සාමය සපිරි අලුත් නිදහසේ රුව

සාමය සපිරි අලුත් නිදහසේ රුව

සර එකසිය පනහකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව සිටි අපි ඉන් නිදහස ලබා මේ ගෙවන්නේ හැටතුන් වන වසරයි. මනෝ රාජ්‍යයන්හි සැරිසරන්නට බලය වෙනුවෙන් අපේම අයවලුන් වරින් වර අපේ ම දේශය පාවා දුන්හ. දේශප්‍රේමීත්වය කැකෑරෙන උණු වන් ලේ දහර “නිදහස” අයදිමින් මේ මිහිකත් මාතාව හා කෙතරම් නම් එක් වන්නට ඇති ද ? එසේ ජයග්‍රහණයන් හා පාවාදීම් මැදින් “නිදහස” දක්වා ආ ගමන් මග යළිඳු මේ මොහොතේ විමසිය යුත්තේ් එය වූ කලී වෙහෙසකර වූ ද ජාතිකාභිමානය කැටි වූ ද ක්‍රියාදාමයක් වු බැවිනි.

ජය රජුගෙන් ඇරැඹෙන ශ්‍රී ලංකා රාජ්‍ය වංශයෙහි ආරම්භක යුගයේ සිට ම දේශපාලන අස්ථාවරත්වය සහ බලය පිළිබඳ අත්පත් කර ගැනීමේ ආශාව මත අප දේශය වරින් වර ආක්‍රමණයන්ට නතු විය.

පෘතුගීසීන් ගෙන් ලන්දේසීන්ට නතු වූ මුහුදු බඩ පළාත් බලය සොරා ගන්නට ඉංග්‍රීසින් මාන බලමින් සිටි යුගයක ලෝක ඉතිහාසයේ ඇති වූ ප්‍රංශ මහා විප්ලවය ඔවුනට කදිම ආයුධයක් විය. ඒ මන්ද යත් ප්‍රංශය ඕලන්දය ආක්‍රමණය කිරීමත් සමග බ්‍රිතාන්‍ය ආරක්ෂා පතා පලා යන ඔරේන්ජ්හි ධ්ධ් වන විලියම් රජු රූකඩයක් බවට පත් කර ගනිමින් එවකට ලංකාවේ සිටි එංගල්බෙක්ට එවන ලද “කිව්” ලිපිය මඟින් ඔවුන් අවධාරණය කළේ “ලංකාවේ ලන්දේසි පාලන ප්‍රදේ්ශ ප්‍රංශයට අතට පත්වීම වැළැක්වීම සඳහා ඉංග්‍රීසින්ට භාරදිය යුතු බවයි” එහෙත් එංගල්බෙක් එකඟ නොවූ තැන කල්යල් බලා නොසිට ඉංග්‍රීසිහු ලක් දෙරණ ආක්‍රමණය කළහ.

1795 දී ප්‍රථම වරට ත්‍රිකුණාමල වරාය අත්පත් කරගත් ඔවුහු වසරක් තුළ මුහුදුබඩ ප්‍රදේශ සියල්ල ස්වකීය පාලනයට නතු කර ගති. එවක් පටන් ඉංග්‍රීසින්ගේ ඉලක්කය වූයේ සමස්ත ලක් දෙරණම ඔවුන්ගේ අණසකට නතු කර ගැනීමට ය.

මේ වකවානුව වන විට කන්ද උඩරට රාජධානියේ පැවති යම් යම් අස්ථායිතාවයන් සහ රජු කෙරෙහි මතුවෙමින් ආ උඩරට රදළයින්ගේ අප්‍රසාදය ඔවුනට කදිම ආයුධයක් විය.

නායක්කර් වංශික නීතියට අනුව රජකම හිමි වූ මුත්තුසාමිට නොව පිළිමතලව්වේ අධිකාරම් කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් අභිෂේක කරවන්නේ ඔහුව රූකඩයක් ලෙස තබා ගනිමින් බලය සියතට ගන්නට ය. එහෙත් එකී ප්‍රයත්නය ව්‍යාර්ථ වී ගිය කල තමන්ගේ පාලකයා නසන්නට පිළිමතලව්වේ ඉංග්‍රීසින් හා එක් වේ. එහෙත් 1803 ෆෙ‍්‍රඩ්රික් නෝර්ත් ගේ උඩරට ආක්‍රමණය අසාර්ථක වන්නේ සිහලුන්ගේ ශක්තියෙනි.

ආයුධයන්ගෙන් පමණක් නොව බුද්ධිය මෙහෙයවා සිහලුන් භේද කරවනු වස් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට ජෝන් ඩොයිලිගේ නොමඳ සහයක් ලැබේ. භික්ෂූන් වහන්සේලා සහ රදළයින් රජු කෙරෙහි බිඳවමින් රජු මත්පැනට ගිජු කරවන ඩොයිලි ගේ ක්‍රියාදාමය ට ඇහැළපොල ගේ සහාය ද ලැබෙන්නේ සිංහල රජුගේ කෲරත්වය නිසා ය. උඩරට රාජ වංශය නිම කරවමින් 1815 පෙබරවාරි 18 දින අපේ ම අයවලුන් විසින් සැඟවී සිටි ශ්‍රී වික්‍රමරාජසිංහ රජු හා බිසව අල්වා දෙමින් ලක් දෙරණ 1815 මාර්තු 02 දින ගිවිසුම් ප්‍රකාරව අපේ ම රදළයින් මහනුවර මඟුල් මඩුවේ දී පිටදේශක්කාරයන්ට පිළිගන්වති.

එහෙත් ගිවිසුම අස්සන් කිරීමට මොහොතකට කළින් සිහළ ධජය බිම හෙළා “යුනියන් ජැක්” කොඩිය ගුවනේ ළෙලෙද්දී ඒ කොඩිය පාගා දමා සිහළ කොඩිය යළි ඔසවමින් වාරියපොළ ශ්‍රී සුමංගල හිමි ඉංග්‍රීසින් විසින් උඩරට රාජ්‍ය අත්පත් කර ගැනීමට එරෙහි වූ සටන අරඹති.

ගිවිසුමේ 4 වන සහ 5 වන වගන්ති ප්‍රකාරව රදළයින්ට හිමි තැන ලබා නොදීමත් බුදු සසුන වෙනුවෙන් කැප නොවීමත් හේතුකොට ගනිමින් සහ විශේෂයෙන් ම මුස්ලිම් ජනයා වෙනුවෙන් හජ්ජි මරික්කාර්වරයෙකු පත් කිරීමට උරණව අරඹන 1818 කැරැල්ල නිදහස් සටනේ ඇරඹුමකි.

1848 දී කෝ්ල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණයන්ට එරෙහිවත් ටොරිංටන් සාමිගේ බදු ප්‍රත්පත්තියටත් එරෙහිව ඇරැඹෙන විමුක්ති අරගලය දේශප්‍රේමීත්වය නංවාලමින් “නිදහස” වෙනුවෙන් සටන් වදී.

1893 කොළඹ මුද්‍රණකරුවන් ඇරඹූ කම්කරු අරගලයක ප්‍රථම පියවරත් මිෂනාරී අධ්‍යාපන ක්‍රමය තුළින් දේශීය අධ්‍යාපනය පිරිහීම සහ බෞද්ධ පුනරුදය වෙනුවෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ඕල්කට් තුමා ප්‍රමුඛව ගෙන ගිය ජාතික ව්‍යාපාරයත් සිත් සතන් දේශානුරාගීත්වයෙන් පෝෂණය කරන්නට සමත් විණි. එස්. මහින්ද හිමියන්, පියදාස සිරිසේනයන්, පන්හිඳෙන් ඇරඹූ සටනත්, එෆ්. ආර්. සේනානායක වැන්නවුන් අමද්‍යප ව්‍යාපාරය තුළින් ගෙන ගිය සටනත් තරුණ හදවත්වලට වඩවඩාත් සමීප විණි.

එහි ප්‍රතිඵලය වූයේ සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නිදහස දිනා ගැනීම වෙනුවෙන් ජනතා පෙළ ගැසීමකි.

මොණරවිල කැප්පෙටිපොළ වීර පුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා, කුඩා පොළ හාමුදුරුවන් ආදී විරුවන් රැසකගේ ජීවිත පූජාවෙන් සහ දේශප්‍රේමීත්වය ජාත්‍යාලය ජනිත වූ සිතැති විරුවන්ගේ කැපවීමෙන් මේ ලක් දෙරණ 1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී නිදහස් ජාතියක් බවට පත් විණි.

එදා පළමු නිදහස් දින උළෙලේ දී නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මැතිතුමන් ප්‍රකාශ කළ යමක් මෙහිලා සිහිපත් කිරීම කාලෝචිත ය.

“අපට ලැබුණ මේ නිදහස ඉදිරියටත් රැකී පවතින්නට නම් ලෝකය සාමකාමී විය යුතුය” යන්න ය. එය සැබෑවකි.

ජාතිභේද, ආගම් භේදයකින් තොරව එක ම රුධිරය ඇත්තවුන් එකට එක්වී ලබා ගත් මේ නිදහස අප සැමරිය යුත්තේ ද එකට එක් වී එක් සිතැතිව ය. අතීතයේ එක්දිනක ශ්‍රී ලංකාවේ ස්වාභාවික පිහිටීමත්, වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගැනීමත් ආදී වූ වාණිජ පරමාර්ථයන් වෙනුවෙන් ලක් දෙරණ හිමිකර ගන්නට සුදු මහත්වරුන්ගේ නෙත් යොමු විය.

බලයට හෙවත් රාජ්‍යයට ඇති ලොල් බව නිසා අපේම අයවලුන් මේ දේශය පාවා දුන්හ. එහෙත් ඉන්දියන් සාගරයේ පුංචි මුතු ඇටයට ඉතිහාසයේ දෙවරක් එකම වැරදීම වන්නට ඉඩක් නොතැබිය යුතු ය. ඒ ලෝකෙන් උතුම්ම රට අපේ මවුබිම වන බැවිනි.

තිස් වසරක යුද්ධය නිමා වූ පශ්චාත් ලාංකීය සමාජය තුළ හැට තුන්වන අභිමානවත් නිදහස සමරන මේ මොහොතේ අනාගත ජීවනාලිය ලෙස අප අදිටන් කරගත යුත්තේ එක ධජයක් යට හිඳිමින් නොබෙදූ දේශයක සාමය සහෝදරත්වය රජයන සමාජයක හිඳ අප ලැබූ “නිදහසේ” සැබෑ අරුත විඳින්නට ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්