ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට තරග පාවාදීමේ චෝදනාවක්

ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට තරග පාවාදීමේ චෝදනාවක්

ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එක් තරගයක් පාවාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ඉන්දියා රුපියල් කෝටි 10ක මුදලක් ගෙවූ බව මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන ඉන්දියාවේ ප්‍රබල බුකී කරුවෙකු වන සෝනු යෝගේන්ද්‍ර ජලාන් විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ‍. එමෙන්ම ඉන්දියා ක්‍රීඩකයන් කීපදෙනෙකු‍ට ද තරග පාවාදීම සඳහා මුදල් ලබාදුන් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

දේවේන්ද්‍ර කොතාරී නොහොත් බයියාජී නමැති තවත් බුකී කරුවෙකු සමග සෝනු යෝගේන්ද්‍ර පසුගිය දා මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කන්ඩිව්ලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදීය. එහි දී පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට පත්විය. ලැප්ටොප් පරිඝනක 2ක්, පටිගත කිරීමේ යන්ත්‍ර, තවත් පරිඝනක යන්ත්‍ර ගණනාවක් සමග මුදලින් ඉන්දීය රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් ද මොවුන් ළඟ තිබී පොලිසිය භාරයට ගත්තේය.

මේ බුකී කරුවන් ජාත්‍යන්තර වශයෙන් මුදලට තරගපාවා දිමේ ව්‍යාපාරවලට සම්බන්ධ බවට පොලීසිය සැක කරයි. අයි.පී.එල්. තරගමාලාවට ඔට්ටු තබන බවට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම සිදුකළ බවත්, මනාව සැළසුම් සහගත ලෙස කටයුතු කරමින් සංවිධානාත්මක ඔට්ටු තැබීමේ ක්‍රියාවලියක මොවුන් නිරතව සිටි බවත් ඉන්දියා මධ්‍යම පොලීසියේ අතිරේක කොමසාරිස් දේවන් භාර්ති මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා