සැකකරුවෝ පස්දෙනා 27 දා තෙක් රිමාන්ඩ්

කරන්දෙණිය දොස්තර ඝාතනය

සැකකරුවෝ පස්දෙනා 27 දා තෙක් රිමාන්ඩ්

කරන්දෙණිය දිගාසි බෙහෙත් ශාලාව අසලදී පසුගිය සැප්තැම්බර් 29 වැනි දින රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ වෛද්‍ය පි‍්‍රයංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් පස්දෙනා මාර්තු 27 වැනි දින දක්වා වැඩිදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා නියෝග කළේය.

වැඩිදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේ කරන්දෙණිය රසායනාගාර හිමිකරු චින්තක රුවන් ජයසේන ඇල්පිටිය කුරුඳුගහ හැතැක්ම පදිංචි යුද හමුදා කපිතාන් චන්දන වික්‍රමසිංහ, මීටියාගොඩ පදිංචිකරුවන් වන යුද හමුදා කෝප්‍රල්වරුන් වන එස්. ශාන්ත ද සිල්වා සහ එන්. ජයලත් ද සිල්වා හා මිටියාගොඩ මහවෙල පදිංචි සී. විජිත් ආනන්ද සොයිසා යන සැකකරුවන් පස් දෙනාය.

සැකකරුවන් බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි රැකවල් මැද බලපිටිය බන්ධනාගාර සිර මැදිරියට ගෙන එනු ලැබීය. බලපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පස්දෙනා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු යළි බන්ධනාගාර සිරමැදිරිය වෙත රැගෙන යනු ලැබීය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලෙස්ලි ජයසිංහ මහතා මෙම නඩුව අදාළ රස පරීක්‍ෂක වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා ලබන නඩු දිනයේ රස පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත් කරන බව කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා