අනියම් පෙමක පැටළුණු තාත්තයි පුතයි පෙම්සුව විඳින්න එකම නිවෙසකට ගිහින්

අනියම් පෙමක පැටළුණු තාත්තයි පුතයි පෙම්සුව විඳින්න එකම නිවෙසකට ගිහින්

පියසේන පනස් වියද ඉක්මවූවෙකි. පෙදරේරු වෘත්තියෙහි යෙදුණු ඔහු පිට පළාත්වලටද ගොස් රාජකාරියේ යෙදෙයි. ගොඩනැඟිලි ඉදිකිරීම් කොන්ත්‍රාත් ගන්නේද මොහු විසිනි. ඔහුගේ දරුවන් තිදෙනාගෙන් ලොකු පුතා වු වසන්ත ද පියාගේ රැකියාව මැනවින් පුහුණු වී ඇති නිසා ඔහුද ඉදිකිරීම් කොන්ත්‍රාත් ගැනීමට පුරුදු ව සිටියේය.

පිය පුතු මෙසේ පිට පළාත්වල වැඩට ගිය පසු නිවසේ ඉතිරි වන්නේ අනෙක් දරු දෙදෙනාත් බිරියත් පමණි. මෙසේ කාලය ගෙවී යද්දි පියසේනට බෝවන රෝගයක් වැළදීම නිසා ටික දවසක් නිවෙසහි නතරවීමට සිදු විය. වෙනත් ප්‍රදේශයක වැඩ කළ ලොකු පුතා එම වැඩ කටයුතුª නිමවීම නිසා නිවෙසට පැමිණ සිටියේය. පියසේන ඔහුට කීවේ තමා වැඩ කළ ස්ථානයට ගොස් එම වැඩ කටයුතු ගැන බලාගන්නා ලෙසය. තාත්තාගේ ඉල්ලීම පිළිගත් ඔහු එය අකුරටම ඉටු කළේය. එසේ වැඩ කරන ස්ථානය අසල නිවසක වැන්දඹු කාන්තාවක සමග ඇසුරක්ද ගොඩනගා ගත් ඔහු සමහර දිනවල කාටත් හොරා රැය ගත කළේ එම නිවසේය.

ටික දවසක් ගත වෙද්දි සුවය ලැබු පියසේනට වැඩපලට ඒමට හැකි විය. දැන් තාත්තා වැඩ පළේ සිටින නිසා වසන්ත කළේ ඒ ආසන්නයේ වු තවත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට බාර ගැනීමයි. දිනක් සවස් යාමයේ වසන්ත පෙර කී කාන්තාව සොයා ගියේය. අඩවන් කර තිබු දොරෙන් ගෙට ඇතුළු වූ වසන්ත කාන්තාවට කථා කළේය. ඇය පෙනෙන්නට නොසිටියාය. දඩි බිඩි ගා කාමරයෙන් එළියට ආ ඇය වසන්තට වාඩිවන ලෙස කීවාය. එදින ගෙදර යාමට නියම කර ගෙන තිබූ නිසා ගෙදර යාමට නොහැකි වන බව පියාට දැන්වීමට ඔහුට අවශ්‍ය විය.

පියා ඔහුගේ වැඩපලේ සිටින බැවින් වසන්තට වුවමනා වුයේ බොරු හේතුවක් පවසා අද නිවෙසට නොයන බව කීමටයි. ඔහු තාත්තාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේය. පුදුමයකි. තාත්තාගේ දුරකථනය කාමරයෙන් නාද වෙයි. ඔහු කාමරයට හිස පොවා බැලුවද කිසිවකු නැත. නාදය එන්නේ ඇඳ යටිනි. කිසිවක් හිතා ගැනීමට නොහැකි වු වසන්ත ඇඳ යට බැලුවේය. ඔහුට තරු පෙනුණේ එවිටය. ඒ තම පියාය. කාරණය තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවිණි. ගෙයි පුටුවකුත් පෙරළාගෙන දුව ගිය වසන්ත නතර වූයේ තම වැඩපළේය.

ඇඳ යටින් එළියට ආ පියසේනට තරහා ආවේ කාන්තාව ගැනය. ඇයට ලුණු ඇඹුල් සහිතව කථා කළ පියසේන තම වැඩපලට දිව ගියේ නැවත ඒ පළාතවත් නොබලන අදහසිනි. සති දෙකකට පමණ පසු පියාත් පුතාත් නිවසේදී මුණ ගැසුණද මුහුණ බලා කථා කිරීමේ හැකියාවක් දෙදෙනාටම නොතිබිණි. තවමත් මේ අසම්මත රහස මවගේ කනට වැටී නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා