කිසිම ආක්‍රමණයකට අපේ ශිෂ්ටාචාරය බිඳ දමන්න බැරි වුණා

කිසිම ආක්‍රමණයකට අපේ ශිෂ්ටාචාරය බිඳ දමන්න බැරි වුණා

මාක්ස් සඳහන් කළ ‘ජාතීන්ගේ ඉතිහාසය වූ කලී පන්ති සටන් පිළිබද ඉතිහාසයක්’ යන කියමන වෙනුවට ඔබ ‘ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිදහස පිළිබඳ ඉතිහාසයක්’ යැයි නම් කරන්නේ කුමන සාධක මතද?

සේන සහ ගුත්තිකගේ සිට ඉංග්‍රීසින් දක්වා ආක්‍රමණ දොළහකට මුහුණදුන් ජාතියක් හැටියට ඉතිහාසය තුළ අපි විවිධ ගැටීම්, වැටීම්, නැගිටීම්වලට ලක්ව තිබෙනවා. නමුත් ඒ කාලය තුළ කිසිදු ආක්‍රමණිකයෙකුට ඉතිහාසය තුළ අප ගොඩනඟන ලද එම දැවැන්ත ශිෂ්ටාචාරය බිඳ දමන්නට නොහැකිවී තිබෙනවා.

සරල උදාහරණයක් ගතහොත් අද ලෝකයේ රණ ශූරයන් විදිහට සළකන යුදෙව්වෝ හිට්ලර්ගේ නාසිවාදය හමුවේ තමන්ගේ රට රාජ්‍ය ගම්බිම් අතහැර පලා යනවා. එහෙම වුණොත් අපි කාලිංග මාඝ වැනි දරුණු, මිලේච්ඡ ආක්‍රමණිකයන්ට මුහුණ දෙනවා.

අසවේදුල වගේ ඉතාමත් තිරශ්චිත, ම්ලේච්ඡ ආක්‍රමණිකයන්ට මුහුණ දෙනවා. මේ වගේ ආක්‍රමණ දොළහකට මුහුණදී අපි මේ රට, සංස්කෘතිය, ශිෂ්ටාචාරය ආරක්ෂා කළා. ඒ නිසා අපේ රටේ ඉතිහාසය නිදහස් සටන් පිළිබඳ ඉතිහාසයක් ලෙස හැඳින්විය හැකියි. අපි තරම් නිදහස වෙනුවෙන් දුක් විඳපු, ලේ හලපු, කදුළු හෙල වූ ජාතියක් ලෝකයේ වෙන කොතැනකවත් නැහැ.

ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය ආක්‍රමිකයන්ට මුහුණදුන් ආකාරය අපේ නිදහස් සටන් පිළිබඳ ඉතිහාසය ගැන සාකච්ඡාවකදී වැදගත් වන්නේ කෙසේ ද?

අපි අද කතා කරන නිදහස බොහෝවිට බද්ධ වන්නේ බ්‍රිතාන්‍යය යටත් විජිතයෙන් නිදහස්වීමත් සමඟයි.

1818 නිදහස් සටන ගැන බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම්වරයා මෙවැනි ප්‍රකාශයක් කළා. ‘හිරු නොබසින අධිරාජ්‍යයට සමස්ථ අධිරාජ්‍යයේ ආයුකාලය තුළ එල්ල වූ දැවැන්තම ප්‍රහාරය එල්ල වූයේ ලෝක සිතියමේ අබ ඇටයක් තරම් කුඩා රාජ්‍යයක් වන ලංකාවේ, ඌව වෙල්ලස්සෙ මිනිස්සුන්ගෙන් කියලා’ මේක ඓතිහාසික ප්‍රකාශයක්.

1818 වන විට අපේ ස්වර්ණමය යුගයක් වූ අනුරාධපුර හා පොළොන්නරු යුගයන් බිඳ වැටී අවසන්. රාජධානිය නිරිත දිගට සංක්‍රමණයවී පරිහානියට පත්ව තිබූ නුවර යුගයේ දී පවා අපේ රටේ මිනිසුන්ට නිදහස වෙනුවෙන් සටන් කිරීමට ශක්තියක් හා ධෛර්යයක් තිබී තිබෙනවා.

මෙහි දී සැළකිල්ලට ගතයුතු අනෙක් වැදගත් කරුණ ලෙස අධිරාජ්‍යවාදීන්ගේ් තුවක්කු හා බයිනෙත්තුවලින් සමන්විත ආක්‍රමණික හමුදාව සමඟ දේශීය සංවිධාන නොවන හමුදාවක් සටන් කිරීම ගත හැකියි. මේ අසංවිධිත දේශීය හමුදාව නියෝජනය කළේ ඌව වෙල්ලස්සේ ගොවිතැන් බත් කළ අපේ අතීත මුතුන් මිත්තන්.

ඔවුන්ට හැකියාව ලැබුණා ඉතාම සංවිධිත හමුදාවක් සමඟ වසර දෙකක අඛණ්ඩ යුද්ධයක් පවත්වාගෙන යාමට. ඔවුන්ට නිදහස පිළිබඳ තිර අදිටනක් තිබුණු නිසයි ඔවුන් එවැනි අඛණ්ඩ යුද්ධයක් පවත්වාගෙන ගියේ. එවගේම සංවිධිත හමුදාවක් පවත්වාගෙන නොයාමට බලපෑ කරුණු වූයේ මේ රට සාමකාමී රාජ්‍යයක් වීමය.

නිදහස් සටන් පිළිබඳ ස්මරණය කිරීමේ දී නිදහසට පෙර මේ රටේ ජීවත්වූයේ කෙබඳු ආකාරයේ මිනිසුන් ද යන්න පැහැදිලි කළ හැකි ද?

1818 නිදහස් සටනේ නායකයෙක් වූ ඇල්ලේපොළ ගෙන් ඔහු අත්අඩංගුවට ගෙන මරණ දඬුවම පැමණවීමට පෙර ඉංග්‍රීසින් සාම්ප්‍රදායික පැනයක් වූ ‘අන්තිම කැමැත්ත’ විමසා සිටිනවා. එහි දී ඔහු ලබාදුන් පිළිතුර වූයේ ‘මගේ ලංකා මෑණියන් ආක්‍රමණිකයන්ගෙන් බේරා ගන්න, මම මගේ ලංකාමෑණියන්ට පොරොන්දුවක් වුණා. අද මට ඒ පොරොන්දුව ඉෂ්ට කිරීමට බැරිවී තිබෙනවා. පොරොන්දු කඩ කළ පුතෙක් ට මේ ලක් පොළොවේ සිව් රියන උරුම නැහැ. මරණින් පස්සේ මාව කෑලි කෑලිවලට කපලා කැණහිළුන්ට කන්න දාන්න’ කියලා.

මේ කුඩා රටේ ජීවත්වන මිනිසුන් ලෝකයේ වෙනත් කිසිම රටක ජනතාවක් තුළ දක්නට නොලැබෙන ආකාරයට නිදහස වෙනුවෙන් දැඩි අදිටනක පිහිටා සිටීම ගැන බ්‍රිතාන්‍යයන් මවිතයට පත්වෙනවා. ඔවුන් මරණය හමුවේ දක්වන වීරත්වය පිළිබඳ ඔවුන් පුදුම වෙනවා.

ඒ වගේ ම ඇල්ලෙපොළගේ හිස වෙන් කිරීම සඳහා වධකයා කඩු පහර එල්ල කළ විට කඩුව දෙකට කැඩී ගිය බවත් යටත් විජිත ලේකම්ගේ වාර්තාවේ චක්වෙනවා. කඩුවකින් වෙන් කළ නොහැකි ශක්තිමත් මිනිසුන් ජීවත්වන ජාතිය ගැන ඔවුන් පුදුමය ප්‍රකාශ කරනවා.

1818 නිදහස් සටන බ්‍රිතාන්‍යයන් තිරස්චීන විදිහට මර්දනය කරනවා. එහි දී ඔවුන් මාස 6ක් ඇතුළත මේ රටේ ජනගහනයෙන් 1/6ක් මරා දමනවා. හරක බාන, කෙත් වතු, ගෙවල් දොරවල් විනාශකර දමනවා. එවැනි විනාශයක් කර ඔවුන් සිතනවා මේ රටේ ජනතාව නැවත වරක් සටන් වදින එකක් නැතිවෙයි කියලා. නමුත් එතැන් සිට අවු 30ක් ගිය තැන නැවත වරක් නිදහස් සටන් පුරන්අප්පු වීරයාගේ මූලිකත්වයෙන් ඇති වෙනවා.

ඉතිහාසය තුළ අපි හිරු නොබසින අධිරාජ්‍යයට විරුද්ධව අවස්ථා දෙකකදී තීරණාත්මක සටන් දෙකක් දියත් කරනවා. වෙන කිසිම රටකට වෙනකක් තබා මහාභාරතයටවත් බ්‍රිතාන්‍යයන්ට එරෙහි එවැනි සටනක් කිරීමට හැකියාව තිබුණේ නැහැ.

මෙම තීරණාත්මක සටන් දෙකින් පසුව නිදහස් සටන් ව්‍යාපාරය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හරහා නිදහස දිනා ගැනීමේ ව්‍යාපාරයක් බවට පත්වෙනවා නේද?

පාර්ලිමේන්තු මන්ත්‍රී
ජානක ප්‍රියන්ත බණ්ඩාර

මේ සටන් දෙක තුළ බ්‍රිතාන්‍යයන් තේරුම් ගත්තා මේ ජාතිය ආයුධවලින් මර්දනය කළ නොහැකි ජාතියක් බව. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි කොල්බෲක් හා කැමරන් සාමිවරුන් ලංකාවට පැමිණෙන්නේ.

ඔවුන් අපේ ඉතිහාසය, අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය අධ්‍යයනය කරනවා. අපිට අද වෙලා තිබෙන දේ කුමක් ද යන්න තේරුම් ගැනීමට නම් කොල්බෲක් හා කැමරන් වාර්තා අධ්‍යයනය කිරීම වැදගත්.

ලාංකිකයන්ගේ මේ ශක්තිය ගොඩනැඟී තිබෙන්නේ වැව, දාගැබ, ගම හා පන්සල පදනම්කරගත් සංස්කෘති තුළ බව ඔවුන් දුටුවා. අපේ සංස්කෘතියේ පදනම අර්ථයෙන් ධර්මයෙන් තුළිත සංවර්ධනයක් ඇති කිරීමයි. එවැනි ජාතියක් ලෙහෙසියෙන් පරාජය කළ නොහැකියි. ඒ නිසා තමයි අපිට සේන ගුත්තිකගේ සිට ආක්‍රමණ 12කට මුහුණදීමට හැකියාව ලැබුණේ.

කැමරන්ගේ යෝජනාවලියේ නිර්දේශ තුනක් තිබෙනවා. සංස්කෘතිය විනාශ කිරීම හා කෘෂි ආර්ථිකය නැති කිරීම, බුද්ධ ශාසනය, රාජ්‍යත්වය විනාශ කිරීම එම නිර්දේශයි.

1818 හා 1848 ආයුධවලින් යටත් කිරීමට බැරි වූ ජාතිය එතැන්සිට ඔවුන් 1948 දක්වා වූ වසර සියය තුළ දී නැවත ආයුධවලින් විනාශ කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අපේ අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය හා ධර්ම ක්‍රමය නැති කරනවා. මේ පදනම තුළ තමයි 1948 දී අපිට නිදහස ලැබුණේ.

1948 දී අප බ්‍රිතාන්‍යයන්ගෙන් ලබාගත් නිදහස පූර්ණ නිදහසක් යැයි සැළකිය හැකිය.

අනගාරික ධර්මපාලතුමා පූර්ව යටත් විජිත යුගයක් කළ ඔවුන් ප්‍රකාශයේ සඳහන් පරිදි ඉංග්‍රීසින්ගෙන් පසු පාලන ක්‍රමය මාරුවූයේ යටත් විජිත අදහස් පිළිගත් පන්තියකටය.

දේශයට ආදරය කරන සාමාන්‍ය ජනතාව අතට පාලන තන්ත්‍රය මාරු වූ 1956 පෙරළිය අපි ලබාගත් නිදහස වඩාත් අර්ථවත් කළ අවස්ථාව ලෙස සැලකිය හැකියි.

නමුත් එහි ප්‍රතිඵලය වැඩි කලක් අපිට පවත්වාගෙන යාමට ලැබුණේ නැහැ. 77 දී ‘ධර්මිෂ්ඨ සමාජය’ නමැති සංස්කෘතික සටන් පාඨය ගෙනැවිත් බලයට පත් වූ ජයවර්ධන රජය අමෙරිකානු මාදිලියේ අනුරුවක් මේ රට තුළ ස්ථාපිත කිරීමට උත්සාහ කරනවා.

ජයවර්ධනගේ කාලය තුළ දී නැවත වරක් කොල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගෙමින් මෙරට ජීවත් වන මිනිසුන් ආගමක් ජාතියක් නොමැති හුදු ආත්මාර්ථකාමී පරිභෝජනවාදී පිරිසක් බවට පත් කෙරෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා නැවත 2005 දී බලයට පත්වන්නේ නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ බලාපොරොත්තු නංවාලමින්.

තිස් අවුරුද්දක් තිස්සේ පැවැති යුද්ධය ඔහුට තෙවසරක් වැනි කෙටි කාලයක් තුළ දී පරාජය කිරීමට හැකිවූයේ නැතිවී තිබුණු ජාතික හැඟීම නැවත ජනතාවට එන්නත් කිරීමට ඔහුට හැකි වූ නිසයි.


සබැඳි පුවත්