වීඩියෝ දසුනේ දිස් වූ බොස්ටන් ප්‍රහාරකයා සොයා මෙහෙයුම්

වීඩියෝ දසුනේ දිස් වූ බොස්ටන් ප්‍රහාරකයා සොයා මෙහෙයුම්

අමෙරිකාවේ බොස්ටන් මැරතන් තරගයේදී තිදෙනකු මරණයට පත්කරමින් හා තවත් විශාල පිරිසකට තුවාල හා අත පය අහිමි කරමින් පුපුරා ගිය බෝම්බ අටවන ලදැයි සැලකෙන සැකකරුවකු එක්සත් ජනපද පරීක්ෂකයන් වීඩියෝ දසුන්වලින් අනාවරණය කරගෙන ඇතැයි බලධාරිහු පෙරේදා ප්‍රකාශ කළහ.

වීඩියෝ දසුනකට හසුකර ගත් බොස්ටන් ප්‍රහාරකයා යැයි සැලකෙන පුද්ගලයා දිව යමින්.....මෙහි රවුම් කර දක්වා ඇත්තේ ඔහුය.

එහෙත් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. කෙසේවෙතත් විමර්ශන කැමරා හා නිශ්චල ඡායාරූපවලින් දැක්වෙන දසුන් මගින් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ. බෝම්බ ප්‍රහාරයෙන් දෙදිනකට පසු ඊයේ අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හා ඔහුගේ බිරිය බොස්ටන් සංචාරයක නිරත වනු ඇතැයි ද එය වින්දිතයන් අස්වැසීමේ සංචාරයක් ලෙස හැඳින්වෙන්නක් බව ද පැවැසේ.

ප්‍රහාරය සිදු කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවට පරස්පර විරෝධී ආරංචි පැතිර යාමත් සමඟ එෆ්.බී.අයි ආයතනය ඒ සම්බන්ධයෙන් දැඩි සේ මාධ්‍ය ආයතනවලට අවවාද කර තිබේ.

බෝම්බය පුපුරන අවස්ථාවේ අවට සිටියවුන් බිමට පාත්වෙද්දි එතැනින් බැහැරට දුව යන පුද්ගලයකුගේ රුවක් විඩියෝ දසුන්වල සටහන්ව ඇති අතර බෝම්බය අටවන අයුරු දැක්වෙන දසුන් ද තිබිය හැකි බව පරීක්ෂකයින් පවසා ඇත. අදාළ සැකකරු හඳුනා ගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ද ඔවුන් පවසා තිබේ.

මේ දක්වා ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නැති අතර සැකකරුවන් සොයා ලොව පුරා මිනිස් දඩයමක් අරඹා ඇති බව බලධාරින් ප්‍රකාශ කර ඇත.

පරීක්ෂණ කටයුතු සඳහා කාලයක් ගත වන බැවින් ඉවසීමෙන් සිටින ලෙස මැසුචුසෙට්ස් ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත.

මේ අතර තුවාලකරුවන්ගේ සිරුරුවලින් ඉවත් කරන ඇණ හා‍ ලෝහ කැබලි පරික්ෂකයන්ට බාර දීමට නියමිතය.

තුවාල ලත් අයගෙන් 100 දෙනකු පමණ රෝහල්වලින් ඉවත්ව ගොස් ඇති අතර බරපතළ තත්ත්ව‍යේ පසුවන 10 දෙනකු පමණ නව සැත්කම් සඳහා රැඳී සිටින බවත් සඳහන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා