තරග පාවා දුන්නොත් කිසිවකුට සමාවක් නෑ

තරග පාවා දුන්නොත් කිසිවකුට සමාවක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් කියයි

ක්‍රිකට් තරග පාවාදීමකට ශ්‍රී ලංකාවේ කුමන හෝ තරාතිරමක ක්‍රීඩකයකු සම්බන්ධ වූ බවට කරුණු තහවුරු වුවහොත් කිසිදු සමාවක් නොදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම උදෙසා කෝටි ගණන් මුදල් ගෙවූ බව ඉන්දීය බුකි කරුවෙකු පවසා ඇත. එම ප්‍රකාශයට ඉන්දීය මාධ්‍ය වල පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබූ අතර එහි සත්‍යතාව පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කරුණු විමසූ බව ශශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පැවැසීය.

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව මේ පිළිබඳ තොරතුරු නෑ. ඔවුන් පවසන්නේ කිසිවක් නොදන්නා බවයි. ඉන්දීය පාලක මණ්ඩලය අපට තොරතුරක් දුන්නොත් එවලේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වෙනවා” නිශාන්ත රණතුංග මහතා පැවැසී ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති රීති අනුව ක්‍රිකට් තරග මුදලට පාවා දෙන්නෙකුට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවිය හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේ ය. “කිසිම සමාවක් දෙන්නේ නෑ. දූෂිතයන් ආරක්‍ෂා කිරීම අපේ ප්‍රතිපත්තිය නොවෙයි. ඔප්පු වුණොත් උපරිම දඬුවම දෙනවා” ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා අවධාරණය කළේ ය.ඉන්දියාවේ දැන් ක්‍රියාත්මක අයි.පී.එල් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තරග පාවා දීමට මුදල් ලබා ගත්තේ යැයි ඉන්දීය බුකිකරුවා මාධ්‍යයට තොරතුරු හෙළි කළ ද ක්‍රීඩකයා කවුරුන් ද යන්න ඉඟි කර නොමැත.

එහෙත් මෙයට දින කිහිපයකට පෙර ඉන්දීය රූපවාහිනී චැනලයකින් හෙළි වූ තොරතුරු මත තරග පාවා දුන් ඉන්දියා ක්‍රීඩකයන් 5ක් ක්‍රීඩාවෙන් නෙරපා දැමීමට ඉන්දීය පාලක මණ්ඩලය පියවර ගත්තේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා