නිදහස අර්ථවත් කිරීමට ජය ගත යුතු අභියෝග

නිදහස අර්ථවත් කිරීමට ජය ගත යුතු අභියෝග

අභියෝගාත්මක අවස්ථා කීපයක් ම ජය ගෙන අපට දැන් නිදහසේ නිදහස් සමරුව පැවැත්වීමට හැකි වීම අතිශය භාග්‍යයකි.

මෙයට වසර කිහිපයකට පෙරාතුව නිදහස සැමරුව ද එම නිදහස සමරන ලද්දේ බියෙන් හා සැකෙන් යුක්තව ය. එහෙත් අද එවන් බියක් හා සැකයක් අපට නොමැත. බිය හා සැක සාංකා දුරලා කටයුතු කිරීමත් එක්තරා අන්දමක අභියෝග ජය ගැනීමකි.

මිනිස් සමාජයේ විවිධ ස්ථරවල කොටස් අතර හැල හැප්පීම් තිබුණු සමයක සාමයක් ඇති විය නො හැකි ය. එහෙත් දැන් ඒ සමාජ කොටස්වල එවන් හැල හැප්පීම් නොමැත.

එක ම ජන කොටසක් ලෙස ජීවත්වීමට ද අද අවකාශ සලසා තිබීම අප අගය කළ යුතු කරුණකි.

එදා නිදහස් සමරුව කොළඹට පමණක් සීමාව තිබුණි. එහෙත් මේ නිදහස් සමරුව කොළඹට පමණක් නොව දකුණේ සිට උතුරටත් උතුරේ සිට නැෙඟනහිරටත් විහිදවන්නකි.

මෙදා නිදහස් සමරුව උතුරේ මහ ඉහළින් වර්ණවත් කිරීමට කටයුතු කිරීමත් අප ලත් විශිෂ්ට ජයග්‍රහණයකි.

අන්තවාදීන් ගේ ක්‍රියාකාරකම් හේතු කොටගෙන අපට නිදහස සමරන්නටත් අවසර ගන්නට අවශ්‍ය විය. එසේ අවසර ගත්තත් එය හැඟීමකින් යුතුව නිසියාකාරව සිදු කිරීමට නොහැකි විය. එහෙත් අද එවන් කටුක රළු වාතාවරණයක් නොමැත.

සෘජු නායකත්වය

සංවේදී සමාජයක් නිර්මාණය වී ඇති හෙයින් අපට අවශ්‍ය සේ ඕනෑ ම දෙයක් කිරීමට සුදුසු, උචිත වාතාවරණයක් සැකසී තිබීම යහපත් ප්‍රවණතාවකි. මෙවන් තත්ත්වයක් උද්දීපනය කරන්නට අතිශයින් ම බලපෑවේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ය. එතුමා ගේ සෘජු නායකත්වය හේතු කොටගෙන අයහපත් වූ වාතාවරණය යහපත් තත්ත්වයට පත් කිරීමට හේතු භූත විය. පුළුල් වූ දෘෂ්ටි කෝණයක පිහිටා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ගත් තැත ප්‍රශංසනීය ය.

දේශපාලන අභියෝගය ජය ගත්තා සේ ආර්ථික අභියෝගය ද ජය ගත යුතු ය. ත්‍රස්තවාදී කුරිරු අභියෝගය ජය ගන්නට නොයෙකුත් විධිවේද, ක්‍රමවේද උපයෝගී කොට ගත්තා සේ ආර්ථික අභියෝග ජය ගන්නට ද නව විධිවේද ක්‍රමවේද උපයෝගී කොට ගත යුතු ය. අප හමුවේ ඇති ප්‍රබලතම අභියෝගය වන්නේ ආර්ථික විප්ලවය ජය ගැනී ම ය. සටන්කාමී විප්ලවය ජයගන්නට අපට හැකියාවක් ඇතිවූයේ නාවික, පොලිස්, ගුවන්, පාබල හමුදා වන්ගේ පූර්ණ සහයෝගය නිසා ය.

මෙයින් අපට කියා දුන්නේ හැඟීමෙන් යුක්තව අප වැඩ කළ හොත් ඕනෑ ම දෙයක් ජයගත හැකි ය යන්නයි. මේ සිවු බලවේගය ඒකරාශී වී එකමුතු වී ජීවිතය පරදුවට තබා වේලාව, අවේලාව නොබලා, අව්ව, වැස්ස ගැන නොතකා දිවා රෑ නොසිතා කටයුතු කළ නිසා ය වසර 30 ක මහා කුරිරු ගරිල්ලා යුද්ධය වසර 3 කින් සමාප්ත කරන්නට හැකි වූයේ.

ආර්ථික සංග්‍රාමය

ශාස්ත්‍රපති පණ්ඩිත
අරම ධම්මතිලක නාහිමි
ගොතටුව පාරමිතා ශ්‍රී මහා
බෝධිමළු විහාරාධිපති

ආර්ථික සංග්‍රාමය ද මෙසේ සියලු ජන කොටස්වල ඒකාබද්ධතාවයෙන් යුතුව ජය ගත යුතු ය. මේ සඳහා චතුර් බලවේගය පමණක් නොව සමස්ත සමාජය ම ඒකරාශී විය යුතු ය. අප ආර්ථික වශයෙන් ශක්තිමත් නම් අන් අයට අත පාන්නට අවශ්‍ය නොවේ. ණය ඉල්ලා ලෝ වටා යන්නට උවමනාවක් නොමැත. අපට අවශ්‍ය දේ අප විසින් ම වගා කොට ජීවන බර අඩු කර ගත හැකි ය.

නිතර ම අප අදෝනා නගන්නේ භාණ්ඩවල මිල ඉහළ යාම මත ය. අපට අවශ්‍ය දේ අපම නිෂ්පාදනය කරගන්නවා නම් භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදු නොවේ. විධිමත් සැලැසුම් මත අපගේ නිපැයුම් අතිරික්තයක් ඇති නොවන පරිදිත් නිෂ්පාදනය කළහොත් හැමදා අපට එකම තත්ත්වයේ ජීවන පැවැත්මක් රඳවාගත හැකි ය. මේ තත්ත්වය රැඳී ඇත්තේ අප වෙත විනා වෙන අය මත නොවේ.

අපට අවශ්‍ය සහල් ප්‍රමාණය අප විසින් ම නිෂ්පාදනය කරනු ලැබුවහොත් රටින් සහල් ගෙන්වීමට උවමනාවක් නොමැත. මේවාට පැලැස්තර විසඳුම් නොව සර්වකාලීන විසඳුම් ලබාදිය යුතු ය. පාරිභෝගික ජනතාව කෙරෙහි චිත්ත ප්‍රීතියක් ඇති වන අන්දමට කටයුතු කළහොත් අප හමුවේ පවත්නා ආර්ථික අභියෝග ජය ගැනීම එතරම් අපහසු කාරියක් නම් නොවේ. ‘හිත ඇත්නම් පත කුඩා ද’ යනුවෙන් අපේ ජන වහරේ කියුමක් ඇත. ඒ අනුව අපට අවශ්‍ය වන්නේ හිතයි.

ක්‍රියාශීලී පිළිවෙත

අපේ චිත්ත ශක්තිය වර්ධන නම් අපට මේ හැම දෙයක් ජයගත හැකි ය. උදාසීන පිළිවෙත බැහැරකොට ක්‍රියාශීලී පිළිවෙතක් අනුගමනය කළ යුතුය.

පරිසරය ඉතා මැනවින් තබා ගැනීමට අප උනන්දු විය යුතු ය. පරිසරය මනස්කාන්ත අයුරින් පවතින්නේ නම් තමන්ට ද ඉතා සතුටකි. එමෙන් ම ලෙඩ රෝග ව්‍යාප්ත වීම ද වළකින්නේ ය. අප අතින් බොහෝ විට සිදු නොවන්නේත් මෙය ම ය. මෙය ද අප ලත් නිදහසේ එක්තරා කොටසකි.

යහපත් අයුරින් ජීවත්වීමට කටයුතු කිරීමත් නිදහසේ තවත් අංගයකි. යහපත් ජීවිතයක් ගත කිරීමට පෙළඹවීමත් තවත් අභියෝගයකි. සමාජයේ බෝහෝ අය යහපත් ජීවිතයක් ගත කිරීමට එතරම් උත්සාහයක් ගන්නා බවක් නොපෙනේ.

දිනෙන් දින ම අපට අභියෝග එල්ල වේ. මේවා ජය ගන්නට නිරන්තරයෙන් ම අප සූදානම් විය යුතු ය. ඒ අභියෝග ජය ගන්නට අප නොපෙළඹුණහොත් ඒවාට බියෙන් පසු බෑවොත් අත් වන්නේ අන්ත පරාජයකි. ඒ සියලු බාධක, සම්බාධක මැඬගෙන ඉදිරියට යාම මිනිස් ජිවිතයක වැදගත්ම ලක්ෂණයකි.

අපේ ජනාධිපතිතුමාට අභියෝග ජයගන්නට ඒවා බාරගන්නට කදිම රුසියෙකි. එය ක්‍රියාවෙන් ද සනාථ කොට ඇත. ප්‍රායෝගික වශයෙන් එම අභියෝගවලට ප්‍රති අභියෝග එල්ලකොට සාර්ථක ගමන් මඟකට ප්‍රවේශ වී සිටී.

අභිමානය ලොවට පෙන්වීම

රටක් මෙහෙයවීමේ දී විවිධ ගැටලු මතුවේ. අසල්වැසි රටවල්වලින්ද, අන්තර්ජාතික වශයෙන් ද විවිධ ප්‍රශ්න එල්ල වේ. එම ප්‍රශ්නවලට බිය වී පසු බෑවහොත් අපට ඉදිරියට යාමට හැකියාවක් ඇතිවන්නේ නැත. අප කාටවත් යටත් නැති ස්වාධීන රාජ්‍යයකි. කාගෙන්වත් අප යැපෙන්නේ නැත. අපට අනුගත සමාජ රටාවක ජීවත්වන බැවින් අපේ අභිමතය ලොවට පෙන්විය යුතුය.

මුළු ලොවට ම මහත් හිසරදයක් වූ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කළ ආකාරය අප ලොවට පෙන්වා දුන්නේ ය. මේ රුදුරු ත්‍රස්තවාදය කිසිදා ශ්‍රී ලංකාවෙන් අතුගා දමන්නට නොහැකි යැයි පාරම් බෑ අයට අප තදින් ම පාඩමක් ඉගැන්වූහ. ඒ අය විමතියෙන් මෙන් අප දෙස අද බලා සිටිති. ඒ අර අභියෝග ජය ගැනීමේ ශක්තිය හේතු කොටගෙනය.

සියල්ල ම පාලකයන්ට පවරා පාලිතයන් උඩ බලා ගෙන සිටියොත් සියල්ල සපිරෙන්නේ නැත. අප ද පාලකයන්ට උදවු කළ යුතු ය. පාලකයන් පත්කරන්නේ පාලිතයන් නිසා ඒ අයගේ බර කරට ගැනීමත් අපගේ කාර්යයි. ආදර්ශවත් නගරයක් ආදර්ශවත් ගමක් තනන්නට අප කැපවී කටයුතු කළ යුතු ය.

දිනෙන් දින ලෝකය සංකීර්ණ තලයකට ගොදුරු වේ. 12 වැනි සියවසේ සමාජ තත්ත්වය නොව 20 වැනි සියවසේ ඊට වඩා වෙනස් තාක්ෂණයෙන් දියුණු මුළු ලෝකයේ තතු නිමේෂයකින් දැක බලා ගන්නට හැකි විද්‍යාත්මක දියුණුවක් අප ලබා ඇත. මේ විද්‍යාත්මක දියුණුව නිසා මිනිසාගේ සදාචාර වර්ධනයද පිරිහී ඇති බව පෙනේ. යමක සෑහීමකට පත් නොවී විශාල බලයක් තමා සතු කරගන්නට තැත් දරන අය සමාජයේ එමට ය. ගිහි අය පමණක් නොව පැවිදි පක්ෂය ද තමා ගේ බලය තවත් වර්ධනය කරගන්නට මාන බලන බව පෙනේ. මේවා අප සියැසින් දැක ඇත. මෙවන් ක්‍රියාමාර්ග කොතරම් දුරට උචිත ද යන්න ඒ අය කල්පනා කළ යුතු ය.

තෘෂ්ණාව බුදු සමය පිටු දකී. තෘෂ්ණාවෙන් සිදු වන්නේ අප තවදුරටත් සසරේ සැරිසැරී ම ය. බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් අප ගිහි සමාජයට පරමාදර්ශී විය යුතු ය. බුදුරදුන් කෙළේත් එයයි. තමන්ගේ ජීවිතයට එල්ල වූ සියලු අභියෝග ජයගෙන අපට විමුක්ති මාර්ගයක් හෙළිකර දුන්නේ ය. එම මාර්ගයේ අප යා යුතු ය. ධර්මකාමී, ධර්ම මාර්ගයේ අප නිතර ගමන් කරන්නේ නම් අපට එල්ල වන අභියෝග ජය ගැනීම එතරම් අසීරු නොවේ.

පරමාදර්ශය

උස් වූ කඳු වැටියකින් ඇද හැලෙන දිය පහර මහා ගංගාවක් බවට පත් වී ගලා යයි. එම දිය පහර අපට අතින් අල්ලන්නට පුළුවන.

එහෙත් ගංගාවේ ජල ප්‍රමාණය අතින් අල්ලා නවතාලිය හැකිද ? ඒ අනුව අප උස් තැනින් පරමාදර්ශී විය යුතු ය. උස් තැනින් දුන් පරමාදර්ශය පහළ සමාජ ස්ථරවලට ද ගලා යයි. ඉහළ සිට පහළට ගංගාව ගලා යන්නේ යම් සේ ද මිනිස් සමාජයක පැවැත්මත් එලෙස ම ය.

රාජ්‍ය නායකයන් පරමා දර්ශී වූ තරමට රටවැසියන් ද යහ මාර්ගයට පිවිසෙන්නේ.

අප කතාව අවම කොට වැඩියෙන් වැඩකළ යුතු ය. මෙතෙක් කල් කෙළේ වැඩියෙන් කතා කොට අඩුවෙන් වැඩ කිරීම ය. වැඩියෙන් වැඩ කරන මිනිසාට කතා කරන්නට වේලාවක් නොමැත. එම පුද්ගලයා කතා කරන්නේ අවශ්‍යම දේ ම පමණි. වැඩියෙන් වැඩ කොට බොහෝ ප්‍රතිලාභ පෙන්වා දී ඇත.

කතාකළ යුතු තැනට අප කතා කළ යුතු ය. වැඩියෙන් කතා කරන පුද්ගලයාට වැඩ කරන්නට වේලාවක් නොමැති අතර සිතන්නට අවස්ථාවක් ද නැත. නිහඬව, හුදකලාව, කල්පනාකොට සමාජ සංවර්ධනයට සැලසුම් ඉදිරිපත් කළ යුතු ය. එමෙන් ම හරි වැරැද්ද පෙන්වා දිය යුතු ය. වැරැද්ද පෙන්වා දීම මත එයට කෝප නොවී එම වැරැද්ද හදා ගත යුතු ය. අද බොහෝ විට සිදු වන්නේ වැරැද්ද පෙන්වා දුන් පුද්ගලයා සමග වෛර බැඳ ගැනීමය. මේ පිළිවෙතින්ද අප බැහැර විය යුතු ය. වැරැද්ද අප හදා ගත යුතු ය.

පුහුදුන් මිනිසුන් අතින් අප්‍රමාණ අයුරින් වැරැදි සිදු වේ. එම වැරැද්ද හදා ගැනීම අප අතින් සිදු විය යුතුය. අඩු පාඩු නොමැති මිනිසුන් සොයා ගැනීම ඉතාම දුර්ලබ ය. වැරැද්ද පුන පුනා කිරීමත් දුර්වලකමකි. එයින් හැඟීයන්නේ වැරැද්දට එතරම් සැලකිල්ලක් නොදැක් වූ බවයි.

ප්‍රඥාවන්තයන් ලෙස අපේ රට සංවර්ධනය කරන්නට ඊයේට වඩා හොඳ අද දවසක් තනන්නටත් අදටත් වඩා හෙට දිනය සාර්ථක සරුසාර කිරීමටත් අප සිතට ගත යුතු ය. සිතට ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය ක්‍රියාවට නංවා මතු පරපුර වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කළ යුතු ය. අපේ නිදහස සම්පූර්ණ වන්නේත් අපට එල්ල වන අභියෝග ජය ගන්නට පරිසරය ප්‍රතිනිර්මාණය වන්නේත් එවිට ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්