ගමට ගෙන ගිය දැයට කිරුළ

දේශය අවදි කළ මහා උළෙල

ජන මන පුබුදු කර, දේශය අවදි කළ, අභීත වීර පුතුන් බිහි වූ පුරවරයක් වූ බුත්තල ප්‍රදේශය, සංවර්ධනයේ හිරු කිරණින් නැවත පුබුදු වෙමින් තිබේ. සිහල කිතු ගොස ලොවට පෙන් වූ එඩිතර දරුවන් ජය දද නැං වූ එවන් වූ පින් බිමක සිට ‘දැයට කිරුළ’ ජාතික ප්‍රදර්ශනය, නිදහස් දිනයේ දී ඔබ වෙනුවෙන් ම එළිදැක්වෙනු ඇත.

2007 වසරේ සිට 2009 වසර දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමිය පුරා විකසිත වූ දැයට කිරුළ ප්‍රදර්ශනය, 2010 වසරේදී අගනුවරින් පිටත ප්‍රථම වතාවට කල එළි දැක්වුණි.

ඒ ඓතිහාසික පුන්‍ය භූමියක දී ය. මහනුවර පල්ලේකැලේ දී ලක්ෂ ගණනක් වූ ජන ගඟකට දැනුම, අධ්‍යාපනය ලැබදුන් දැයට කිරුළ ප්‍රදර්ශනය, මේ වසරේ දී මොනරාගල බුත්තල ප්‍රදේශය පුබුදු කිරීමට කටයුතු කරමින් සිටින අයුරු හොඳින්ම දැක බලාගත හැකි වනු ඇත.

රටක් සංවර්ධනය කරා ගෙන යාමට නම්, ඒ රටේ වෙසෙන ජනතාව ගේ සහය අනිවාර්යයෙන් ම තිබිය යුතු ය. ‘මහින්ද චින්තන – ඉදිරි දැක්ම’ වැඩපිළිවෙළ යටතේ සංවර්ධන මාවත වෙත ප්‍රවිශ්ට වී සිටින ජනතාවට, සම්මත රාමුවෙන් ඔබ්බට ගොස්, නිර්මාණශීලි බවින් පිරිපුන්, විචිත්‍රවත් ප්‍රදර්ශනයක් නැරැඹීමට අවකාශ ලැබීම, නිතැතින් ම භාග්‍යයක් ම වනු ඇත. දැයට කිරුළ යනු හුදු ප්‍රදර්ශනයක් පමණක් ම නොවේ.

එය දස අවුරුදු සංවර්ධන සැලැස්ම හා ඒකාත්මික වූ වැඩසටහනකි. දස අවුරුදු සැලැස්මේ එක් අංගයකි. දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන දිස්ත්‍රික්කය සංවර්ධනය කරමින්, එම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කරමින්, රට ඉදිරියට ගෙන යාමට කරන සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ද මෙය හැඳින් වුවහොත්, එය වැරැද්දක් නොවනු ඇත.

මහින්ද චින්තන වැඩපිළිවෙළේ අරමුණ සංවර්ධනය නගරයෙන් ගමට ගෙන යාමයි. ඒ සඳහා ‘දැයට කිරුළ’ වැඩසටහන බෙහෙවින්ම උපකාරි වනු ඇත. සෑම වසරක ම නිදහසේ සුවය භුක්ති විඳින පෙබරවාරි 04 වැනි දින මෙරට ජනතාවට ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය පිළිබඳ සිතිවිලි සිත් තුළ දරාගෙන කටයුතු කිරීමට ලැබීම මහත් පිනකි.

දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන ප්‍රදේශයේ ජනතාවට පමණක් නොව, රටේ ම ජනතාවට දේශය පිිළිබඳ හැඟුම් රාශියක් ජනිත කිරීමට සමත්, උත්කර්ෂවත් ප්‍රදර්ශනයක් ලෙස, මේ ප්‍රදර්ශනය පිළිබඳ හැඳීන්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. ප්‍රදේශයේ ජනතාව ගේ පමණක් නොව, මුළු මහත් රටේ ම ජනතාව ගේ ජීවන මට්ටම ඉහළ නංවන, අනගි දැනුම් සම්භාරයක් බෙදා හදා ගැනීමට ඉඩකඩ විවර කරදෙන ප්‍රදර්ශනයක් වසරක් පාසා පැවැත් වූයේ නම්, ඒ දැයට කිරුළ ප්‍රදර්ශනය යැයි ඉඳුරා ම පැවැසීමට හැකියාව ලැබෙනු ඇත.

බාල, මහලු, වැඩිහිටි කොයි කාටත් එක සේ විඳිය හැකි, එකසේ දැනුම ලබාගත හැකි ජාතික ප්‍රදර්ශනයක් ලෙස සැලැකීමට පුළුවන් ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය, වසර ගණනාවක් පුරා අපට ලැබ දුන්, අපට උදාකළ දේ බොහෝ ය. වසර 10 කට පසු ඔබ ජීවත්වන ශ්‍රී ලංකාව දැක බලා ගැනීමට භාග්‍ය 2007 වසරේ සිට ඔබ වෙත ගෙන ආ දැයට කිරුළ ප්‍රදර්ශනය අගනුවරින් දුර බැහැර පවත්වනු ලබන දෙවැනි ප්‍රදර්ශනය ලෙස හැඳින්විය හැකි ය.

2007 වසරේ දී ‘දැයට කිරුළ රට දිනන හෙට දිනට’ ලෙස තේමාව ඔස්සේ ඉදිරිපත් කළ ප්‍රදර්ශනය, අද වන විට සංවර්ධනයේ නිම්වළලු පුළුල් කරමින්, ගම් දනව් කරා ප්‍රවේශ වී ඇත. කෘෂිකාර්මික, කාර්මික, සංචාරක කටයුතු, කර්මාන්ත, නාගරික සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ග්‍රාම සම්පත් හා සේවා නියුක්තිය, විද්‍යා හා තාක්ෂණය, ක්‍රීඩා, පරිසර සංවර්ධනය, රාජ්‍ය පරිපාලනය, ගැටුම්වලින් හානියට පත් දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම යන විෂය ක්ෂේත්‍රවලට අදාළව එදා ආරම්භ කළ ප්‍රදර්ශනය, මෙතෙක් කාලයක් පුරාවට කරගෙන ඒමට හැකිවීම මෙරට ජනතාව ලැබූ භාග්‍යයකි.

රටේ ඉතිහාසය පිළිබඳ මෙන් ම අනාගතය පිළිබඳ අවබෝධයක් ලබාදීමට ඉවහල් වන පරිදි ප්‍රදර්ශනය කෙරෙන මෙය පැහැදිලි දැක්මක් ඇතිව ඉදිරියට ගමන් කරන රට පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදෙනු ඇත. මහින්ද චින්තනය ඉදිරියට ගෙන යමින්, මහින්ද චින්තනයෙන් බලාපොරොත්තු වන සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවී සිටින සියලු අමාත්‍යාංශ ශ්‍රමයෙන්, දැනුමෙන් මේ ප්‍රදර්ශනය වෙත කරන කැපවීම සුළුපටු නොවේ.

වර්තමානය වනවිට නිදහසේ සුවය ලොවට හඬ ගා කීමට බුත්තල ප්‍රදේශය ම සැදී පැහැදී සිටී. බැලූ බැලූ හැම පෙදෙසක ම මංමාවත්, ජල, විදුලි, ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන, පොදු පහසුකම්, නගර සංවර්ධනය, වෘත්තීය පුහුණු, කෘෂිකර්ම ඈ සකලවිධ අංශ දියුණුවේ ඉම කරා පියමං කරමින් සිටී. බුත්තල ප්‍රදේශය ම උත්කර්ෂවත් සිරියෙන් විරාජමානව සිටින්නේ, තම ප්‍රදේශයේ සංවර්ධනයේ පහසින් පන ලැබූ නිසාවෙනි. ඒ නිසා ම ප්‍රදේශයේ ජනතාවට නව පණක් ලැබී ඇත. නව ජවයක් හිමිව තිබේ.

අලුත් ආරකින් කළ එළිබසින, නව්‍ය තේමා ඔස්සේ ලොව දසත විසිර ඇති දැනුම දෝතට ගෙන එන දැයට කිරුළ 2011 ප්‍රදර්ශනය, සැබවින් ම අපට චකගත හැකි ඉතාමත් ම වැදගත් ප්‍රදර්ශනයක් යැයි පැවැසුවහොත්, එය වරදක් නොවනු ඇත.

මේ වනවිට රුපියල් මිලියන 15,000 ක් වැය කර මේ ප්‍රදේශය සංවර්ධනය කර තිබේ. 63 වැනි නිදහස් සමරු දිනය වනවිට බුත්තල ප්‍රදේශය සංවර්ධනය කරා පියමනිමින් සිටින අයුරු ඔබට ද දැකගත හැකිවනු ඇත.

මෙරට වෙලාගෙන සිටි කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන, නියමාකාරයෙන් නිදහස සැමැරීමට අපට හැකියාව ලැබුණේ පසුගිය වසරේ සිටයි.

එවන් වූ නිදහස් නිවහල් රටක, නිදහසේ මහිමය ලොවට කියාපෑමට ලැබෙන මාහැඟි අවස්ථාවක් ලෙස ද දැයට කිරුළ පිළිබඳ අභිමානයෙන් කතා කළ හැකිය.

රටකට රජුන් අවැසි වන්නේ ජනතාව ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරමින්, රටේ අභිවෘද්ධිය, සමෘද්ධිය කැන්දාගෙන ඒමටයි.

වර්තමානය වනවිට සිදුවෙමින් පවතින්නේ ද යුද්ධයෙන් විනාශ වී ගිය රට නැවත ගොඩ නඟමින්, සංවර්ධනය කරා ඔසොවා තැබීමයි. ඒ සඳහා නිවැරැදි දැක්මක් ලැබී තිබේ.

යහපත් වූ සිතිවිලි පෙරදැරි කරගෙන ඉදිරිය කරා පියවර තැබීමට උත්සාහ කරන මෙරට ජනතාවට දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වාගෙන යන ‘දැයට කිරුළ’ අභිමානයක්ම වනු ඇත.

මීට වසර පහකට ප්‍රථම සෞඛ්‍ය හා සමාජ සුබසාධන, විදුලිබල හා බලශක්ති, පළාත් සභා, ජනමාධ්‍ය, යටිතල පහසුකම් සංවර්ධනය, මූල්‍ය, වාණිජ හා වෙළෙඳ, ආරක්ෂක, රාජ්‍ය පරිපාලන, කර්මාන්ත, අධ්‍යාපන, පරිසර හා සංචාරක, කෘෂිකර්මය, ප්‍රවාහන, පෞද්ගලික අංශය යන කලාප 14 ක් සහිතව පළමු ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබිණි. මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනය ද විවිධ තේමා රැගත් ප්‍රදර්ශන කුටි 14 න් සමන්විත ය.

නැණ පිපාසාවෙන් පෙළෙන ඔබට දැනුම ලබාගෙන දවස පුරා ප්‍රදර්ශන කුටි දැක බලාගෙන, සිත් තොසින් යා හැකි දැයට කිරුළ ප්‍රදර්ශනය වෙත පැමිණීමට සංවිධායක මණ්ඩලය ඇරියුම් කරයි.

පෙබරවාරි 04 වැනිදා සිට 10 වැනිදා දක්වා මොනරාගල බුත්තල කර්මාන්තපුර භූමියේ දී හා විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වෙන ‘දැයට කිරුළ’ නැරැඹීමට අමතක කරනවා නම් එය ඔබට ලැබුණු මහඟු අවස්ථාවක් මඟ හරිනවාම වනු ඇත.


සබැඳි පුවත්