දඹදෙණියේ තේ පෙට්ටි නිපදවන කතුන්ට ගැටලු රැසක්

දඹදෙණියේ තේ පෙට්ටි නිපදවන කතුන්ට ගැටලු රැසක්
 

නිෂ්පාදනය කළ තේ ඇසුරුම්

තල කොළ පෙට්ටි වියන ආකාරය

ස්වයං රැකියාවක් ලෙස තේ ඇසුරුම් පෙට්ටි නිපදවන කාන්තාවන් දෙදහසකට අධික සංඛ්‍යාවක් දඹදෙණිය මැතිවරණ කොට්ඨාසයේ සිටියි. මෙලෙස තේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කරන කාන්තාවෝ ගැටලු රැසකට මුහුණ පා සිටිති. 1990 වර්ෂයේදී පමණ දඹදෙණිය මැතිවරණ කොට්ඨාසයේ කාන්තාවන්ට තේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කිරීම හඳුන්වා දී ඇත. මේ සඳහා දඹදෙණිය “අපනයන සංවර්ධන සමාගම” නමින් සමාගමක් පිහිටුවා ඇත.

තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොළැබීම, අවශ්‍ය අමුද්‍රව්‍ය වන තල කොළ, ගල්ලැහැ, පන් ආදිය හිඟ වීම මෙන්ම පෙට්ටි සඳහා යොදන කාඩ්බෝඩ්, තලගොබ තැම්බීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල මිල ඉහළ යෑම, තේ ඇසුරුම් නිෂ්පාදිකාවන් දඹදෙණිය අපනයන සංවර්ධන සමාගමින් ලබා ගෙන ඇති කොටස් සඳහා ප්‍රතිලාබ හිමි නොවීම ආදිය ඔවුන් මුහුණ පා ඇති ගැටලු වලින් කොටසකි.

ඒ. චන්ද්‍රාවතී මහත්මිය - මම දඹදෙණිය අපනයන සංවර්ධන සමාගමේ ආරම්භක සාමාජිකාවක්. අපි අපේ උපරිම දායකත්වය සමාගමට ලබා දුන්නා. නමුත් අප කිසිම හේතුවක් නැතිව කිසිම වන්දියක් නැතිව ඉවත් කළා.

ඩබ්. එන්. ප්‍රේමාවතී මහත්මිය - අපි මුලින් අපනයනයට පෙට්ටි මැහුවා. ඕඩර් නෑ කීවා කාලයකදී පස්සෙ අපි ඉවත් වුණා. දැන් මම ප්‍රයිවට් ඕඩර් කරනවා. අපි දැන් තල කොළ නිෂ්පාදන විතරයි කරන්නේ.

ආර්. එම්. කමලාවතී මහත්මිය - මට සමාගමේ කොටස් 4 ක් තියනවා. මෙතෙක් කිසිම ප්‍රතිලාබයක් නැහැ. ලාබ බෙදා දෙනවා කීවත් මෙතෙක් එහෙම දෙයක් වෙලා නැහැ. මෙම කොටස් වෙනම සමාගමකට පවරන්න යනවා කියලා ආරංචි වුණා. කාලෙන් කාලෙට බෝඩ් වල ගණන් වැඩි කරනවා. ඊට සමානව පෙට්ටි වල ගණන් වැඩි වෙන්නෙ නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා - දඹදෙණිය අපනයන සංවර්ධන සමාගමේ කටයුතු ගැන කලකිරීමෙන් ඉදිරියේදී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ආයතනයක් ආරම්භ කිරීමට අදහස් කරනවා.

සුනිල් රුද්‍රිගු මහතා දඹදෙණිය සංවර්ධන පදනම - කොටස් ගන්න කාන්තාවෝ 3000 ක් විතර ඉන්නවා. නමුත් ලාබ බෙදීමට හෝ කොටස් පැවරීම ගැන ව්‍යවස්ථාවෙ ඉඩක් නැහැ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා