මයිලෝ නෙට්බෝල් තරගාවලියෙන් පාසල් සංගමයට නව මුහුණුවරක්

මයිලෝ නෙට්බෝල් තරගාවලියෙන් පාසල් සංගමයට නව මුහුණුවරක්

මේ වසරේ පැවැත්වෙන මයිලෝ කුසලාන පාසැල් නෙට්බෝල් තරගාවලියට සමගාමීව පාසැල් නෙට්බෝල් සංගමය නව මුහුණුවරකින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරවීමට සැලැසුම් සකස්කර ඇත.මේ පාසැල් නෙට්බෝල් තරගාවලියට අමතරව යොවුන් නෙට්බෝල් ක්‍රීඩිකාවන් උදෙසා වෙනම තරගාවලියක්ද,පුහුණු වැඩසටහන් කිහිපයක්ද මේ වසරේ පැවැත්වීමට ශ්‍රී ලංකා පාසැල් නෙට්බෝල් සංගමය බලාපොරොත්තු වේ.පාසැල් නෙට්බෝල් සංගමයට නව නිළධාරිනියන් පිරිසක් පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වේ.

 තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති නොමන් කන්නන්ගර මහතා බව පාසැල් නෙට්බෝල් සංගමයේ සභාපති ගෝතමී බාලිකා විදුහල්පතිනී එස්.මුණසිංහ මහත්මිය වෙත භාරදෙයි. නෙස්ලේ උප සභාපති බන්ධුල එගොඩගේ,ලාංඡන කළමනාකරු සංජීව වික්‍රමසිංහ, පාසල් නෙට්බෝල් සංගමයේ ලේකම් අනුරුද්ධ බාලිකාවේ සුධර්මා ජයවර්ධන, භාන්ඩාගාරික ධර්මපාල විදුහලේ ශානිකා විජේසිංහ,තරග ලේකම් කොළඹ විශාඛා විදුහලේ චම්පා රංජනී මහත්ම මහත්මීහුද මෙහි වෙති. ජයාරූපය:චමින්ද නිරෝෂන

මෙවර පැවැත්වෙන මයිලෝකුසලාන පාසැල් නෙට්බෝල් තරගාවලියේ තරග රටාවේද වෙනස්කම් ඇතිකිරීමට පාසැල් නෙට්බෝල් සංගමය කටයුතු යොදා ඇත.වසර 20ක් මයිලෝ නෙට්බෝල් තරගාවලිය පැවැත්වූ ආකාරයෙන් බැහැරව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000කට වඩා වැඩි පාසැල් “ඒ“ කාණ්ඩයෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000කට අඩු පාසැල් ‘බී‘ කාණ්ඩයෙන් තරග කිරීමේ නව ක්‍රමයක් හදුන්වා දී තිබේ.

මෙමගින් වැඩි ශිෂ්‍යාවන් පිරිසකට නෙට්බෝල් තරගාවලියට එක්වීමේ අවස්ථාව උදාවන බව පාසැල් නෙට්බෝල් සංගමයේ සභාපති ගෝතමී බාලිකා විදුහලේ විදුහල්පතිනී එස්.මුණසිංහ මහත්මිය පැවැසුවාය.මේ නව තරග රටාවට අධ්‍යාපන අමාත්‍යංශයේද අනුමැතිය හිමිවූ බව ඇය සදහන් කළාය.

නෙට්බෝල් ක්‍රීඩාවේ ආධිපත්‍ය පතුරුවමින් ජයග්‍රාහී මාවතේ සිටින පාසැල් සමග පිටපළාත් පාසැල් ක්‍රීඩිකාවන් තරග වැදීමේදී මූලික වටයෙන්ම ඉවතට විසිවීමේ තත්ත්වය නව ක්‍රමයෙන් මගහැරීම පාසැල් නෙට්බෝල් සංගමයේ අපේක්ෂාවවී ඇත.‘ඒ‘ හා ‘බී‘ අංශ දෙකෙන්ම 12න්,14න්,16න් හා 18න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. මේ තරග අංශ දෙකෙන්ම පාසැල් නෙට්බෝල් කණ්ඩායම් 896ක් සහභාගීවන බව දැනටමත් ස්ථීර කොට ඇත.

උතුරැ නැගෙනහිර පළාත් දෙකෙන් මෙවර තරගාවලියට කණ්ඩායම් එක්වීම මෙවර විශේෂත්වයකි.

පාසැල් 350ක් සහභාගීවන තරගාවලිය මේ මස 26වැනිදා සිට රටපුරා මධ්‍යස්ථාන 16කදී පැවැත්වේ.මධ්‍යස්ථාන තරග ජූනි මාසයේදී නිමා කරන අතර අවසන් තරග ජූලි 28 සිට 30 දක්වා පොළොන්නරුවේදී පැවැත් වේ.

පසුගිය වසරේ මාතරදී පැවැති අවසන් තරගවලදී ‘ඒ‘ කාණ්ඩයේ 12න්, 14න්,16න් හා 18න් පහළ ශූරතා හතරම කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකාව හිමිකරගෙන සමස්ථ පාසැල් නෙට්බෝල් ශූරතාවද සතු කර ගැනීම විශේෂත්වයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා