ඊජිප්තු සිවිල් පාලන සැලැස්මට සියයට 77ක් කැමැත්ත දෙති

ඊජිප්තු සිවිල් පාලන සැලැස්මට සියයට 77ක් කැමැත්ත දෙති

හොස්නි මුබාරක් පලවා හැරුණු ඊජිප්තුවේ සිවිල් පාලනය යළි වහා පිහිටුවීමේ අරමුණෙන් හමුදා පරිපාලනයෙන් ඉදිරිපත් වුණු සැලැස්ම ඊජිප්තුවානුන් 77%ක් විසින් අනුමත කරනු ලැබ තිබේ.

ඉකුත් සෙනසුරාදා මේ සම්බන්ධයෙන් පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵල පෙරේදා නිකුත් කෙරිණි. සංවිධාන කොමිසමේ සභාපති මොහමඩ් අට්ටියා පවසා ඇත්තේ නව ජනාධිපති වරණයක් හා මහමැතිවරණයක් ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම සඳහා ඉවහල්වන ව්‍යවස්ථා සංශෝධනයන් 77.2%ක ජනතාවක් හෙවත් මිලියන 14කට වැඩි ප්‍රමාණයක් විසින් අනුමත කරනුලැබ ඇති බවය. 22.8%ක් මෙම සංශෝධනයන් අනුමත කර නැත.

මිලියන 45ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ තිබුණ ද ඡන්දය ප්‍රකාශකර තිබුණෝ ඉන් 41%ක් හෙවත් මිලියන 18.5ක් පමණි.

නව සංශෝධනයන්ට අනුව ජනාධිපති ධූරය සිවුවසරකට හා දෙවරකට පමණක් සීමාවේ. සාමාන්‍ය වැසියන් හමුදා අධිකරණයට යොමු කිරීම ද ඉන් වැලකේ. මුබාරක් පාලනය යටතේ දිගටම පැවති හදිසි නීතිය හයමසකට සීමා කළ යුතු බවත් එය දිග්ගස්සන්නේ නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් සංශෝධනයන් අතර දක්නට ලැබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා