කුඹුරට ගෙනා කයි බතේ අත්තන කොළ මැල්ලුමක්

කුඹුරට ගෙනා කයි බතේ අත්තන කොළ මැල්ලුමක්

කුඹුරේ සිටි උදවියගේ සිහිය විකල් වෙලා

ගොයම් කැපීමක් සඳහා පිළියෙළ කෙරුණු ‘ කයි බතක් ‘ අනුභව කිරීමෙන් පසුව ගැහැණු පිරිමි නඩයක් පිස්සු නටන්නට වීම නිසා හටගත් අපූරු තත්ත්වයක් පිළිබඳ පුවතකි මේ. ඇහැලියගොඩ නගරයට ඉතා නුදුරු ගමක කලෙකට ඉහතදී සිදුවූ මේ පුවත පිළිබඳව දන්නා උදවිය අද ද මෙය සිහිකර සතුටු වෙති. මේ ගොයම් කයිය සඳහා ගැහැණු - පිරිමි දස දෙනකු පමණ සහභාගිවී ඇති අතර ‘කයිබත’ උයා ඇත්තේ කුඹුරු හිමියාගේ නිවෙසේදීය.

දහවල් දොළහට පමණ කුඹුරේ කමතටම ගෙන යන ලද ‘ කයිබත’ පිරිස කමතේදී අනුභව කැර ඇත්තේ කෙසෙල් පත්වලය. කයිබත පිසූ කුඹුරු හිමියාගේ බිරිය රසට කෑම ඉවීම පිළිබඳව ගමේ නම් දැරූ අයෙකි. කවුරුත් “ කෑම රසයි... මැල්ලුම නම් පංකාදුයි’ කියමින් යහමින් කොටා බෑවෝය. කිසියම් හේතුවක් නිසා “ පස්සේ කන්නම්” යයි කියමින් කෑම නොකා සිට ඇත්තේ කුඹුරු හිමියා පමණි.

බත් කා විනාඩි කිහිපයක් තුළදී සමහරු සිනා සෙන්නටත්, සමහරු හඬන්නටත් තවත් කෙනෙක් සිවුරුවම් බාන්නටත් පටන් ගත්හ. කවි සිංදු ද ඇසිණි. කිසියම් සැකයක් පහළවූ නිසා කුඹුරු හිමියා වහ වහා වෙළෙන් ගොඩට විත් ගෙදර ගියේය. එතැන පිස්සු වාට්ටුවකට දෙවැනි නොවන බවක් ඔහුට පෙනිණි.  ගෙහිමි කත නාන්නට මෙන් චීත්තයෙන් තනපට බැඳ ගෙන තමන් රත්තරං ළිඳෙන් වතුර නාන්නට” යන බවක් කියා සිටියාය. ඇය කොක් හඬලා කැතට සිනාසුනාය.

එතැන සිටි තව කාන්තාවක් මිදුලේ ගල් කැට අවුල අවුලා , පොල් කටුවකට දමමින් තමන් මැණික් ඇහිඳින බැව් කීවාය. තව ගැහැණියක කෙස්ස කඩාගෙන වැදි රංගනයක යෙදී සිටියාය. විපරම් කිරීමේදී ගෙහිමියාට මෙම විපිරියාසයේ සුල මුල සොයාගත හැකි විණි. කයිබත පිළියෙළ කිරීමේදී ගෙහිමි කාන්තාව මැල්ලුමට කඩාගෙන ඇත්තේ වත්ත පහළ ගසක කොළ වගයකි. ඒ ගෙහිමියා කලෙකට පෙර සිටුවන ලද ‘ අත්තන’ පැළයක කොළය පසුව අත්තන කොළ විස බැස්සීමට වෙනත් ප්‍රතිකාර සෙවීමට ගෙහිමියාට සිදුවිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා