිරීමේ ලා මාහැඟි සේවයක් ඉටු කර දෙයි. එවැනි ගලිබවුසරයක් ඉපලෝගම හැරුණුවිට ඇත්තේ අනුරාධපුර මහ නගර සභාවේ පමණක් වීම විශේෂත්වයකි.

කලා කරඹෑව ජල ටැංකිය

පසුගියදා පැවැති විශේෂ වෛද්‍ය සායනය කාගේත් අවධානය දිනා ගත්තකි. ඊට රාගම වෛද්‍ය පීඨයේ පුහුණුවෙන වෛද්‍යවරු කොළඹ මහ රෝහලේ විශේෂ වෛද්‍යවරු සහභාගි වූහ. 3000 ක පමණ පිරිසකට උපකාර කළ මෙම සායනයට ප්‍රධාන අමාත්‍ය තුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ය.  එසේම මේ වසරේ පහ වසර ශිෂ්‍යත්ව ලාභීන්ට ත්‍යාග සහ ගුරුවරුන්ට සම්මාන සහතික ලබාදීම තවත් වැදගත් ඉසව්වක් ලෙස සැලකිය යුතුමනාය.  එකී ක්‍රියාවලිය දැනට දසවසරක් පුරා සිදු කෙරෙන්නකි.

2011 වසරේ සභාව තුළින් අපේක්‍ෂිත ආදායම රුපියල් 296,291,65.00කි. 2010 වසරේ උත්පාදිත ආදායම රුපියල් 5958550.00 කි.මෙම ආදායම් යහපත් සේවාවක් සඳහා යෙදවීමට සභාපතිත්වයේ අපේක්‍ෂාවයි. එහිදී සහ සහභාගිත්ව ලක්‍ෂණය ප්‍රධාන කොට සැලකෙයි. ආරම්භයේ දී අත්ට්‍රැක්ටරයෙන් ඇරඹූ ඉපලෝගම සභාවේ ඉදිරි ගමන අද පරිගණක කාර්යයන් දක්වාම සාර්ථක ප්‍රගමනයක් අත්කරගෙන ඇත. එහිදී සභාවේ කාර්ය මණ්ඩලයේ කැපවීම හා සහයෝගිත්වය අගය කළ යුතුය. ඕනෑම මොහොතක මහජනයා වෙනුවෙන් විවෘත වේදිකාවක් ලෙස ඉපලෝගම අපට හඳුනාගත හැකිය.

මෙකී සියලු කාරණාවන්හිදී ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයත්, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා ඇතුළු පිරිසත් සෙසු සියලු රාජ්‍ය ආයතනික නිලධාරීනුත් සිහි කළ යුතුය. "මනා පෙළඹීමකින් හා කැපවීමකින් යුත් කණ්ඩායමක් මඟින් සියලු සම්පත් හා පොදු කාර්යය සංවිධානය ඵලදායි ලෙස උපයෝගී කර ගනිමින් මහජනයාට වඩා උසස් තත්ත්වයේ සේවා සැලසීම ඔවුන්ගේ මහඟු මෙහෙවරයි.

 


ගමේ ජනතාවට මා උපරිමයෙන් සේවය කරනවා

නිහාල් තිලකවර්ධන
ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති

* ඔබේ පාලන කාලය එළඹෙද්දී ප්‍රාදේශීය සභාව පැවැති තත්ත්වය පිළිබඳ පැහැදිලි කළොත්?

ඒ පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මා මෙම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත්වූයේ 2006 අප්‍රේල් මාසයේදීය. ඒ වන විට සභාව සතු වූයේ කුණු අදින අත්කරත්තයක් සහ කැඩුණු කැබ් රථයක් පමණයි. එයත් වසරකට අධික කාලයක් ගරාජයට දැමූ ලෙසින්ම පැවතියා. අපේ ආගමනයත් සමඟ මේ තත්ත්වයන් සියල්ල යහපත් ලෙස වෙනස්වීම්වලට බඳුන් කළා. ඒ අනුව පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ලොකු ට්‍රැක්ටර් හතරක්, වතුර බවුසරයක්, පොඩි ට්‍රැක්ටර් වතුර බවුසර් දෙකක්.

ගලි බවුසරයක් සහ ජෙනරේටරයක් දැන් සභාවට අයිතියි. ඒ වගේම ත්‍රීවිලරයක්, කාර්යාලීය තාක්ෂණික උපකරණ සහ රැස්වීම් ශාලාවකුත් ඊට අයත්. ඉපලෝගම ප්‍රාදේශීය සභාවට අවශ්‍ය භූමි භාගය නිසි ලෙස වෙන්කොට ගැනීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මේ නිසා ප්‍රාදේශීය සභාව මගින් ජනතාවට ඉටුවිය යුතු සේවාවන් කඩිනම්ව ඉටුකර දීමට අද පහසුකම් සැලසී තිබෙනවා.

* ඔබ පවසන පරිදි ජනතාවට ඉටුවන සේවාවන් පිළිබඳ කතා කළොත්?

මේ වන විට සභාව තුළින් සේවාවන් රැසක් ජනතාව තුළට කාන්දු වෙනවා. ඒ අතර කසළ බැහැර කිරීම ක්‍රමවත්ව සිදු කෙරෙනවා. ලංකාවේ ප්‍රථම රණවිරු නගරය පිහිටා තිබෙන්නේ ඉපලෝගමයි. ඔවුන්ට පළාත් පාලන අමාත්‍යාංශය සහ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය මඟින් කසළ සහ කොම්පෝස්ට් බඳුන් ලබා දී තිබෙනවා. ඒ හැරුණුකොට කෝණපතිරාව, මහඉලුප්පල්ලම, පුංචිකුලම, සේනපුර, ගිරිපිටියාගම, විජිතපුර, කලාවැව ආදී නගරවල පෙර නොවූ විරූ කසළ බැහැර කිරීමේ ක්‍රියාවලියක් සිදුවනවා. මා අක්‍රමවත්ව තිබූ ආයුර්වේදය නැවත ආරම්භ කළා.

විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වැඩි නැඹුරුවක් ඇති මෙම ප්‍රදේශවල වැසියන්ට එය ශක්තියක් බවයි මගේ හැඟීම. එසේම දුවා දරුවනට නැණ පහන් දල්වන පුස්තකාලය නවීකරණය කළේත් අපේ පාලන කාලයේදීමයි. අද එය දැනුමට නැඹුරු කොයි කාගේත් අවධානය දිනාගන්නා තැනක් බවට පත්වෙලා. මේ ව්‍යාපෘති අතර ආසියානු සංවර්ධන බැංකුවේ සිව්වැනි ව්‍යාපෘතිය ලෙස පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟුණා. ගම් මට්ටමින් ප්‍රජා මූල සංවිධාන පිහිටුවා ගනිමිනුයි එය ක්‍රියාත්මක වුණේ. 

ආසියානු සංවර්ධන බැංකුවේ 60% ක දායකත්වයෙනුත්, 20% ක් පළාත් සභාවෙනුත්, සෙසු 20% ප්‍රජා දායකත්වයෙනුත් තුලාන් හතක් ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක වුණා. එහෙත් ඉඩෝර කාලෙදී කාණු කැපීමේ අසීරුතා මත අඩපණ වූ මෙම ව්‍යාපෘතියට මැදිහත් වුණේ ප්‍රාදේශීය සභාවයි. කාණු කැපීමේ අසීරු කාර්යයට සාර්ථක පිළිතුරක් සපයමින් එම ව්‍යාපෘතියේ මහඟු ප්‍රතිඵල අප ජනතාවට ලබා දුන්නා. මේ හැරුණු කොට මග නැඟුම, ගම නැඟුම ව්‍යාපෘති යටතේ සභාවෙන් ගමට වූ සේවය අද අපේ ජනතාව භුක්ති විඳිනවා.

* ඔබ අතින් ප්‍රදේශයේ තාරුණ්‍යය කෙරේ වන අවධානය පිළිබඳ සඳහන් කළොත්?

මේ ප්‍රදේශවල දක්‍ෂතා පිරුණු තරුණ දරුවන් සිටිනවා. ක්‍රීඩා, කථික වගේම කලාවටත් උපන් හපන්කම් ඔවුන්ට තිබෙනවා. ඔවුන් වෙනුවෙන් රසවින්දන වැඩසටහන් ක්‍රියාවට නැඟෙනවා. ක්‍රීඩාවටත් අපි අවධානය යොමු කොට තිබෙනවා. මෙතෙක් අවධානයෙන් ගිලිහී ගොස් තිබූ හිරිපිටියාගම අධිරාණි ක්‍රීඩාංගණය යාවත්කාලීන කොට තිබෙනවා. මීට අමතරව මහඉලුප්පල්ලම නගරය ආසන්නයේ වැසී ගිය සෝයා කර්මාන්තශාලාව පෞද්ගලික අයිතියට ගෙන තිබුණත් එය පවත්වාගෙන ආයේ රජයේ ඉඩමකයි.

වටිනාකමින් රුපියල් කෝටියක පමණ වන මෙම ඉඩම නීත්‍යානුකූලව රජයට පවරාගෙන අද සභාව එමඟින් රු. 40,000 ක් පමණ මාසික ආදායමක් උපයනවා. එම ආදායම් ප්‍රදේශයේ ජනතාවට විවිධ සේවාවන් සැපයීම කෙරේ යොමු කෙරෙනවා. වසර ගණනාවක් වැසී ගිය පුංචිකුලම ඇඟළුම් කම්හල අපි නැවත ආරම්භ කළා. ඒ මඟින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් රැසක් ලබා දීමට හැකි වුණා.

* පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව මෙම ප්‍රදේශයට තදින් බලපෑවා.

වසර 61 කට පසුවයි මෙවැනි වර්ෂාපතනයක් ඇතිවුණේ. ගෙවල් දොරවල් යටවුණා. ගොවිතැන් සෝදාපාළුවට ලක්වුණා. මාර්ග අබලන් වුණා. එහෙත් මේ සියල්ල යථා තත්ත්වයට පත්කිරීමට අපි ඉදිරියේදී අපේක්‍ෂා කරනවා. එසේම හපිදියාගම, 516 අලුත් පුලියන්කුලම, පූගල්ලාගම, සංඝට්ටෑව ආදී පිරිසිදු පානීය ජලය නොමැති ප්‍රදේශවලට පානීය ජලය ලබාදීමටත් අපේක්‍ෂිතයි. මේ සියල්ලේදී ප්‍රධාන පළාත් අමාත්‍යතුමා වගේම යෞවන කටයුතු නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මැතිතුමාගේ මඟපෙන්වීමත් සිහිකළ යුතුයි.

* ජනතාව හා මුහුව කටයුතු කිරීමේදී ඔබ ඔවුන් අතරට ගෙන යන මතවාදය කෙබඳු ද?

වැඩි වශයෙන් සිංහල හා මුස්ලිම් ජනතාව වෙසෙන මෙම ප්‍රදේශයේ ජනතාව අව්‍යාජ ජීවන රටාවන්ට හුරු වූ අයයි. සහ සහභාගිත්වයෙන් ප්‍රදේශයේ දියුණුව උදෙසා කටයුතු කිරීමේදී අත්වැල් බැඳගැනීමෙන් හා එකම පවුලක් ලෙස කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවයි මගේ හැඟීම. ඒ උදෙසා ප්‍රාදේශීය සභාවේ සියලු දොරගුළු ජනතාව වෙනුවෙන් හැර තැබෙන බව මා විශ්වාසයෙන් පවසනවා.
 


ජනතාවට ලැබෙන ප්‍රතිලාභ වැඩියි

කහල්ලේ සංඝරතන හිමි

සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය සභාව තුළ විශාල කාර්යය භාරයක් සිදුවන බව පැහැදිලි ව දැකිය හැකියි. මතක තියෙන ඉතිහාසය සමඟ බැලුවාම අද සභාව මුලිකව ජනතාවට ලැබෙන ප්‍රතිලාභ වැඩි බවයි මගේ හැඟීම
 


අපි ඉන්නේ ඉදිරියෙන්

එස්. පිංචා
කෝණ පතිරාව, සුව උදාන ප්‍රජා මූල සංවිධානයේ සභාපති

අපේ ප්‍රාදේශීය සභාව ගැන අපිට සතුටුයි. මහා මාර්ග පද්ධතිය, කාණු පද්ධතිය සියල්ල ජනතාවට හදල දීල තියෙනවා. එදිනෙදා කුලියක් මලියක් කරල ජීවත්වෙන ගම්මුන්මේ ප්‍රතිලාභ අද භුක්ති විඳිනවා. ඉස්සර සභාව එක්ක සංසන්දනය කරද්දී අද අපි ඉන්නේ බොහොම ඉදිරියෙන්.
 


සභාපතිතුමාගේ සේවය අගය කළ යුතුයි

තිලකරත්න වන්නිනායක
සමාජ සංවර්ධන සහකාර

සභාවේ සංවර්ධනය ගත්තම භූමිය, ගොඩනැඟිලි, මිනිස්සු, ආදී සියල්ල දෙස සාපේක්‍ෂව විමසිය යුතුයි. අවුරුදු දහයක් ආපස්සට හැරී බැලුවහොත් අදට වඩා බොහෝම දුර්වල මට්ටමකයි සභාව පැවතුණේ. අපේ සභාපතිතුමා ජනතාවට සේවය කරනවා. සේවය නිසාමයි දෙවතාවකදීම වැඩි ඡන්ද අරගෙන සභාපති ධූරයට පත් වුණේ. ජනතාවගේ වගේම පාසල් දරු දැරියන් ගේ කුසලතා නැංවීමට අවශ්‍ය දිරිදීම පවා කෙරෙනවා.
 


අපිට සැළකුවේ මේ සභාපති තුමායි

ජේ. සමරකෝන්
සභාපති පුංචිකුලම, ශාන්තගම, පහේකණුව,
නෙල්ලියගම, එක්සත් මරණාධාර සමිතිය

මම අවුරුදු 23 පටන් මේ සමිතියේ සභාපති ලෙස කටයුතු කරනවා. ඒත් අපිට සමිති ශාලාවක්, ඊට අවශ්‍ය උපකරණ පවා ලැබුණේ මෙතුමාගේ පාලන කාලයේදී බව කියන්න ඕනෑ.
 


නිර්ලෝභීව මැදිහත් වන සභාවක්

ගාමිණි වේරගම
කඩියන්ගල්ල ගොවි මහතෙක්

අපේ ප්‍රාදේශීය සභාවෙන් ජනතාවට වන සේවය ගැන කතාකිරීමත් සතුටුයි. ජලය, විදුලිය, මාර්ග වගේම විවිධ සහනාධාරත් අපට ලැබෙනවා. ඒ නිසාම අපි ඕනෑම වේලාවක සභාවේ කටයුතු සමඟ අත්වැල් බැඳගන්නවා. මළගෙයක් වුණාම පවා මෙතුමා නිර්ලෝභිව ඊට මැදිහත් වෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා