යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි කැතරින් ඇෂ්ටන් ලිබියාවේ දූත ගමනක

යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි කැතරින් ඇෂ්ටන් ලිබියාවේ දූත ගමනක

යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කැතරින් ඇෂ්ටන් සෙනසුරාදා ලිබියාවේ දූත ගමනක් අරඹා ඇත. එම දූත පිිරිස ලිබියාවේ අන්තර්වාර පාලනය සමඟ සාකච්ඡා පවත්වා ඇත.

මාස 8 ක් පුරා පැවැති ලිබියානු කැරැල්ලෙන් අනතුරුව රට ගොඩනැඟීමට ඇප කැපවී කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික අන්තර්වාර රජය ඇෂ්ටන් මහත්මියගේ ප්‍රසාදයට ලක්වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතිය රජකරවන “නව ලිබියාවක්” ගොඩනැඟීම අන්තර්වාර පාලනයේ අදිටන වී තිබේ.

මෙම අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කළ ඇෂ්ටන් මහත්මිය ලිබියාවේ මෙම ව්‍යායාමයට රටවල් 27කින් සමන්විත යුරෝපා හවුලේ සහාය සහ ආධාර ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබේ.

ලිබියානු ජාතික අන්තර්වාර කවුන්සලයේ සභාපති මුස්ටෆා අබ්දුල් ජලීල් සහ අගමැති අබ්දෙල් රහීම් අල් - කිබ් හමුවීමෙන් අනතුරුව පුවත්පත් සාකච්ඡාවකට ද ඇෂ්ටන් මහත්මිය සහභාගි වී ඇත. එහිදී තව මාස අටකින් පැවැත්වීමට නියමිත ලිබියානු මැතිවරණය රටේ ආරක්‍ෂාව සහ යළි ගොඩනැගීමේ ක්‍රියාදාමය පිළිබඳව සාකච්ඡා කළ බව ඇය මාධ්‍යයට පවසා තිබේ.

තම රජය විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරනු ඇති බව පවසන අන්තර් පාලන අගමැති කිබ් නොවැම්බර් 23 දින පත් කරන රජයට හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි ගේ රජයේ සේවය කළ කිසිවෙකුත් ඇතුළත් නොවන බව පවසා ඇත.

අද (සඳුදා) පැවැත්වෙන රටවල් 27 ක යුරෝපා හවුලේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන රැස්වීමකදී රාජ්‍ය විරෝධී ගැටුම්වලින් ගරාවැටුන ලිබියාව යළි ගොඩනැගීමට උදව් උපකාර කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ලිබියාවේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට යුරෝපා හවුල විසින් යූරෝ මිලියන 30 ක් ලබා දීමට බලාපොරොත්තු වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා