ගෝල්ඩන් බූට් සම්මානයට ඉසෙදීන්-ෆර්සීන් සටනක

ගෝල්ඩන් බූට් සම්මානයට ඉසෙදීන්-ෆර්සීන් සටනක

 යුද හමුදාවේ ඉසෙදීන්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල් ලාභියා බවට පත්වී “ගෝල්ඩන් බූට්” සම්මානය දිනාගැනීමට යුද හමුදාවේ මොහොමඩ් ඉසෙදීන් හා කළුතර බ්ලූ ස්ටාර් පිලේ මොහොමඩ් ෆර්සීන් අතර ප්‍රබල සටනක් පවතී.

සෑම කණ්ඩායමකටම තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී මොහොමඩ් ෆර්සීන් ගෝල් 12 ක් හා මොහොමඩ් ඉසෙදීන් ගෝල් 11 ක් ලබා සිටිති.

රත්නම් ක්‍රීඩා සමාජයේ ඊ. බී. චන්න හා සිවිල් ආරක්‍ෂක බලකා පිලේ නුවන් පි‍්‍රයංකර ගෝල් 9 බැගින් ලබා තිබේ.

දැනට ගෝල් ලබාගැනීමේ ඉදිරියෙන්ම සිටින ෆර්සීන්ට හා ඉසෙදීන්ට සති අන්තයේ නිමාවූ තරගවලදී ගෝල් වාර්තා කිරීමට නොහැකි වූහ.

පොලිස් පිටියේ පැවැති රිනවුන් - පොලිස් තරගය ගෝල් 1 – 1 ක් ලෙස ද, කැලණියේ පැවැති සිවිල් ආරක්‍ෂක හා ගුවන් හමුදාව අතර තරගය ගෝල් 2 – 2 ක් ලෙස ද, සිටිලීග් පිටියේ පැවැති යුද – ජාවාලේන් අතර තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

කැලණියේ පැවැති සෝන්ඩර්ස් - නාවික හමුදාව අතර තරගයේදී ගෝල් 2 – 0 ක ජයක් නාවික හමුදාවට හිමිවිය. එන්. සී. ප්‍රනාන්දු හා ඒ. සී. සංජීව නාවික හමුදාව වෙනුවෙන් ගෝල් වාර්තා කළහ.

ඇල්බට් එෆ්. පීරිස් පිටියේ නිමාවූ නිව් යංග්ස් - දොන් බොස්කෝ අතර තරගයෙන් ගෝල් 1 – 0 ක ජයක් දොන් බොස්කෝ පිලට හිමිවිය. ජයග්‍රාහී ගෝලය අයි. පී. සිල්වා වාර්තා කළේය.

දැනට තරගාවලියේ වැඩිම ජය ලබා ඉදිරියෙන් සිටින රත්නම් හා බ්ලූස්ටාර් අතර තරගයෙන් ගෝල් 2 – 1 ක ජයක් රත්නම් පිලට හිමිවිය.

රත්නම් පිල වෙනුවෙන් ඊ. බී. චන්න, බී. ආර්. ලසන්ත ගෝල් වාර්තා කළ අතර බ්ලූස්ටාර් පිලේ සී. එම්. රියාස් ගෝල් වාර්තා කළේය.

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට මුල් පෙළේ කණ්ඩායම් 12 ක් තරග වදින අතර අවසන් ස්ථානයට පත්වන කණ්ඩායම් දෙක ලබන වසරේ මේ තරගාවලියට එක්කර නොගනී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා