බංග්ලාදේශ පිලේ පාකිස්තාන සංචාරයට අධිකරණයෙන් තහංචි

බංග්ලාදේශ පිලේ පාකිස්තාන සංචාරයට අධිකරණයෙන් තහංචි

ත්‍රස්තවාදීන් විසින් විදෙස් ක්‍රිකට් කණ්ඩායම් ඉලක්ක කර ගනු ඇතැයි යන බියෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අවම වශයෙන් සති හතරකට කල් දමන ලෙස බංග්ලාදේශ අධිකරණය නියෝග කර තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ මස 29 හා 30 යන දිනවල ලාහෝරයේදී සීමිත ඕවර 50 තරගයකටත් විස්සයි 20 තරගයකටත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි. එය, මීට තෙවසරකට පෙර සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ පැවැත්වීමට තිබූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය විය.කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳව අවදානමක් තිබියදී මේ සංචාරය සැලසුම් කළේ මන්ද කියා පැහැදිලි කරන ලෙසට ඩකාහි ඉහළ උසාවිය විසින් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට නියෝග කර තිබේ.

“මීළඟ සති හතර ඇතුළත එම පැහැදිලි කිරීම කරන ලෙසට උසාවිය ක්‍රිකට් මණ්ඩලයට කීවා.

එම කාලයට බලපාන පරිදි කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට අතුරු තහනම් නියෝගයක් උසාවිය විසින් පනවා තියෙනවා” යැයි අතිරේක නීතිපති ජනරාල් එම්.කේ. රහමාන් පැවසීය.

ඉහළ උසාවිය විසින් මේ නියෝගය පනවා ඇත්තේ නීතිඥවරයකු හා සරසවි ගුරුවරයකු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය“පාකිස්තාන සංචාරයෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරට ලක්වීමට ඉඩ තියෙනවා කියා අපි උසාවියට කීවා” යැයි පෙත්සම්කරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හසන් අසිම් ප්‍රකාශ කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා