සිංහ ළයක් ඇති

සිංහ ළයක් ඇති
හෙළයේ සිංහ පැටව්

පරදෙස් බලය බිඳ දමමින් පෑ එඩිය
නංවා අඹර හෙළ ජාතික සිහ කොඩිය
එදා සිහළ විරු නැඟු කාහල නදය
සමගින් ලක පුරා ලෙළ දේ ජාතික කොඩිය

සිංහ ළයක් ඇති හෙළයේ සිංහ පැටව්
නිදහස පතා ගෙල වුව කඟපතට පුදව්
දණ බිම ඔබා කිසිවිට නොපතන්නේ උදව්
ආඩම්බරයි තුන් හෙළයේ සිංහ පැටව්

සම්බුදු දහම තිර ලෙස ලක තුළ ගිල්වා
සාමය සතුට හැමකල නිති රජ කරවා
ලොව දස අතට හෙළයේ කිතුගොස නංවා
තුන්සැට වියැති මගේ ලක් මව සැරදේවා... !

ටී. එච්. සරත්


ජාතික නිදහස් උළෙල

සුදු අදි රාදි යදමින් ලක්මව බැන්ඳ
රුදු ඒ කටුක යුගයෙන් මිදවුව අන්ද
අඳුර දුර හිරු පෑවුව පිය නන්ද
මිදුවෙහි සේනනායක අගමැති සන්ඳ

අඳුරු වලා ලක් නුබ ගැබ දුරට යවා
සොඳුරු ලොවක් ඇති කරමින් දනට සුවා
පඳුරු කටුක වල් බිහි බිම එළිය දෙවා
මියුරු ගීත ගැයු නිදහස් සමරු මවා

විසලා වෙහෙස ගෙන බටහිර ගිය දුරමයි
බිඳලා සතුරු කරදර දුරටම කරමයි
නොදලා පවුරු පාලම් රුපු නැසු පුරමයි
නොසෙලා ලේ බිඳක් ගත් නිදහස පරමයි

නිදහස් ගසේ මල් පල මතු පුරට තියන්
වස් හැට තුනක් ගත වුන යුරු මෙලෙස කියන්
උදහස් නොවුණ ජාතියකට පරම නියන්
දිගසිරි උදාවේවා ! ‘බුදුසරණ’ ගයන්

නාන්දුවේ සීමන් ලියනගේ


නිදහස් මල් පිපෙයි

බැදි බැමි යකඩ අඩියේ සුණු විසුණු වෙලා
නිවහල් දැයේ රණ ගී ලොව තුළට ගලා
යුග පුරුෂයන් සිහිකර මල් පියලි සලා
නිදහස් මල් පිපෙයි සුවඳින් ඔකඳ වෙලා....

මගෙ රට දැයට සවිමත් යුග දෑත් සලා
සිහරජු සිටියි අසිපත ගෙන කිරුළු දරා
දෑ අභිමාන හද එඩියට සවිය කවා
ලෙළ දෙයි සිංහ කොඩි හෙට මේ අඹර පුරා

සකුන්තලා වෙලගෙදර


නව නිදහස බැබළෙන්නේ

නව මල් පිපෙන සුන්දර මේ උදෑසන
නව හිරු නැගෙන තුරු සිටියේ බලාගෙන
අලුත උපන් නව නිදහස වඩා ගෙන
වලාකුළු සිඹියි හිරු රැස් බදාගෙන

නිදිබර දෑස් පිනි කැට වලින් තෙමා ගෙන
සුවබර අනාගතයක රස පතාගෙන
නිදහස් මගෙ රටට ආසිරි පුදාගෙන
පෙරඹර හිරු නැඟෙයි දුක දුරු කරා ගෙන

උතුර දකුණ එක ම කිරිබත ඉදෙන්නේ
මගෙ මුළු රට ම එක හිරු සෙවණේ ඉන්නේ
නිල් අහසත් මහ පොළොවත් හිනැහෙන්නේ
හැට තුන් වියැති නව නිදහස බැබලෙන්නේ

රඹුක්කන කීර්ති එස්. කුමාර


නිදහස් විජය දද

දුරහැර පැන නැඟුන සැඩ කොටි බලය බිඳ
රුදුරු සටනෙ ජයකොඩි ලෙළ දෙනව අද
පෙරටම ඇදුන විරු කැල හද දිරිය මැද
වොරැඳේ සදා දිනු නිදහස් විජය දද

උදහස් වෙමින් ආ බලමුළු ඉවත හෙලන්
යසරැස් විදා විරුකැල ජය කිකිණි සලන්
නිදහස ලැබී හැට තුන් වස කිරුළු පලන්
නිදහස් විජය දද වොරැඳෙන අයුරු බලන්

එකට බැඳුන දැතින් සමගිය වපුරා
නිදහස් කිරණ විහිදේ ලක් දෙරණ පුරා
සිරිලක් මවගෙ නාමය දස දෙස පතුරා
නිදහස් සුවය විඳගමු ජයගොස පතුරා

සෝමදාස නානායක්කාර

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්