මිනී පෙට්ටිය ඇතුළින් කටහඬක් ඇසී මිතුරන් පිරිස සිහිමුර්ජා වෙලා

මිනී පෙට්ටිය ඇතුළින් කටහඬක් ඇසී මිතුරන් පිරිස සිහිමුර්ජා වෙලා

විමල්, කමල්, පියල්, නිමල්, රංජි යන මේ පස්දෙනා අසල්වාසීගම් ප්‍රදේශවල ජීවත්වූ අගනුවර රැකියාවන්හි නියුතු තරුණ පිරිසක් වූහ. රැකියාවට යන්නෙත් ආපසු එන්නේත් බොහෝවිට එකටමය.දිනක් මිතුරන් පිරිස දුම්රියේ ගමන වැරදීමකින් බස් රථයෙන් ඒමට පෑලියගොඩ හංදියට වී සිටියෝය. තද වැස්සක්ද කඩා වැටිණි. වේලාව මධ්‍යම රාත්‍රිය පවා ඉක්ම ගොස් තිබිණ.

සෑහෙන වේලාවක් මෙම නැවතුම්පොළේ සිටියත් බස් රථයක් එන ලකුණු නොවීය. ඉදිරියට එන ලොරියේ වෑන් එකේ පිහිට පතමින් අත් ඔසවමින් පාරට පැන නොසෑහෙන සේ තෙමුනද පිහිටක් නොවීය. මද වේලාවකින් කළු පාට කැන්වස් රෙද්දකින් බාගයක් වැසුණු ලොරියක් එනු දුටු මොවුන් නැවතත් පාරට පැන්නේ නැවතත් ලොරියේ පිහිට පතමිනි. වාසනාවකට මෙන් ලොරිය පාර අයිනේ නැවැත්විය. පිරිස ලොරි රියැදුරු අසලට දිව්වෝය.

“අනේ ඩ්‍රයිවර් මහත්තයො පින් සිද්ධ වෙනවා අපිව යක්කලට ගිහින් දාන්න” බැගෑපත් විය. “ගිහින් දාන්නම් හැබැයි මේ ලොරියේ මිනී පෙට්ටි පුරවලා තියෙන්නෙ. හැබැයි බය වෙන්නෙ නැත්නම් උදව්වක් වශයෙන් අර පිටිපසසෙ කැන්වස් රෙද්ද යටට වෙලා යන්න පුලුවන්නම් මම ගිහින් දාන්නම්. ඔවුහු මිනී පෙට්ටි ගැන පවා නොතකා ලොරියට නැගගත්හ. කෙසේ හෝ නිවෙස්වලට යායුතු නිසා උපදෙස් පරිදි කැන්වස් රෙද්දේ පිහිට ලබාගත්තේය.

විටින් විට කැන්වස් රෙද්ද ඉවත්කරමින් මඟ තොට ගැනද විමසිලිමත් වූහ. එකින් එකට උඩින් තැබූ මිනීපෙට්ටි ගොඩ කෙළවරේ සිරස් අතට තබා තවත් පෙට්ටියක්ද විය. මේ මිනීපෙට්ටිය අසලට නොයෑමටත් නොගෑවීමටත් විමසිලිමත් වූහ. පිරිසගේ නිශ්ශබ්දතාවය අතරින් “තව වහිනවද මචං.. යනුවෙන් ඇසුණු මිනිස් කටහඬින් පිරිස තිගැස්සිණී. ඒ සමඟම අසල වූ මිනී පෙට්ටියේ පියනද ක්‍රමයෙන් එසවෙමින් දෑතක් ද එලියට විහිදුනි.

‘බුදු අම්මෝ’ යි කියමින් කෑ ගැසූ පිරිස ලොරියෙන් පිටට පැන්නේ ය. රියැදුරුට මේ සිද්ධිය පිළිබඳ ඉඟියක්ද දැනුනෙන් වහාම ලොරිය නැවැත්විය. සිහිමුර්ඡා වී බිම වැතිර සිටි පිරිස දුටු රියදුරු තෙමේ දෙලොවත් අතර මැද අතරමං විය. මිනී පෙට්ටියේ නිදා සිටි ලොරි සහායකයාද බිමට පැන සිදුවූ දේ ගැන කම්පා විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා