තෙල්දෙණිය වලවත්තේ නිවෙසකට ගිනි තබා තරුණියකට අතවර කළ සැකකරුවන් රක්‍ෂිතයට

තෙල්දෙණිය වලවත්තේ නිවෙසකට ගිනි තබා
තරුණියකට අතවර කළ සැකකරුවන් රක්‍ෂිතයට

* පවුලේ අයට ද පහරදී බරපතළ තුවාල සිදු කරලා

* අපරාධය සිදු කිරීමට යොදාගත් උපකරණ සොයා ගනී

නිවෙසකට ගිනිතබා විනාශ කිරීම හා වයස අවුරුදු 18ක තරුණියකට අතවර කිරීම ඇගේ මවට හා සහෝදරියකට සහෝදරයකුට පහර දී බරපතළ ලෙස තුවාල සිදු කළ සැකකරුවන් පස්දෙනකු මේ මස 29 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස තෙල්දෙනිය දිසා විනිසුරු රෝහාන් ජයවර්ධන මහතා නියෝග කළේය.

තෙල්දෙණිය පොලිස් වසමේ රන්දෙණිය වලවත්ත ප්‍රදේශයේ නිවසකට පසුගිය 14 වැනි දින රාත්‍රි කාලයේදී ඇතුළු වී බිත්තිවලට පොරෝවලින් කොටා පැට්රල් වත්කර ගිනිතැබීම හා වයස අවුරුදු 18ක තරුණියකට අතවර කිරීම හා තවත් තිදෙනෙකුට බරපතළ ලෙස තුවාල සිදු කිරීම පිළිබඳ හාරගම ගුරුදෙනිය පදිංචි මෙම සැකකරුවන් පස්දෙනා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුව ගන්නා ලද්දේ හාරගම ගුරු දෙණිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් (17) රවීන්දන් දර්ශාන් (26) , සුප්පයියා සිවකුමාර් (38), ඒ පාලනිසාමි (48) , හා ඉළුක්කුඹුරේ , ගදරසූරිය බණ්ඩා දිසානායක (18) සැකකරුවන් මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටිති. මේ නිවෙසට ගිනි තැබීමට උපයෝගිකර ගන්නා ලද පැට්රල් කෑන්, බිත්තිවලට කොටන ලද පොරෝ, එම අපරාධය සිදු කළ අවස්ථාවේදී සැකකරුවන් පළඳනා ලද පාවහන් ඇතුළු උපකරණ රැසක් තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියයි. තුවාලකරුවන් දෙදෙනෙක් තවමත් රෝහල් ගතව සිටිති. තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සී. ඩබ්ලිව්. සී. ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් තමරසේන බණ්ඩා කරුණාරත්න ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා