ජපානයට මහ වැසි

ජපානයට මහ වැසි

විකිරණ පැතිරෙතැයි ජනතාව බියෙන්

ජපාන භූමි කම්පාවෙන් හා සුනාමියෙන් විපතට පත්ව සිටින අතර දැන් ගරා වැටෙමින් පවතින න්‍යෂ්ටික බලාගාරයක විකිරණ පැතිරෙතැයි බියෙන් පසුවන දිවි ගලවා ගත්තවුනට ඊයේ මහවැසි ඇද හැලීමෙන් පවත්නා බිය හා වේදනාව තවත් උත්සන්න වී තිබේ. මහවැසි නිසා සුන් බුන් ඉවත් කිරීම හා ගැලවුම් කටයුතු වලටද බාධා පැමිණ ඇත.

මෙම අයහපත් කාලගුණය, විපතට පත් ප්‍රදේශවල සිදු කිරීමට නියමිතව තිබුණු අගමැති නඕටෝ ඛාන් ගේ හෙලිකොප්ටර් සංචාරය අත්හිටුවීමටද හේතුවී ඇත.

භූමිකම්පාවෙන් හා සුනාමියෙන් සිසිල්කරණ පද්ධතීන්ට හානිවී ඇති න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියා කාරකයන් පමණට වැඩියෙන් රත්වෙමින් දැන් විකිරණ පිටවීමේ තර්ජනයක් පවතින අතර එය මැඩලීමේ ප්‍රයත්නයන්හි ඉන්ජිනේරුවන් නිරත වී ඇත.

මේ අතර භූමි කම්පාවෙන් හා සුනාමියෙන් මිය ගිය හා අතුරුදහන්ව සිටින පිරිස 21000 ඉක්මවන බවද ප්‍රකාශ වී තිබේ. තවද ද්විත්ව ඛේදවාචකයෙන් ඇතිවූ හානිය නිසා ජපානයට ඩොලර් බිලියන 235ක පමණ පාඩුවක් සිදුව ඇතැයි ලෝකබැංකුව කියා ඇත. ඉන් ගොඩඒමට පස් අවුරුද්දක් පමණ ගත වනු ඇතැයිද බැංකුව සඳහන් කර තිබේ.

මේ සියල්ල මැද පෙරේදා සුන්බුන් අතරින් 80 හැවිරිදි කාන්තාවක හා ඇගේ 16 හැවිරිදි මුණුබුරා පණ පිටින් බේරා ගැනීමට හැකිව ඇත. ඉෂිනෝමාකි නගරයේ ඔවුන්ගේ නිවස කඩා වැටෙන විට දෙදෙනාම මුළුතැන්ගෙයි සිට ඇති අතර ශීතකරණයේ තිබුණු ආහාරවලින් ඉකුත් දින 9 ගත කිරීමට ඔවුනට හැකිව ඇත. මේ අතර ටෝකියෝ නළ ජලයෙහි විකිරණශීලී අයොඩින් සලකුණු පවත්නා බව සොයාගෙන ඇති බවත් ඉන් බලවත් හානියක් ඇති නොවන බවත් ප්‍රකාශ වී ඇත. එහෙත් එක් ගම්මානයකට ඔවුන්ගේ නළ ජලය භාවිතා නොකරන ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා