පරිවාසයෙන් ගෙදර පැමිණි තරුණිය මුලාකර පුංචි අම්මාගේ අනියම් සැමියාට විවාහ කර දීලා

පරිවාසයෙන් ගෙදර පැමිණි තරුණිය මුලාකර
පුංචි අම්මාගේ අනියම් සැමියාට විවාහ කර දීලා

* දින දෙකෙන් මනමාලිට වධ හිංසා
* පොලිසියේ සහාය පතයි

පිය සෙනෙහස අහිමි ඇය අතුරුගිරිය පරණ හන්දියේ දිළිඳු පවුලක කුඩා දියණියකි. එකල ඇයගේ දිළිඳුකම සහ දඟකාර සිද්ධීන් නිසා ඇයගේම වැඩි ආරක්ෂාවට පොලිසිය මැදිහත්වීමෙන් රජයේ ළමා පරිවාස නිවාස බාරයට පත්ව ඇත. තරමක් කලු වුවද කාගෙත් සිත් ආකර්ශනීය වන රූ සපුවකින් යුත් අහිංසක පෙනුමක් ඇය සතුය. වයස 18 සම්පූර්ණව ඇය පරිවාසයෙන් නිදහස්ව නැවතත් මව භාරයට පැමිණ යෞවනත්වයේ නව පැතුමන් මැද ගතවූයේ ටික දිනකි.

ඇය විවාහ කරදීම සඳහා ඉතා යෝග්‍ය, අවුරුදු 27 ක හොඳ කාර්මිකයෙක් කොට්ටාවේ සිටිනවා යයි පවසමින් විවාහ යෝජනාවක් ඇයට ගෙනවිත් තිබුණේ ඇයගේම පුංචි අම්මා විසිනි. ටික දිනකින් හැමගේම ආශිර්වාදය මැද විවාහ වී ජීවිතයේ සුන්දරම දවස ඇය ඔහු සමග ගතකර ඇත්තේ මුළු ජීවිතය පුරාවටම ඔහුට දේවත්වයෙන් සලකමින් සතුටින් දිවි ගෙවීමේ පරම අධිෂ්ඨානයෙනි. එහෙත් එම සතුට ඇයට ඔහුගෙන් නොලැබුණි. විවාහ වී දින දෙකෙන් ඔහුගෙන් ඇයට එල්ල වී ඇති ගුටි බැට වද හිංසා අපමණය.

අහිංසක ඇය ඇඬූ කඳුලින් යුක්තව යළිත් මව වෙත පැමිණීමෙන් පසු පොලිසියේ සහාය පැතීය. යම් ලේඛනයක් (විවාහ සහතිකය) අතැතිව පැමිණි ඇය අතුරුගිරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ක්‍රිස්ටෝපර් මහතා ඉදිරියේ ඇය කරුණු දක්වමින් හඬා වැලපෙන්නට විය. ජීවිතය ගැන නිසි අවබෝධයක් සහ නීතිමය දැනුමක් නැති මේ තරුණිය පොලිසියෙන් ඉල්ලා සිටියේ සැමියා ළඟ සිටි දින දෙක තුන තුළදී ලද වධ හිංසා ඉවසා සිටිය නොහැකි නිසා තම කැමැත්ත පරිදි දික්කසාදයක් ලබාදෙන ලෙසය. පොලිස් නිලධාරි ක්‍රිස්ටෝපර් මහතා මෙම ඉල්ලීම ගැන සාවධානව වැඩිදුර සොයා බැලීමේදී සනාථ වූ සැඟවුණු කරුණු බොහෝය.

ඔහුගේ වයස අවුරුදු 27 නොව තිස් හතකි. ඔහු ඇයගේ මවටත් වඩා වැඩිමල් ය. මෙම විවාහ යෝජනාව ගෙන ආ ඇයගේ පුංචි අම්මා විසින් කලක සිට කාටත් හොරා ඔහු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන හෙයින් ඇයගේ එම කටයුතුවලට රුකුලක් කර ගැනීම සඳහා මෙම අහිංසකාවිය ඔහුට විවාහ කර දීමට පුංචි අම්මා මුල්වී ඇත. මේ තරුණිය කුඩා කලදී ඇයගේ ආරක්ෂාවට පරිවාසයට භාර දී ඇත්තේ ද මෙම සිද්ධිය විභාග කළ පොලිස් නිලධාරි ක්‍රිස්ටෝපර් මහතා විසින්ම ය.

දැඩි අනුකම්පා සිතින් සිද්ධිය ගැන කරුණු විමසූ ඔහු ඇයට පවසා සිටියේ දික්කසාදයක් ලබාදීමේ බලය ඇත්තේ උසාවියට බවයි. එම පුද්ගලයා මීට පෙරද මෙවැනි වංචනික විවාහ කරගෙන තිබෙන්නට පුළුවන් හෙයින් ඔහු ගැන තවදුරටත් කරුණු සොයා බලා ඇය වෙනුවෙන් නීතිමය සහන සැලසීමට ක්‍රියා කරන බවද මෙවැනි සිද්ධි සමාජයේ හැමටම හොඳ පාඩමක් බවද ඔහු පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා