දෙවැනි නිදහස රැකගෙන ඉසුරු බර දේශයක් ගොඩනගමු

දෙවැනි නිදහස රැකගෙන ඉසුරු බර දේශයක් ගොඩනගමු

තිහාසික මෙන් ම පූජනීය වශයෙන් ඉමහත් ගෞරවාදරයට පත් වූ කතරගම දී ප්‍රථම වරට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 63 වැනි ජාතික නිදහස් සංවත්සරය පෙබරවාරි 04 වනදා ඉමහත් අභිමානයෙන් යුතුව සමරනු ලබන අවස්ථාවට මෙසේ එක්වීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

දෙවැනි නිදහස් අරගලයකින් ලැබූ විජයග්‍රහණයේ දෙවැනි වසරේ දී දෙවැනි වරටත් ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් නව නිදහසේ නිර්මාතෘ වරයා ලෙස වත්මන් අතිගරු ජනාධිපතිතුමන් එක්වන මෙම 63 වැනි ජාතික නිදහස් සංවත්සරය අපට සතුටින් සැමරිය හැක්කේ එදා 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අප දිනාගත් නාමමාත්‍රික නිදහස මේ වන විට පූර්ණ නිදහස බවට පත්ව ඇති හෙයිනි.

නිදහස කිසි විටෙකත් නාමමාත්‍රයකට සීමා විය යුතු නොවන්නකි. සැබෑ නිදහස යනු දේශීයත්වය හා බැඳුණු ඒකීයත්වයක් ගොඩනැගුණු “අපේකම” නමැති හැඟීම ජනනය වන සාමූහික පරිසරයක් ගොඩනගා ගැනීම ය. නිදහස අහිමි වීම සහ එය නැවත ලබා ගැනීම අපේ රටේ ඉතිහාසය පුරා ම සිදු වූවකි. ඒනිසා ම අප මුහුණ දෙන අභියෝගය නම් ලබාගත් නිදහස අර්ථ සම්පන්න වන සේ පවත්වාගෙන යාම ය. මෙහි දී රටෙහි නිදහස හා ස්වෛරීභාවය එකසේ පවත්වාගෙන යාම සඳහා ඇතැම් ජනනායකයෝ ඉතිහාසය පුරාම විවිධාකාරයේ කැපවීම් කළහ.

මෑත ඉතිහාසයේ මීට දශක තුනකට පෙර කාල වකවානුව සිහිපත් කළ හොත් උතුරේ එල්. ටී. ටී. ඊ. මිලේච්ඡ ත්‍රස්තවාදය නිසා සිදු වූ ඛේදවාචකයන් දුරින් දුරු කරන්නට කිසිදු ජනනායකයෙකුට නුපුළුවන් වූ අවාසනාවන්ත පරිසරයක් තුළ මහින්ද රාජපක්‍ෂ නම් වූ ලංකේෂ්වරයාණෝ එකී ත්‍රස්තවාදය මුලිනුපුටා දමා පරාජය කරලීමට කළ කැපවීම අද දවසේ අප ඉතා ගෞරවාභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතු වෙමු. ලක් ඉතිහාසය හා සසඳා බලන විට මෙම උදාර ජාතික මෙහෙවර කිසිසේත් සුළුකොට තැකීමට නොහැකි ය.

ශශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා සමාජ සහජීවනය විනාශ කිරීමට ඇතැම් විදේශීය බලවේග එදා සිට ම ක්‍රියාත්මක වූ ආකාරය මඳක් විමසා බලන විට අදටත් ඒවා කිසිවිටෙකත් නතර වී නොමැති බව පැහැදිලි ය. වත්මන් අප ජනාධිපතිතුමා ද වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නේ එවැනි බැරෑරුම් අභියෝගවලට ම බව සිහි නුවණැත්තෝ දනිති. ක්‍රිස්තු පූර්ව යුගයේ සිදු වූ සේන – ගුත්තික ආක්‍රමණය එබඳු බලවේගයක මුල් ම උදාහරණයක් ලෙස සිහිපත් කළ හැකිය.

අසේල කුමරු - සේන ගුත්තිකට එරෙහිව නැගී සිට නැවත අප මවුබිම නිදහස් කොට ගැනීමට සමත් විය. එසේ දිනාගත් දේශය යළිත් එළාර යටතට පත්වී අවුරුදු 44 ක් තිස්සේ සිය පාලනය පවත්වාගෙන යමින් ලාංකික දේශපාලනය තුළ බලවත් වෙමින් සිටිය දී ඊට එරෙහිව දකුණු පළාතෙන් පැන නැගුණු නිදහස් අරගලයේ නියමුවා වූයේ දුටුගැමුණු මහ රජතුමා ය.

දුටුගැමුණු රජතුමා තම පියා සහ සොහොයුරා ද එක් කොට ගනිමින් මෙම නිදහස් සටනට පණ දුන් හැටි ඉතිහාසයෙන් මතක් කරගන්නා විට වර්තමාන ජනාධිපතිවරයා සිය සොහොයුරන් එක්කර ගනිමින්, අපගේ වීරෝදාර ත්‍රිවිධ හමුදාවන් සහ රණවිරුවන් අපගේ දේශය මෙයට වසරකට පෙර දිනා දුන් ආකාරය යළි යළිත් සිහිපත් කරමින් සේනාධිනායකයාණන් ගේ වීරත්වය හමුවේ විදේශ බලවේග පසු බස්වමින් සියලු පුරවැසියන් ගේ සැබෑ නිදහස ආරක්‍ෂා කර දුන් අන්දම සැලකිල්ලට ගැනීම ජාතියේ පරම යුතුකමකි.

එනිසා වත්මන් ශශ්‍රී ලංකාව තුළ අතීත ප්‍රබල රජවරුන්ගේ පාලන වකවානුවල දී මෙන් නැවතත් දෙවුන්දර තුඩුවේ සිට උතුරේ පේදුරුතුඩුව යාපනය අර්ධද්වීපය දක්වා මුළු රට ඒකාබද්ධ පාලනයක් යටතට පත්ව තිබේ. එපමණක් නොව රාජ්‍ය තාන්ත්‍රිකව විදේශ රටවල් සමඟින් ද යහපත් පිළිගැනීමක් ගොඩ නංවාගෙන ඇත. මෙය වත්මන් පාලන යුගයේ අපේ එක ම නිදහසේ ශක්තියයි.

දෙවැනි නිදහස දිනා දුන් ජනනායකයාණන්ට සහ එතුමාගේ කණ්ඩායමට ජනතාව කෘතවේදීත්වය දක්වමින් ඉකුත් ජනාධිපතිවරණයේදීත්, මහා මැතිවරණයේදීත්, පළාත් සභා මැතිවරණයේදීත් ශශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර දී තිබේ. මෙම ජනතා ප්‍රතිචාර තුළ අති විශිෂ්ටත්වයක් දැකිය හැකි ය.

දිනන්න බැරි යැයි කවුරුත් කී උතුරේ යුද්ධය ජයගත්තා සේ, සමානුපාතික නියෝජන ක්‍රමයක් යටතේ 3/2 කට වැඩි බලයක් කවදාවත් ලබා ගත නොහැකි බවට විපක්ෂය කී පුරසාරම් බුද්ධිමත් ජනතාව විසින් පරාජයට පත් කරමින් 3/2 ක පාර්ලිමේන්තු ඡන්ද බලයක් ජනාධිපතිතුමාට ලබා දීමෙන් මෑත ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සනිටුහන් වී ඇත. රට ගැන හිතන, කළගුණ සලකන ගුණගරුක ජනතාවක් වෙසෙන රටක් දියුණුවේ හිනිපෙත්තට ම ගෙන යා හැකි බව මෙයින් ප්‍රත්‍යක්ෂ වන්නකි.

දැන් අවශ්‍ය වන්නේ ලැබූ බලය පදනම් කරගෙන දෙවැනි නිදහසවත් අර්ථවත් කරගැනීමයි. 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා උතුරේ ත්‍රස්තවාදයෙන් ජනතාව මුදාගන්නා බවට දුන් අභියෝගාත්මක ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ඉටු කර දුන්නා සේ ම දෙවැනි ජනාධිපතිවරණ පදවි ප්‍රාප්තියේ දී ප්‍රකාශයට පත් කළ රටේ සංවර්ධන අභියෝගය ජයගෙන සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාවට අත්පත් කරදීමේ ප්‍රතිඥාව ද ඉටුකර දෙමින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කරලීමේ ප්‍රතිඥාව ද ඉටු කර දෙමින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කරලීමේ ප්‍රතිඥාවද සැබවින් ම ඉටු කළ හැකි එක ම ජනනායකයා ලෙස ජන විශ්වාසයක් තහවුරු වී තිබෙන මොහොතකි මේ.

ධනවත් රටවල් අභිබවා මහින්ද චින්තනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ම ගමන් කරවා ඇති අතිගරු ජනාධිපතිතුමා ගේ ස්වර්ණමය පාලන යුගයේ ඉදිරි යෝධ සංවර්ධන ඉලක්කයන් සියල්ල ජයගෙන නිදහස් නිවහල් සමෘද්ධිමත් මාතෘ භූමියක දිවි ගෙවීම පිණිස නිවැරදි මගට පිවිසෙන්නට හැකි වේවායි සමස්ත වැඩ කරන ජනතාව සමඟ මෙම 63 වැනි ජාතික නිදහස් දින සමරුවේ දී මම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.


සබැඳි පුවත්