නිදහසත් සමඟ නව ආර්ථිකයක් කරා

නිදහසත් සමඟ නව ආර්ථිකයක් කරා

අපට නිදහස ලැබීමෙන් පසුව ගෙවී ගිය කාලවකවානුවෙන් අඩක් පමණ ජාතිවාදී නැත්නම් වර්ගවාදී ගැටුම් පැවැතිණි.

මෙවර අප 63 වෙනි නිදහස් දිනය සමරන්නේ එම ගැටුම් නිමාවට පත් කර රට අලුත් යුගයකට පා තබා ඇති පසුබිමකයි.

අපට නිදහස ලැබෙන විට අභියෝග 3 ක් පැවැතියේ ය. පළමුවැන්න ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමයි. දෙවැන්න ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමයි. තුන්වැන්න රට තුළ ඇති ජාතික – ආගමික – ජනවාර්ගික ආදී නොයෙක් ප්‍රශ්න විසඳාගෙන රට එක්සේසත් කිරීමයි. නිදහසින් පසු අප පසුකර ආ ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට එකී අභියෝග ජය ගැනීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි බවක් නොපෙනේ. යම් යම් ප්‍රමාණවලින් ප්‍රගතියක් අත්කරගෙන ඇතත් කලාපීය හා ගෝලීය තත්ත්වයන් සමඟ සසඳන විට සතුටුදායක මට්ටමක් ඇති වී නැත.

ඊට හොඳම නිදසුනක් නම් එම කාලසීමාව තුළ නැගිටීම් තුනක් දක්නට ලැබීමයි. 71’ ජවිපෙ නැගිටීම, 87’ – 89’ ජවිපෙ නැගිටීම සහ 83’ ට පසු එල්. ටී. ටී. ඊ. ගැටුම්කාරිත්වයයි. මීට අමතරව වෙනත් ගැටලු ද ඇති වී තිබේ.

මෙවැනි විවිධ ගැටලු සමනය කර, රට ජයග්‍රහණය කරා මෙහෙයවීම අප හමුවේ ඇති කාර්යභාරයයි. එම කාර්යභාරයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත් මැනවින් නායකත්වය දෙමින් ඇත. එතුමා දෙවන වර බලයට පත් වූයේ විශාල ජනවරමකිනි. පාර්ලිමේන්තුව තුළ ද ආණ්ඩුවට විශාල බලයක් තිබේ. ආණ්ඩුව පත් වූයේ ද විශාල ජනවරමකිනි. ජනවාර්ගිකත්වය, ආර්ථික දර්ශනය ආදී කාරණා සම්බන්ධයෙන් නොයෙක් මති මතාන්තර දරන සුළු පක්ෂ ද අද රජයත් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් සිටී. ඒ ඔස්සේ නව ප්‍රවේශයක් කරා යාමේ හැකියාව ද ලැබී ඇත.

සුරක්ෂිතතාවයක්

රට ඉදිරි ජයග්‍රහණ කරා මෙහෙයවීමේ දී ජාතික සුරක්ෂිතතාවයක් තිබීම ඉතාමත් අවශ්‍යය ය. යුද්ධයක් තිබිය දී එවැන්නක් ගොඩනඟා ගැනීම අසීරු ය. නමුත් වසර 25 – 30 ක් ඇදෙමින් ගිය යුද්ධය දැන් නිමාවට පත් කර ඇත. එය ලංකා ඉතිහාසයේ විශේෂී සන්ධිස්ථානයකි. එම සන්ධිස්ථානයෙන් පසු රට ආර්ථික හා සංවර්ධන ජයග්‍රහණ කරා මෙහෙයවීමට දැන් කටයුතු කරමින් තිබේ.

පසුගිය දශක හය තුළ ගෝලීය වශයෙන් ගත්තත් රට වශයෙන් ගත්තත් ක්‍රියාත්මක වූ නොයෙක් දේ්ශපාලන හා ආර්ථික දර්ශන දැන් අහෝසි වී ගොසිනි. අප නිදහස ලබන විට ඉතා ප්‍රබලව තිබූ ආර්ථික දර්ශනය සමාජවාදය මත පදනම් විය.

එහිදී රජය ආර්ථික ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය විය. බදු මගින් රැස් කර ගන්නා ආදායම රටේ නොයෙක් සංවර්ධන ක්‍රියාවලින් සඳහා යොමුකෙරිණි. මධ්‍යගත ආර්ථිකයක් ක්‍රියාත්මක විය. රටේ පරිභෝජන අවශ්‍යතාවන්, ගෙන්වා ගන්නා සංචාරකයන් ප්‍රමාණය ආදී සෑම දෙයක් ම තීරණය කළේ රජයයි. එම ආර්ථික රටාව තුළ වෙළෙඳ පොළ එතරම් ඉදිරියට ආවේ නැත.

නිර්මාතෘවරු

මෙය අපට පමණක් අදාළ වූ තත්ත්වයක් ද නොවේ. ඉන්දියාව, මැලේසියාව, මුල් යුගය තුළ සිංගප්පූරුව ආදි රටවල් පවා සමාජවාදි කෙන්ද්‍රගත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ න්‍යාය අනුගමනය කළේය.

මේ ක්‍රමයේ නිර්මාතෘවරු ලෙස සෝවියට් කොමියුනිස්ට් ආර්ථික ක්‍රමය ඊට විකල්පයක් ලෙස බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලකිය හැකි ය. ක්ලෙමන්ට් ඇට්ලි වැනි අය මධ්‍යගත ආර්ථික ගැන දැඩිව පෙනී සිටියේ ය.

අනෙක් පැත්තෙන් ස්ටාලින් සෝවියට් ක්‍රමය වෙනුවෙන් උදම්ව පෙනී සිටියේ ය. මේ දෙකොටස අතර තරගයද ප්‍රබල විය. නමුත් අද වන විට රුසියාව මෙන් ම බ්‍රිතාන්‍යය ද එම ප්‍රතිපත්ති බැහැර කර ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව ආදි රටවල් එම අදහස් තුළ එල්බගෙන තිබුණේ ද එහි අතුරුඵල වශයෙනි.

එම අදහස් කිසිවක් දේශීය අදහස් නොවේ. ආනයනික සංකල්පවලින් අවැඩක් වූ බව අපට කිව නොහැකි ය. බොහෝ දුරට සමාජ සාධාරණත්වය මුල්කර ගනිමින් කටයුතු කිරීම එම කාල වකවානුවල දැකිය හැකි විය. එසේ වුව ද ආර්ථික පරිහානියක් ඇති නම් සමාජ සාධාරණත්වය ස්ථාපිත කළ නොහැකි ය. ඒ බව රුසියාව පළමුව ඉගෙනගත් අතර දෙවනුව චීනය ද ඉගෙන ගත්තා ය. බෙදන්න දෙයක් නැත්නම් සමසේ බෙදීමට නොහැකි ය.

විදේශ අත පෙවීම්

අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන වකවානුවේ ජෝන් රොබින්සන් නම් මාකස්වාදි අර්ථ ශාස්ත්‍රඥවරියක සිටියා ය. ඇය මාඕවාදී අදහස් දැරුවෙකි. ඇය ගේ අදහස වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය තනි වාක්‍යයකින් කිව හැකි බවයි.

අඹ ගසක් සිටුවන්නේ නැතිව අඹ ගෙඩි කෑමට උත්සාහ දරන්නේ යැයි ඇය කීවා ය. අඹ කෑමට අවශ්‍ය නම් ලංකාව කළ යුත්තේ ගෙඩිකන අදහස කල් දමා අඹ ගස් සිටුවීම බව ඇය කියා සිටියා ය.

රට දැන් ගමන් කළ යුත්තේ අඹ පැළ සිටුවන යුගයකටයි. එනම් ප්‍රතිඵල බුක්ති විඳීමට අවශ්‍ය ආයෝජන අප සිදු කළ යුතු ය. එසේ නොවුණහොත් සමාජවාදීන් නිතර බියට පත්වන විදේශ අත පෙවීම්වලට යටත් වීමට අපට සිදුවනු ඇත. හේතුව රටට ස්වතන්ත්‍ර ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට නොහැකි වන බැවිනි.

ආර්ථික විප්ලවය

දේශීය වශයෙන් ධනය වැඩි කර ගත නොහැකි නම් විදේශයන් මත යැපීමට රටට සිදු වේ. අද ආර්ථික බලවතකු වන චීනයට එය සිදු විය. මේ මාඕ සේතුං තුළ ම සංස්කෘතික හා ආර්ථික විප්ලව සිදු කිරීමට පෙරමුණ ගත්තේ ය. නමුත් එය සාර්ථක වූයේ නැත.

මාඕ අදහස් ඉවත් කිරීමට අද චීනය නැඹුරුතාවක් දක්වන බව ඇතැම් ජනමාධ්‍යවල පළ වේ. චීනය වෙළෙඳ පොළක් සමග බද්ධ වූ ක්‍රමයකට ගියේ ඉන් පසුවයි.

ගත වූ වසර 60 ක පමණ කාලය තුළ අප ද රටක් ලෙස ආර්ථික සංවර්ධනය පිළිබඳ විශාල මිත්‍යාවක එල්බ සිටි බව අපගේ අදහසයි. එනම් ආර්ථික දියුණුවට වඩා සමාජ සාධාරණයට මුල්තැන දීමට අපි ක්‍රියා කළෙමු. නමුත් ආර්ථික දියුණුව කරා ළඟා නොවී සමාජ සාධාරණය ස්ථාපිත කළ නොහැකි ය. ඒ සඳහා ආර්ථික සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් නැංවීම කළ යුතු ය.

දෙවනුව එසේ කරන අතර ආර්ථික ක්‍රියාවලිය සඳහා පුද්ගලික අංශය ද සහාය කර ගැනීමයි. ඒ තුළින් වෙළෙඳපොළ ආර්ථිකයක් කරා යා යුතු ය. නමුත් ඒ දෙක ම නොකර අප කළේ යටිතල පහසුකම් සඳහා වැය කළ යුතු මුදල් හැකිතාක් සමාජ සුබ සාධන ව්‍යාපෘතීන් සඳහා යෙදවීමයි.

තාවකාලිකව එය කළ හැකි ය. 56’ ට පෙර එය කළ හැකි විය. කොරියානු යුද්ධය නිසා දේශීය රබර් වලට විශාල ඉල්ලුමක් ඇති විය. අපේ ආදායම ඉහළ ගියේ ය. තේ රබර් පොල් ආර්ථිකයෙන් අපට විශාල මුදලක් ලැබුණු නිසා සංවර්ධන ව්‍යාපෘතින් ද දියත් කළ හැකි විය. ගල්ඔය ව්‍යාපාරය සඳහා යෙදවුණේ අපේ ම රටේ මුදල් ය. නමුත් වැඩිකල් නොයා ලැබෙන ආදායමෙන් වියදම පියවාගත නොහැකි තත්ත්වයක් ඇති විය. චීනයෙන් සහල් ගෙන්වීමට සිදු විය.

දැන් යටිතල පහසුකම් සඳහා විශාල මුදලක් යෙදවෙමින් තිබේ. එසේ කරන්නේ එය ආර්ථික සංවර්ධනයේ විශාල පදනමක් වන බැවිනි. මෙතෙක් මේ කාරණය නිසි ලෙස අවබෝධ කර නොගැනීමෙන් විවිධ දේශපාලනඥයන් වැරැදි දේශපාලන තීන්දු ගත් බව පෙනෙන්නට ඇත.

ගල්ඔය ව්‍යාපාරයට පසු කළේ මහවැලි ව්‍යාපාරය පමණක් වීම ඊට නිදසුනකි. මහාමාර්ග සංවර්ධනය, වරාය, ගුවන්තොටුපොළ ඉදිකිරීම වැනි කාරණා ගැන අවධානය යොමු කළේ නැත. මෙවැනි තිබෙන දේ සියල්ල අපට ලැබුණේ ද ඉංග්‍රීසින්ගෙනි. සුද්දන්ට බැණ බැණ අපි ඒ පහසුකම් භුක්ති විඳිමින් සිටිමු. ඉංග්‍රීසි පාලනයෙන් පසු අපට දුම්රිය මාර්ගයවත් දීර්ඝ කිරීමට හැකි වුයේ නැත. අපට ලැබුණු යටිතල පහසුකම් වර්ධනය කිරීමටත් අප අවධානය යොමු කළේ නැත.

එය වෙනස් වූයේ ‘මහින්ද චින්තනය’ ක්‍රියාවට නැංවීමත් සමඟ ය. මොන අර්බුදය ආවත් යටිතල පහසුකම් නැංවීම සඳහා මුදල් වැය කරන බවට සෘජු තීරණයක් ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකි විය. දැන් වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිවෙමින් ඇත. ;නාරච්චෝලේ, ඉහළ කොත්මලේ, කෙරවළපිටිය ජාතියේ ඉතිරි බලශක්ති අවශ්‍යතා සපුරාලනු ඇත. එම වැඩි දියුණු කිරීම් නොකර ආයෝජන පවා දිරිගැන්විය නොහැකි ය.

ආයෝජකයන්

ආචාර්ය සරත් අමුණුගම
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය

කළින් ආයෝජකයන් පැමිණෙන විට ඔවුන්ට ජෙනරේටර් ද ගෙන ඒමට සිදු විය. නමුත් දැන් අපි බල ශක්තිය අංශයෙන් සතුටුදායක තැනක සිටිමු. මේ ආසියානු කලාපයෙන්ම විදුලිය නොකපන එකම රට ශ්‍රී ලංකාවයි.

මේ කිසිවක් කළ නොහැකි වු එජාපය ජවිපෙ රජය ණය ගන්නා බව කියමින් චෝදනා කරන්නට පටන්ගෙන ඇත.

නමුත් ණය නොගෙන ආර්ථික සංවර්ධනය කරා යන්නේ කෙසේද ? සිරිකොතෙන් මුදල් දෙන්නේ නැත. ණය ගත යුතු ය. එසේ ගත් ණයවලින් කළ ආයෝජනවල ප්‍රතිඵල අද අපි ලබමින් සිටිමු. දැන් අප හොඳින් ණය ගෙවමින්ද සිටී. ණය ප්‍රතිශතය 120 % සිට 80 % දක්වා පහත වැටී ඇත. තවත් පහළට එය ගත හැකි ය. මේ ව්‍යාපෘතින් හරහා රටේ ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අපට හැකි වී තිබේ.

සාර්ව ආර්ථික ක්‍රියාවලිය අපේ තවත් අරමුණකි. විශාල පරිමාණයේ ආර්ථික තීරණ ගැනීමට දැන් අපට හැකි වී ඇත. සංවර්ධන වේගය වැඩි කිරීම ඉන් එකකි. දැන් අපි 8 % ක මට්ටමට ළඟා වී සිටිමු.

සංචාරක ව්‍යාපාරය

විදේශ විනිමය සංචිතය ඉතා විශාල ලෙස ඉහළ ට ගැනීමට ද හැකි වී ඇත. බිලියන 6 ක සංචිතයක් දැන් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බිලියන 2.2 ක ප්‍රමාණයක් ද එය ඇතුළත් ය.

සංචාරක ව්‍යාපාරය කර්මාන්ත ආදියෙන් රටට මුදල් ලැබෙමින් ඇත. මෙතෙක් අපට තිබු විශාල ම අර්බුදය වන උද්ධමනය දැන් අවම මට්ටමකට ළඟා වී තිබේ.

උද්ධමනය වැඩි වීමෙන් වැඩි ම බලපෑම දුප්පතුන්ටයි. ඉතිරිකරන අයට ද ඉන් පහර වැදීම සිදු වේ. පොලී අනුපාතය උද්ධමනයට වඩා අඩු වන විට ඉතිරි කිරීමේ වටිනාකම දිනෙන් දින පහත වැටීම සිදු වන බැවිනි.

උද්ධමන වේගයට වඩා වැඩි පොලී අනුපාතික සහිත ආර්ථිකයකට යාම රජයේ දැඩි පිළිවෙතකි. උද්ධමනය පහත් මට්ටමකට ගෙන ඒමට හැකි වීම මේ රජය ලැබූ විශාල ජයග්‍රහණයකි. එය යුද්ධය ජය ගැනීම එතරම්ම වැදගත් බව ද කිව හැකි ය. 25 % ක් වූ උද්ධමනය දැන් 7 % පමණ අවම මට්ටමක ඇත.

ගංවතුර නියං ආදිය නිසා ඇතිවන භාණ්ඩ මිල ඉහළ යාම් වැනි කාරණා තාවකාලික ය. තෙල් මිල ඉහළ යාම, විදේශයන් හි ආහාර මිල ඉහළ යාම වැනි දේ ද කලින්කලට අපට බලපායි.

දේශීය ආහාර

මේ නිසා හැකිතාක් දුරට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම අපේ පිළිවෙත විය යුතු ය. රටින් ගේන හැම දේ්ම තහනම් කිරීම ඉන් අදහස් නොකෙරේ. එය පැරැණි අදහසකි. එහෙත් දේශීයව ආහාර සුරක්ෂිතතාව අවශ්‍යම ය. වී වගාව ඉහළ නැංවීම වැනි කාරණා මේ නිසා ඉතාමත් වැදගත් ය.

දැන් නිෂ්පාදනය ද වැඩි වෙමින් තිබේ. බඩ ඉරිඟු ආදි වගාවන් ද එසේ ම ය. දේශීය කිරි නිෂ්පාදනය ද වර්ධනය වෙමින් ඇත.

මෙහි දී අලුත් සංකල්පයක් හඳුන්වාදීමට මම කැමැත්තෙමි. එනම් “නව ආර්ථිකයක්” පිළිබඳ සංකල්පයයි. රට නව ආර්ථිකයකට යා යුතු ය.

නව අර්ථිකය යනු කුමක් ද ? විශේෂයෙන් සේවා අංශයත් නූතන විද්‍යාත්මක තාක්ෂණික හා සන්නිවේදන සොයා ගැනීම් මුල් කර ගනිමින් ඇති වන අර්ථිකයකට අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා වශයෙන් මේ නව ආර්ථිකය පිළිබඳ සංකල්පය ක්‍රියාත්මක කිරීම මගේ අපේක්ෂාවයි.

සම්ප්‍රදායික ආර්ථිකය අපට පැහැදිලිව පෙනෙන්නට ඇත. අපි ඒ ගැන කලින් කතා කළෙමු. එය වර්ධනය විය යුතුය.

එය දරුවන් හොඳින් රැකබලා ගැනීමට තරම් ස්ථාවරබවක් ගෙදර ඇතිවීම වැනි කාරණයකි. එය අවශ්‍ය ය. එවිට දරුවන් බඩගින්නේ සිටින්නේ නැත.

නමුත් ඔවුන්ගේ ජීවිත ඉන් ඉහළ තැනකට ඔසවා තැබීමට නම් අප නව ආර්ථිකයක් කරා යා යුතු ය. සංචාරක ව්‍යාපාරය, මූල්‍ය සේවා, විදේශ රටවල් සමග කෙරෙන වාණිජ ගනු දෙනු ආයෝජන ආදි සියල්ල ඊට අයත් ය.

මේ අංශ වලින් නව ක්‍ෂේත්‍රයක් දැන් රටේ නිර්මාණය වෙමින් ඇත. නව පිබිදීමක් ඇති වෙමින් ඇත. නව කාර්මික සංස්කෘතියක් ගොඩනැගෙමින් ඇත. මේ පසුබිම තුළ 63 වෙනි නිදහස් දිනයේ දී රට නව ආර්ථික ක්‍රමයකට ගෙනයමින් ඉදිරි ජයග්‍රහණ කරා මෙහෙයවීම අපේ අධිෂ්ඨානය විය යුතුය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්