රාජාංගණය මිනී මැරුම් නඩුවේ චූදිත දහ අට වසරක් හිරේට

රාජාංගණය මිනී මැරුම් නඩුවේ චූදිත දහ අට වසරක් හිරේට

* රුපියල් දහසක දඩයක්ද නියම කරයි

* ඝාතනය සිදුකර ඇත්තේ 2001 වසරේදී

මිනී මැරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් අත්හිටවු සිර දඬුවම් ලබමින් සිටින රාජාංගණ මිනී මැරුම් නඩුවේ චූදිත බරපතළ වැඩ ඇතිව අවුරුදු 18ක සිර දඬුවමකට යටත් කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා එකී සිර දඬුවමට අමතරව රුපියල් 1000ක දඩයක් ද නියම කළේය.රජයේ නීතිඥවරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙර වැරැදි ගැන සලකා බලමින් එකී සිර දඬුවම් නියම කළ විනිසුරු වරයා විත්තියේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළේය.

2001 ඔක්තෝබර් මස 27 දින හෝ ඊට ආසන්න දිනයකදී රාජාංගණයේ ආර්. එම්. මඩවල (57) නැමති ට්‍රැක්ටර් රියැදුරකුගේ හිසට උදැල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරු මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටියේය. රජයේ නීතිඥ ඉඳුනිල් පුංචිහේවා මෙනවිය අධිකරණය හමුවේ කියා සිටියේ මරණකරු සිද්ධිය වූ දවසේ තම කුඹුරේ හාමින් සිටියදී විත්තිකරු විසින් ඔහුගේ හිසට උදැල්ලකින් පහරදී තිබෙනවා. විත්තිකරු මීට ප්‍රථම ද මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් යටතේ දඬුවම් ලබමින් සිටින පුද්ගලයෙක්.

පොලීසියට ලැබී තිබෙන තොරතුරු අනුව මොහු ප්‍රදේශයේ නම ගිය චණ්ඩියෙක්. මෙවන් අපරාධ කරුවන්ට නීතියෙන් දියහැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බවය. විත්තිකරු අපරාධ රැල්ලකට සම්බන්‍ධවී සිටින පුද්ගලයෙක් බැව් පොලිස් වාර්තාවලින් පැහැදිලි වන නිසා විත්තියේ නීතිඥ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා විත්තිකරු වසර 18ක් බරපතළ වැඩ ඇතිව බන්‍ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය. රජයේ නීතිඥ ඉඳුනිල් පුංචිහේවා මෙනවිය පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ පි‍්‍රයංකර ඩයස් මහතා පෙනී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා