දිනූ නිදහස අර්ථවත් කරවන ශක්තිමත් ආර්ථිකයක්

දිනූ නිදහස අර්ථවත් කරවන ශක්තිමත් ආර්ථිකයක්

ද දින අප සමරන නිදහස අනාගතය සඳහාත් අනාගත දියුණුව සඳහාත් යොදාගන්නේ කෙසේද, ජාතින් අතර සමඟිය රටේ දියුණුවට කෙතෙක් දුරට බලපාන්නේ ද යන්න පිළිබඳ මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකැසුණි.

අප රටට ඩොමිනියන් නිදහසක් හෙවත් පූර්ණ නොවූ නිදහසක් ලැබුණේ 1948 දී ය. එය අර්ධ නිදහසක් වූ අතර අපගේ ඡන්දයෙන් මහජන නියෝජිතයන් පත් වූව ද රටේ නිල රාජ්‍ය නායකත්වය බ්‍රිතාන්‍ය කිරීටයට හිමිව තිබුණි. මේ තත්ත්වය තුළ මෙරටට පූර්ණ නිදහසක් අවශ්‍ය බවට දේශපාලන මතයක් ඇති වී තිබුණ ද එය යථාර්ථයක් බවට පත් වීමට බොහෝ කල් ගත විය. 1972 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟ එම අරමුණු සපල වූ අතර එතැන් සිට මෙරට තුළ ක්‍රියාත්මක වූයේ පූර්ණ නිදහස් රාජ්‍ය තත්ත්වයකි. එම 1972 ව්‍යවස්ථාව යළිත් 1978 දී සංශෝධනය විය. මේ සියලු සංශෝධනයන් නිසා 1948 සිට 1972 දක්වා අවධිය 1972 සිට 1978 දක්වා අවධිය සහ එතැන් සිට අද දක්වා ලෙස අපට වෙන්කර ගත හැකි ය.

විදේශ ප්‍රතිපත්තිය

මේ යුගය තුළ අගමැති ධූරය වෙනස් වීම, විධායකය ස්ථාපිත වීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධනය යන කරුණු ඇති විය. මෙය ද 63 වසරක රටේ නිදහස් කථාවේ සංධිස්ථාන ලෙස හඳුන්වා දිය හැකි ය. එමෙන් ම ඇගේ විදේශ ප්‍රතිපත්තිය ද ක්‍රමානුකූල වූ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් බවට පත් විය. ඒ අප සඳහන් කළේ 63 වසරක අතීතය තුළ මෙරට සිදු වූ සමාජ දේශපාලන වෙනස්කම් ලුහුඬිනි. එහෙත් දිගින් දිගට ම අතීතය වර්ණනා කිරීමෙන් හෝ අතීත වැරැදි ගැන සිතමින් කටයුතු කිරීමෙන් ප්‍රතිඵලයක් නැත. දැන් කළ යුත්තේ උද්ගතව ඇති අලුත් තත්ත්වය තුළ අනාගතය නිර්ණය කිරීම ය. මෙහි දී අපට රටක් ලෙස ඉදිරියට ගොස් ජයග්‍රහණ ලැබීමට අවශ්‍ය නම් මූලිකව කළ යුත්තේ ආර්ථික ඉලක්ක හඹා යාම සහ එය සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.

මේ නිසා නිදහසේ සිට අද දක්වා කාලය දෙස බලන විට මෙරට ආර්ථික අවධි කිහිපයක් පිළිබඳ විවරණය කළ හැකි ය. 1948 පසුව ද මෙරට තිබුණේ යටත් විජිතවාදී ආර්ථික ක්‍රමයකි. මෙහි දී හැම විට ම මූලිකත්වය ලබා දෙන ලද්දේ ආනයනය කිරීමේ ප්‍රතිපත්තිය කෙරෙහි ය.

සංවෘත ආර්ථිකය

එහෙත් මේ තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් විය. එහි දී තේ, රබර් පොල් යන අපනයන බෝග මගින් ආදායම උපයන තත්ත්වයකට මෙරට පත්විය. මේ තත්ත්වය ක්‍රමිකව ඉදිරියට ගමන් කළ අතර එය සංවෘත ආර්ථික ක්‍රමයක් ලෙස ද හඳුන්වනු ලැබී ය. එමෙන් ම ලෝක ආර්ථික චලනයට සමගාමීව මෙරට ආර්ථිකයේ ද වෙනස්කම් වූ බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

1977 දේශපාලන පරිවර්තනයන් සමඟ එතෙක් තිබූ සම්ප්‍රදායක අපනයන බෝග ආර්ථිකය වෙනස් කරමින් ඇඟළුම් කර්මාන්ත, විදේශ රැකියා ආදිය ද මෙරටට ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන මාර්ග බවට පත් විය. මෙය බොහෝ අය විවෘත ආර්ථික ක්‍රමයක් ලෙස හඳුන්වා දුන්න ද මෙය දේශපාලන අර්ථයකින් ගත් කළ නව ලිබරල්වාදී ආර්ථිකයක් ලෙස හඳුන්වා දිය හැකි ය. 1994 දී මෙරට යළිත් දේශපාලන පරිවර්තනයක් සිදූ වූව ද එය ආර්ථික ක්‍රමයේ පරිවර්තනයක් දක්වා දුරදිග නොගියේ ය. 1994 දී ඇති වූ බල ව්‍යුහය ද ක්‍රියාත්මක කළේ අඩු වැඩි වශයෙන් සුපුරුදු ලිබරල් ආර්ථික මූලධර්මයන් ම අනුගමනය කිරීම ය. එනිසා නිදහස ලබා දිගු කලක් ගත වූව ද නිසි ආර්ථික නිදහසක් උදාකර ගැනීමට නොහැකි විය.

එමෙන් ම නිදහස ලැබුණ ද තෛ‍්‍රයිභාෂා සමාජයක් ක්‍රියාත්මක නොවීම හා ජාතීන් අතර සමගිය හා අවබෝධය ඇති කර ගැනීමට නොහැකි වීම නිසා සහ භාෂා ප්‍රශ්නය ඇති වීම නිසාත් ඇති වූ සමාජ ගැටුම් අවසානයේ දී යුද්ධයක් දක්වාම ඔඩුදුවා යුද්ධයක් බවට පත් විය. මෙරට ආර්ථිකය හා සමාජය වෙනස් කළේ ද මේ ප්‍රශ්නයයි. මේ සියලු ප්‍රශ්න එදා සිටි ඇතැම් දේශපාලනඥයන් ගේ දුරනොදකින තීරණ නිසා වුවා යැයි සඳහන් කළ ද එහි වරදක් නැත. එහෙත් මේ නිසා අප නිදහස ලබා ගත වූ අවුරුදු ගණනින් භාගයක් ම අප මේ සඳහා ගත කොට තිබුණි. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි.

හැරවුම් ලක්ෂය

සියල්ල එසේ වූව ද මෙරට ආර්ථික ක්‍රමයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් ලෙස හඳුන්වාදිය හැක්කේ 2005 වර්ෂයයි. එහි දී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද අතහැර ජාතික ආර්ථිකයකට මුල පිරීය. මෙහි දී දේශීය ගොවිකමට වැඩි තැනක් ලබා දීම, ඒ සඳහා පිටුවහලක් ලෙස පොහොර සහනාධාරය ලබා දීම යන කරුණු එම ප්‍රතිපත්තිය නිසා මූූලික ලෙස ඉටු වුණේ ය. මේ ප්‍රතිපත්තිවල මූලික වාසිය අපට 2006 දීම අත්විඳීමට ලැබුණ අතර එදා ඇති වූ ලෝක ආහාර අර්බුදයෙන් ජාත්‍යන්තරය සලිත වී යද්දී අපට කෙලින් සිටගෙන සිටීමට පුලුවන් වූයේ එබැවිනි.

2007 වසරේ දී ලෝක බලශක්ති අර්බුදයක් ඇති වූ අතර තෙල් බැරලය ඩොලර් 29 සිට 147 දක්වා ඉහළ ගියේ රොකට් වේගයෙනි. මෙය නිසා ද ලොවට ප්‍රබල ප්‍රශ්න ඇති වූව ද මෙරටට එම තත්ත්වය සමහන් කර ගැනීමට හැකියාව ලැබුණි. ජගත් මූල්‍ය අර්බුදයේදී ද ලොව බලවත් රාජ්‍ය බිමට ම සමතලා වෙද්දී අපට ස්ථාවර මට්ටමක සිටීමට හැකියාව ලැබුණි. එයට මූලික හේතුව වූයේ මෙරට බැංකු ක්‍ෂේත්‍රය 76% රාජ්‍ය අංශය නියෝජනය කිරීමයි. මෙහි දී බිඳවැටීමට ගිය බැංකුවක් එයින් ගලවා ගැනීමට ද රාජ්‍ය අංශය සමත් විය. මේ අර්බුදවලින් බලවත් හානියට පත්වූයේ නව ලිබරල්වාදය හිසමතට ගත් සම්ප්‍රදායක රාජ්‍යයන්ය. අපත් 2005 දී අප ගමන් ගත් ආර්ථික මාවත වෙනස් නො කළේ නම් එම විනාශය අප ආර්ථිකයට ද සිදුවීමට ඉඩ තිබුණි.

ආර්ථිකය

එමෙන් ම 2006 සිට 2010 දක්වා කාලය තුළ මෙරට ආර්ථිකය 6% වර්ධන වේගයක් තුළ රඳවා ගැනීමට හැකි වීම ද ජයග්‍රහණයකි. 2009 වසරේ දී පමණක් රටේ ආර්ථිකය 3.5% පහළ වැටුණත් ඒ කාලයේ දී සෙසු බලවතුන් ගේ ආර්ථිකය ඍණ මට්ටමකට වැටී තිබුණි. අනෙක් පසෙන් ගත් කළ අපට මේ සියල්ල ආරක්ෂා කර ගැනීමට පුලුවන්කම ලැබුණේ රට තුළ බලවත් සිවිල් යුද්ධයක් ද තිබියදී වීම විශේෂ තත්ත්වයකි.

දැන් අප අතීතෝන්මාදයෙන් මිදී අනාගතය දෙස බැලිය යුතු ය. අද වන විට ලොව තුළ ආර්ථික බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. මේ ජාත්‍යන්තර සාධක අප හොඳින් විමසා බැලිය යුතු ය. අවුරුදු පන්සියයකට පසු ආසියාව ලොව ආර්ථික බලවතා බවට පත්වෙමින් සිටී. එංගලන්තය, අමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය වැනි පැරැණි බලවතුන් පසු බසිමින් සිටීම එනිසා අප මේ අලුත් ලෝක තත්ත්වය රටට වාසිදායක ලෙස යොදාගත යුතු ය. නව බලවතුන් සම¼ඟ ළ¼ඟින් ගණුදෙනු කළ යුතු ය.

එහෙත් මෙහි දී අප මුහුණ දෙන අභියෝග මොනවාද යන්න ද විමසා බැලිය යුතු ය. විරැකියාව මෙහි දී අප ඉදිරියේ ඇති පළමු අභියෝගයයි.

රාජ්‍ය සේවය

ඩිව් ගුණසේකර
මානව සම්පත් පිළිබඳ
ජ්‍යෙෂ්ඨ ඇමැති

ලක්ෂ පහක් සාමාන්‍ය පෙළ සඳහා ඉඳගනිති, උසස් පෙළට ද ලක්ෂ දෙකක් ඉඳගනිති. එහෙත් විශ්වවිද්‍යාලයට තේරෙනු ලැබෙන්නේ 22000 පමණ පිරිසකි. තවත් අය 5, 8, 10 වැනි පන්තිවල දී අධ්‍යාපනය හමාර කරති. මේ සියල්ල ගත් විට අති විශාල පිරිසකි. යුද සමයේ දී නම් හමුදාවට විශාල ලෙස බඳවා ගැනීම් සිදු කළේ ය. එහෙත් දැන් එම බඳවා ගැනීම් සිදු නොකරති. රාජ්‍ය සේවය ද උපරිමයෙන් පිරී ගොස් ය. ඇත්ත අභියෝගය මෙයයි. ඉදිරි ඉලක්කය ජය ගැනීමට නම් මේ අර්බුදය තිරසාර ලෙස ජයගත යුතු ය.

මෙහි දී අතර මඟින් ගිලිහෙන ශිෂ්‍යයන්ට ඔවුනගේ දක්ෂතා අනුව හා ආශාව අනුව පුහුණුවීමේ අවස්ථා ලබා දිය යුතු ය. තොරතුරු තාක්ෂණයේ සිට නූතන සමාජ ක්‍රමයට ගැලපෙන රැකියා අවස්ථා ලෙව තුළ ඕනෑ තරම් තිබේ.

හෙද වෘත්තිය ජාත්‍යන්තරය තුළ ඇත්තේ විශාල ඉල්ලුමකි. එනිසා අපට දේශීය හෙද පුහුණුවකින් පසු එම ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලීමට යැවිය හැකි ය. එසේ නොමැතිව ගොවිතැන වෙත නූතන තරුණයන් යොමු කළ හැකි යැයි මා විශ්වාස නොකරමි.

මේ හැමදේට ම මූලික වශයෙන් මෙරට උසස් අධ්‍යාපන හා පාසල් පද්ධතිය තුළ සංශෝධනය සිදු කළ යුතුය. අප අද පැමිණ තිබෙන සංධිස්ථානය ජයගෙන ඉදිරියට යා හැක්කේ එලෙස ය. පැරැණි වට්ටෝරු ක්‍රමයෙන් ඉටුකළ නොහැකි ය. අද පවා මෙරට ජනගහණයෙන් 63% ගම්බදව ජීවත් වෙති. ඔවුනගෙන් සැලකිය යුතු පිරිසකට විධිමත් ආර්ථික සැපයුම් මාර්ග නැත. මොවුන්ට ද නිසි නිපුණතා ලබා දිය යුතු ය. එමෙන්ම අප සතු විශාල ම ධනය රුපියල් ශත නොව මානව ප්‍රාග්ධනයයි.

මානව ප්‍රාග්ධනය යෙදවීමෙන් අපට රුපියල් ශත උත්පාදනය කළ හැකි ය. හොඳම උදාහරණය ලෙස හඳුන්වා දිය හැකි රට වන්නේ චීනයයි. ඔවුන් ඉතාමත් කෙටි කලක් තුළ තම ආර්ථික ඉලක්ක ජයගෙන ඇත්තේ අප සඳහන් කළ මාවතේ ගමන් කිරීමෙනි. ඉන්දියාව ද එසේ ම ය.

අප රටට ආසියාව තුළ ලැබෙන්නේ ඉතා කුඩා ඉඩකි. ජනගහණය මිලියන 20 වූ මෙරට කලාපය තුළ පමණක් නොව ලොව තුළ ම ආර්ථික ජයග්‍රහණ ලබා ගත හැක්කේ සෙසු අය සමඟ අවබෝධයෙන් කටයුතු කිරීමෙනි.

හැටතුන් වසරක් අපට ජයගැනීමට නොහැකි වූ ඉලක්ක ජයගැනීමට දැන් අප කඩිනම් විය යුතු ය. එදා අප ලද නිදහස අනාගතය සඳහා සුබදායි ලෙස යොදා ගත හැක්කේ අප මීට පෙර සඳහන් කළ ආර්ථික හා සමාජීය ඉලක්ක ජයගතහොත් පමණි.


සබැඳි පුවත්