අද පොල් සම්බෝලය හදන හැටි උගන්වන්නෙත් රූපවාහිනියෙන්

අද පොල් සම්බෝලය හදන හැටි උගන්වන්නෙත් රූපවාහිනියෙන්

කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති

බොරැල්ලේ කෝවිද හිමි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල අලුත් අවුරුද්දේ අසිරිය තවමත් පරිසරයේ රැඳී පවතී.සිංහල අලුත් අවුරුද්දේ වැදගත්කම සහ නව වසරකට පිවිසෙද්දී ආකල්ප සංවර්ධනය ඇතිකර ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

වසරක් ගෙවී නව වසරක් උදා වූ මේ අවස්ථාවේ දී පුද්ගලයා නව වසරට පියනැඟිය යුත්තේ කුමන ආකාරයට ද?

වසරක් ගෙවී නව වසරක් උදා වෙද්දී අපේ සිතිවිලි අලුත් වෙන්න ඕනා . නව වසර උදාවෙද්දී ගෙදරදොර පිරිසුදු කර අලුත් කරනවා වගේ අපේ චෛතසික සිතිවිලි අලුත් කර ගැනීමත් වැදගත් . මෙතෙක් කල් සිතේ තිබූ තරහා , ඊර්ශ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි නරක සිතිවිලි බැහැර කර යහපත් සිතිවිලි ඇතිකරගෙන නව වසරට ගමන් කරනවානම් ඒක තමයි සැබෑ අලුත් අවුරුද්ද . කුහකකම්, ඉරිසියාකම් වලින් සිත පිරිිලා නම් ගෙවල් දොරවල් කොතරම් පිරිසිදු කරත් ඒවායෙන් ඵලක් නැත.

ඒ වගේම අලුත් අවුරුද්ද උදා වුණා කියන්නේ අපි අවුරුද්දකින් වයසට යනවා.වසරකිින් මරණයට කිට්ටු වුණා. ඒ නිසා මනුෂ්‍යයන් ලෙස අපි අතින් සිදුවුණු වැරැදි නිවැරැදි කර ගන්නත් මෙය ඉතාමත් වැදගත් අවස්ථාවක්. කොයිතරම් තරහා මරහා තිබුණත් අලුත් අවුරුද්දේ බුලත් දීලා වැන්දහම ඒ තරහා නැතිවෙලා යනවා.

මෙවැනි දේවල් වෙනත් ආගම්වල නැහැ. පසුගිය වසරේ තමන් අතින් යම් වරදක් සිදු වුණා නම් එයට සමා වෙන්න කියලා නැවතත් හිතවත්කම් ඇති කරගෙන කටයුතු කරන්න අපිට අලුත් අවුරුද්ද හොඳ අවස්ථාවක්. ඒ වගේම වෛරය, ක්‍රෝධය සිතේ තියාගෙන අලුත් අවුරුද්දට මොන තරම් වියදම් කළත් එබඳු අයට සැබෑ අලුත් අවුරුද්දක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම දෙනාම මේ නව වසරේ තමන්ගේ් සිත් තුළ යහපත් සිතිවිලි, ගුණධර්ම වර්ධනය කරගැනීමට කටයුතු කළ යුතුයි.

අලුත් අවුරුද්ද හා බැඳුණු අපටම ආවේනික චාරිත්‍ර වාරිත්‍ර රාශියක් තිබෙනවා.ඒවායෙහි වැදගත්කම් පිළිබඳ පැහැදිළි කළොත් ?

සිංහල අලුත් අවුරුද්ද සමඟ අපිට අනන්‍ය වූ සිරිත් විරිත් පද්ධතියක් තිබෙනවා. පුණ්‍ය කාලය, වැඩ ඇල්ලීම, බුලත් දීම, හිසතෙල් ගෑම, මේ වගේ චාරිත්‍ර ලෝකයේ වෙනත් රටවල නැහැ. ඒ වගේම සෑම චාරිත්‍රයකම ගැඹුරු අර්ථයක් තිබෙනවා.අලුත් අවුරුද්ද උදාවෙන්න පෙර සියලු දෙනාම තම තමන්ගේ ගෙවල් දොරවල් පිරිසිදු කර ගන්නවා.

තෙල් තාච්චිය ලිප තැබීමේ සිට කැවිලි සකස් කර ගැනීම , වැඩ අත්හැරීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම ආදී, මේ සියල්ලටම නැකැත් චාරිත්‍රයන් තිබෙනවා. අලුත් අවුරුද්ද කියන්නේ සාමූහිකත්වයේ සංකේතයකි. ගෙදරක අම්මා, තාත්තා දුවා දරුවන් සියලු දෙනාම එකට එකතු වෙලා සාමූහිකත්වයෙන් තමයි මේ සියලු කටයුතු කරන්නේ .

පුණ්‍ය කාලය කියන්නේත් අලුත් අවුරුද්දක් උදාවෙද්දී එළඹෙන තවත් සුවිශේෂී කාලපරිච්ඡේදයක්. මේ කාලය තුළ සියලු දෙනාම ආගමික ස්ථානවලට ගොස් ආගමික වතාවත්වල නිරතවෙමින් එළඹෙන නව වසර සඳහා ආගමික ආශිර්වාදය ලබා ගන්නවා. ඒ වගේම වැඩ අල්ලන මොහොතේ දී ඉගෙනගන්න අපේ දුවා දරුවන් පොත් පත් කියවීම් ආදියට යොමුවෙනවා.

වැඩිහිටියන්ට බුලත් අතක් දී වැදීමත් හෙළ සිංහළ චාරිත්‍රයක්.වැඩිහිටියෙකුට වැඳීමෙන් , නමස්කාර කිරීමෙන් ආයු, වර්ණ, සැප, ශාන්තිය යන ආනිසංස 4 ලැබෙනවා. ඒ වගේම යමෙකුට වැඳීමෙන් මාන්‍යය, උඩගුකම, නැතිවෙනවා.මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සියල්ලෙහිම ගැඹුරු අර්ථයක් තිබෙනවා. අපි අවුරුදු සිරිත් විරිත් , චාරිත්‍ර ඉදිරියටත් රැකගන්න ඕනා.මේ දේවල් අපි ඉගෙන ගත්තේ පාසල් වලින් නොවෙයි.අපේ ,අම්මා, තාත්තා වැඩිහිටියෝ මේ චාරිත්‍ර අනුගමනය කරද්දී අපිත් ඒවාට ඉබේම පුරුදු වුණා. ඒ නිසාම අනාගත පරපුරටත් මේ චාරිත්‍ර වාරිත්‍ර පුරුදු පුහුණු කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි.

වත්මන් තරඟකාරී ලෝකය තුළ පුද්ගලයා අලුත් අවුරුද්දේ සැබෑ අරුත වටහාගෙන කටයුතු කරනවා කියලා ඔබ වහන්සේ හිතනවාද?

අද ඇතැම් අය අලුත් අවුරුද්ද සමරන්නේ රටටම ණය වෙලා. ලෝකයාට ණය වෙලා අවුරුදු සමරලා ඵලක් නැහැ.බුදුරජාණන් වහන්සේ සැපය පිළිබඳ කළ දේශනාවේ අත්ථි සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ යනුවෙන් සඳහන් කර තිබෙනවා. අනන සුඛ කියන්නේ යමෙකුට ණය නැහැ කියලා ලබන්න පුළුවන් සතුටයි.ඒ නිසා මේ අවුරුදු සමයේ අනන සුඛය ඉතා වැදගත්.

අලුත් අවුරුද්දක් ලබනවා කියලා අවුරුද්ද පුරාම උපයාගත් දේ වියදම් කළොත් හෝ අවුරුදු සමරන්න ණය වුනොත් අවුරුද්ද පුරාම ණය කාරයෙක් වෙලා තැවෙන්න සිදු වෙනවා. ඒ නිසා අවුරුදු සමරන්න ණය විය යුතු නැහැ. තමන්ට තිබෙන පරිදි අවුරුදු සමරන්න තමන් කළ යුත්තේ් තමන්ගේ අඩු පාඩු සකස් කරගෙන සිත පිරිසිදු කර ගැනීමයි.

වර්තමානයේ පවතින තරඟකාරී සමාජ රටාව තුළ නිවසක සියලු දෙනාම එකට එකතු වෙන අවස්ථාවන් හරිම අඩුයි. අලුත් අවුරුද්ද ඒ සඳහා හොඳ අවස්ථාවක්. සියලු දෙනාම සමඟියෙන් සාමදානයෙන් ගෙදරට එකතු වෙලා බත් කටක් කන්න පුළුවන්නම්, කිරි උතුරවන්න පුළුවන්නම් ඒක තමයි අලුත් අවුරුද්දේ සැබෑ අරුත.

මවුපියන්, දූදරුවන් අතර අලුත් අවුරුදු දිනවල උදාවෙන මේ බැඳීම පවුලකට හරි ලස්සනයි. මේ චාරිත්‍ර හැමදාම කරන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන් නමුත් අලුත් අවුරුදු දිනයේදීවත් අපි ඒ චාරිත්‍ර හරියට ඉටුකරන්න හිතට ගන්න ඕනා.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉදිරි පම්පරාවටත් රැකගැනීම උදෙසා ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?

අලුත් අවුරුද්ද හා බැඳුණු, සිංහල සිරිත් විරිත්, චාරිත්‍ර ලෝකයේ වෙන කොතැනකවත් නැහැ. සාමූහිකත්වය, සුහදශීලීිත්වය, අපේකම විදහාපාන මේ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියටත් රැකගැනීම සියලු දෙනාගේම වගකීමක්. අද බොහෝ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගමට පමණක්් සීමා වෙලා.

කැවුම් කොකිස් හදන විදිහ පවා අද ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මේ කැවිලි හදන ආකාරය පවා අපේ තරුණ දරුවන්ට උගන්වන්න ඕනෑ. දැන් පොල් සම්බෝලේ හදන හැටි උගන්වන්නෙත් රූපවාහිනියෙන්. අපිට ආවේනික සිරිත් විරිත් වගේම අපේ රටටම ආවේනික කැවිලි ආදිය සකස් කරගන්නා ආකාරයත් අපේ දරුවන්ට කියලා දෙන්න ඕනා.

නැතිනම් ඉදිරි පරම්පරාව කැවුම් අච්චුව, කොකිස් අච්චුවත් හඳුනන එකක් නැහැ. ඒ නිසා මේ සිංහල සිරිත් විරිත්, චාරිත්‍ර ගැන ළමා පරපුර දැනුවත් කිරීම වැඩිහිටියන්ගේ පරම යුතුකමක්.

නව වසරේ ආධ්‍යාත්මික වශයෙන් තම ජීවිත සංවර්ධනය කර ගැනීම උදෙසා ජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද?

මේ වසරේ වෙනත් වසරවලට වඩා පුණ්‍ය කාලය තුළදී ජනතාව වැඩි වශයෙන් පන්සල්වලට පැමිණියා. ආගමික වතාවත්වල නිරත වුණා.අවුරුදු උදාවත් සමඟ තුනුරුවන් වැඳලා පරණ සිතිවිලි ඉවත් කරගෙන වැඩකටයුතු ආරම්භ කරන්න බොහෝ දෙනෙක් කටයුතු කළා. ඒ වගේම ඉදිරි පොහොය 12 මත් සිල් සමාදම් වෙනවා.

එසේත් නැතිනම් දවස් 365 පුරා දවසකට එක් වරක් හෝ ඉතිපිසෝ ගාථාව කියවා ආගමික වතාවත් වල නිරතවන බවට අධිෂ්ඨාන කරගන්න යමෙකුට පුළුවන්නම් එය බොහොම වැදගත්. යමෙක් උදා වූ මේ නව වසරේ පන්සිල් සුරකිමින් යහපත් ජීවිතයක් ගත කරන්න අධිෂ්ඨාන කරගන්නවා නම් ඔහුට හෝ ඇයට මේ වසර වඩාත් සුබ වේවි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා