වීරාභිවන්දනා

වීරාභිවන්දනා

සිඳලනු පිණිස අදිරද බැමි තිබුණ බැඳී
පෙර හෙළ විරු පුතුන් නිදහස් සටනෙ වැදී
මවු බිම නමින් අපමණ දිවි පුදන ලදී
ඉතිහස පුරා ඇත ඒ සිහිවටන රැඳී

බලමුලු පිරිවරා වෙල්ලස්සේ ඌවේ
කිවුලේගෙදර කොහුකුඹුරේ බූටෑවේ
එරෙහිව රුපුන් හට නැගු රණ ගී රාවේ
ලේ වැල් හා මුසුව නළ රැල්ලේ පාවේ

දකිනට රිසින් නිදහස් රන් අරු ණැල්ල
දිවි දුන් වෙලේ කැප්පෙටිපොළ මඩු ගල්ල
රත් පැහැ ගැහී බෝගම්බර තණ නිල්ල
හෙළුවා සුසුම් සෙංකඩගල කඳු රැල්ල

රුපුන් මඬින්නට නිදහස මුවා කළ
පුරන් අප්පු ගොංගාලෙ කුඩා පොළ
සටන් බිමට පිළිපන් වීරයෝ හෙළ
උපන් බිම නමින් මියැදුනි පුදා ගෙල

ඔවුනගෙ රුහිරු බිඳුවල බල මහිම දැන
පසුකල පිපුණි නිදහස් මල් සුවඳ දෙන
ඒ නිදහසේ හැට තුන් වැනි සමරු දින
අභිවන්දන පුදමු අත් හිස මතට ගෙන

කුමාර කවිරාජ


නිදහස් කිරණ

සිඳ බිඳ යදම් අදිරද බල සපිරි යස
ඔද තෙද ඇතිව ඔසවන්නට දැයෙහි හිස
ලද සම්පතින් නිසි පල නොලැබුවත් දෙස
නිද හස ලැබී වියැකුණි ! හැට තුනක් වස

පෙර මුණ ගත් එදා හෙළ විරුවන් පතල
පර ගැති බවෙන් ගොඩ ගැනුමට රට සිහල
හැර මත වාද පිල් කළ සටනින් නිමල
තිර නිදහසක් හිමිවිය අපටත් අමිල


සමඟිය එකමුතුව සහ ජීවනය මත
ගොණුවිය ශක්තියක් බලගතු පිරිස වෙත
නිදහස ලබන්නට ඒ බලමුලුව අත
ලේ සෙලවූ වගක් නම් ලියැවිලා නැත

නිදහස් කිරණ විහිදන හිරු මඬළ යට
අභිමානය දැයේ සංකේතවත් කොට
යුග අසිරියේ අරුමය නෙත ගැටෙන විට
උරුමය සිංහ ධජයේ බල ! සිහළ රට

මිය ගිය සිහළ විරුවන් පෙර හෙළ දෙරණේ
ළය තුළ කිඳී ඇති බල දෑ අඩු නොවුණේ
ලිය වුණු ඒ පුරාතීතයෙ පුර වරුණේ්
කිය විය යුතු යුගය එළඹී ඇත ! පොරණේ

සෙනෙහස දේශයට ඇතිනම් සොයුරු මිතු
මදහස නඟන්නට මතුදා දියුණ පැතු
කිතුගොස ලොවෙහි බැබලෙන්නට නිබඳ සතු
නිදහස වචනයට සීමා නොකළ යුතු

යුද බිය තුරන් වී ගිණි දැල් නිවුන මඟ යි
හද වත් සාමයේ සිහිලස විඳින වග යි
බැඳ සිත් අතැර නෙක මත ගොඩ නැගෙන මඟ යි
නිද හස් කිරණ යළි විහිදෙන දිනය ළඟ යි

ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්