ඉරානයට දැඩි සම්බාධක පැනවීමේ අමෙරිකා තීරණයට රුසියාවේ විරෝධය

ඉරානයට දැඩි සම්බාධක පැනවීමේ අමෙරිකා තීරණයට රුසියාවේ විරෝධය

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන න්‍යෂ්ටික ආයුධ නිපදවීමට යොමුවූවක් බව පසුගිය දා නිකුත් වූ ජගත් සංවිධාන වාර්තාවක සඳහන් වීමත් සමග එරටට තවදුරටත් දැඩි සම්බාධක පැනවිය යුතු බව ඇමෙරිකාවේ ස්ථාවරය වී තිබේ.

ඇමෙරිකාවේ මෙම අදහසට රුසියන් විරෝධය දක්වා ඇත. කෙසේ වෙතත්, ඇමෙරිකාව සහ රුසියාව මේ සම්බන්ධයෙන් දැක්විය යුතු “පොදු ප්‍රතිචාරය” පිළිබඳ එකඟත්වයකට පැමිණීමට කටයුතු කරන බව ජනාධිපති ඔබාමා පවසා තිබේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ජාත්‍යන්තර වගකීම් රාමුව තුළ ක්‍රියාත්මකවන බවට තහවුරු කිරීමට කටයුතු කරන බවට ඔබාමා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව, රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශකර ඇත.

ජනාධිපති ඔබාමා සහ ජනාධිපති මෙද්වදෙව් අතර මෙම සාකච්ඡා පැවතියේ හවායි හි පැවැත්වීමට නියමිත ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව ආරම්භ කිරීමට පෙර දිනයි.

ජගත් ආරක්ෂක කවුන්සලයේ නිත්‍ය නියෝජිතයන් වන රුසියාව සහ චීනය ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට විරුද්ධ වුවහොත්, සම්බාධක පැනවීමට වෙනත් පාර්ශ්වවල සහාය ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවට ඇමෙරිකාව සංඥාකර තිබේ.

දැනටමත් පනවා ඇති සම්බාධක හේතුකොට ගෙන ඉරාන ආර්ථිකයේ ඉදිරි ගමන සම්පූර්ණයෙන් පාහේ අඩාල වී ඇති බව අමෙරිකා බලධාරීහු විශ්වාස කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා