මාලි කැරැලිකරුවෝ දේශ සීමා වසා දැමීමට අණ කරති

මාලි කැරැලිකරුවෝ දේශ සීමා වසා දැමීමට අණ කරති

මාලි රාජ්‍යයේ හමුදා කණ්ඩායමක් පෙරේදා එරට ජනාධිපති මන්දිරය වටලා රාජ්‍ය විද්යුත් මාධ්‍ය ආයතනය ද අල්ලා ගනු ලැබුණු අතර ජනාධිපති අමදෝ ටෝමානි ටෝරේ බලයෙන් පහකර තිබේ. මේ අනුව ජනාධිපති නෙරැපීමේ හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇත. අග නගරයේ මර්මස්තානයන් අල්ලාගත් ඔවුන් දේශසීමා සියල්ල වසා දමන ලෙස ‍නියෝග කර ඇත.

මේ කුමන්ත්‍රණය මෙහෙයවූ කැරලිකාර හමුදා කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමේ ජාතික කමිටුව ලෙස ඔවුන් හඳුන්වාගෙන ඇති අතර ඔවුන් මේ ක්‍රියාවට පෙළඹුණේ රටේ උතුරු කොටසේ පවත්නා ටෝරෙග් කැරලිකාරිත්වය මැඬලීමට රජය අපොහසත්ව ඇති නිසා බව කියා තිබේ.

වසර 21 කින් පසු පළමුවරට එරට ඇතිවූ මේ කැරැල්ල හේතු කොට ගෙන අගනගරයේ තැනින් තැන වෙඩි හඬ නැගී ඇති අතර මේ තත්ත්වය හෙළාදකින බටහිර රටවල් හා අප්‍රිකානු සංගමය වහා මේ තත්ත්වය සමනය කළ යුතු බව කියා තිබේ.මේඅතර සිය ප්‍රභූ ආරක්ෂකයන්ගේ රැකවල මැද හමුදා කඳවුරක රැඳී සිටින ජනාධිපතිවරයාට හානියක් නොකරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

මේ කුමන්ත්‍රණ කාරීන් බලය රැකගැන්මට කෙතරම් ශක්තිමත්ද යන්න පැහැදිලි වී නැත. මාලි රාජ්‍ය දේශපාලන වශයෙන් ස්ථාවර බවක් පල කළද ‍උතුරේ ටෝ‍රෙග් ගෝත්‍රික කැරලිකරුවන් නිසා තැනින් තැන ආරවුල් පැනනැගී තිබුණි මේ ටෝරෙග් කැරලි කාරිත්වය දකුණේ රජයෙන් ගණන් නොගැනී ම හා එය මැඬලීමට නිශ්චිත පියවර නොගැන්මෙන් අවට රාජ්‍යයන් අරක්ගත් අල්කයිඩා සංවිධානය ට එය තෝතැන්නක්ව තිබිණ.

කෙසේවෙතත් ලිබියානු සටනේදී ගඩාෆිගේ සහාය ට ලිබියාවට ගොස් සිටි ටෝරෙග් කැරලිකරුවන් ගඩා‍ෆි ඝාතනයෙන් පසු යලි මාලි දේශයට පැමිණ ඔවුන්ගේ සටන උත්සන්න කර තිබිණ. එහෙත් මේ කැරලිකාරීත්වය මැඩලීමට රජය අපොහසත්ව තිබීම හමුදා කුමන්ත්‍රණයට හේතු වී ඇතැයි පැවසේ.කුමන්ත්‍රණයට මුල්වූ හමුදා කැරලිකරුවන් ජනාධිපති මන්දිරය හා විද්්‍යුත් මාධ්‍ය ආයතනය අල්ලා ගෙන ඇත.

එහෙත් ඔවුන්අතර උසස් හමුදා නිලධාරීන් දක්නට නැති බවද ප්‍රකාශ වී තිබේ.තවද මේ කුමන්ත්‍රණය නිසා රටේ තත්ත්වය අවුල්වී ටෝරෙග් කැරලිකරුවන් සමග සටන් විරාමයක් ඇතිකරගැන්මට තිබුණු ඉඩකඩ ඇහිරී ඇතැයි විමර්ශකයන් පෙන්වාදී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා