පාසල් ක්‍රීඩකයන් 20කට මිලියන 20ක ක්‍රීඩා ශිෂ්‍යත්ව

පාසල් ක්‍රීඩකයන් 20කට මිලියන 20ක ක්‍රීඩා ශිෂ්‍යත්ව

මෙරට පාසල් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් යුතුව ආරම්භ කෙරෙන ක්‍රීඩාව පිළිබඳව වන න්‍යායාත්මික අධ්‍යාපනික උපාධි ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ මගින් වසරකට පාසල් ක්‍රීඩකයන් 20 දෙනකුට රුපියල් මිලියන 20 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 20 ක් පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් විශ්වය ජය ගත හැකි දරුවන් බිහි කිරීමේ දැනුම් කේන්ද්‍රිය වැඩසටහනේ සිවු වැන්න ක්‍රීඩා දැනුම ලබා දීම බවත්, එමගින් ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයකින් නොමිලේ උපාධියක් පිරිනැමෙන මේ ශිෂ්‍යත්ව වැඩසටහන මෙරට පාසල් ක්‍රීඩකයන් ලැබූ ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයට අනුබද්්ධිත සිංගප්පූරුවට සම්බන්ධ ඔස්ටන් ඉන්ස්ටිටියුට් ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මෙරට පාසල් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළමනාකරණය පිළිබඳ නොමිලේ උපාධි ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩපිළිවෙළේ නිල අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවැසී ය.

එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයට සම්බන්ධ මේ ක්‍රීඩා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා මෙරට ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් දක්වන ප්‍රමුඛතම විදුහල් 20 කින් ක්‍රීඩකයන් 3 දෙනා බැගින් තෝරා ගැනේ. මෙසේ තෝරා ගන්නා ලබන ක්‍රීඩකයන් සඳහා විශේෂ සම්මුඛ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිත අතර උපාධිය හැදෑරීම සඳහා අවසන් ක්‍රීඩකයන් 20 දෙනා ඉන් තෝරා ගැනේ.

2013 වසරේ සිට ඇරැඹීමට නියමිත මේ ක්‍රීඩා කළමනාකරණ උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන මුලින්ම වසර 10 ක කාලයක් පුරා කි‍්‍රයාත්මක කිරීමට අදහස් කරන බව ද අමාත්‍යවරයා පැවැසීය. “එක් වර්ෂයකට මිලියන 20 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව මෙමගින් ප්‍රදානය කෙරෙනවා. වසර 10 ක් අවසන් වන විට මිලියන 200 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනකටයි අපි අස්සන් කළේ” අමාත්‍යවරයා අනාවරණය කළේ ය.

ලබන වසරේ ඇරැඹෙන මේ උපාධි ශිෂ්‍යත්ව වැඩසටහනේදී පළමුවෙන් රගර් සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන විදුහල්වල ක්‍රීඩකයන්ට අවස්්ථාව හිමිවන බවත්, ඉන් අනතුරුව සෙසු පාසල්වලටත් සෙසු ක්‍රීඩා වලටත් මේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

පාසල් ක්‍රීඩකයන් සඳහා ඇරැඹෙන මේ වැඩසටහනෙ හි සාර්ථකත්වය සළකා බැලීමෙන් අනතුරුව පාසල් ක්‍රීඩිකාවන් ද මේ වැඩසටහනට එක්කර ගැනීමට නියමිතය.

මේ වැඩ සටහනේ පළමු අදියර සඳහා තෝරා ගත් පාසල් 20 මෙසේ ය.

ආනන්ද, ඩී. එස්. සේනානායක, ධර්මරාජ, කිංග්ස්වුඩ්, මහානාම, මහින්ද, නාලන්ද, වේල්ස් කුමාර, මාතර රාහුල, රිච්මන්ඩ්, රාජකීය, සාන්ත සෙබස්තියන්, සාන්ත අන්තෝනි, සාන්ත ජෝශප්, සාන්ත පීතර, සාන්ත තෝමස්, සාන්ත තෝමස් - මාතර, ත්‍රිත්ව, ඉසිපතන සහ තර්ස්ටන්.

ඔස්ටන් ඉන්ස්ටිටියුට් ආයතනයේ සභාපතිවරයා වන ශ්‍රී ලංකාවේ හිටපු සිංගප්පූරු මහ කොමසාරිස් තාන් කා හෝ, එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මයිකල් ලිම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. ගුණසේකර සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් අතර මේ නිල අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි. මේ අවස්ථාවට ඔස්ටන් ඉන්ස්ටිටියුට් ආයතනයේ සාමාන්‍යාධිකාරී ගාමිණී ජයසූරිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරී මිල්රෝයි ජයමාන්න, ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරිනී ශි‍්‍රයානි කුලවංශ යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා