අනුරපුර පෞද්ගලික බස් විරෝධතාව අතරතුර ලංගම බසයකට කළුතෙල් ප්‍රහාරයක්

අනුරපුර පෞද්ගලික බස් විරෝධතාව අතරතුර ලංගම බසයකට කළුතෙල් ප්‍රහාරයක්

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ධාවන කාල සටහන් උල්ලංඝනය කරමින් ධාවනය කිරීමට විරෝධය පළ කරමින් රජරට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ 20 උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර පසුව අනුරාධපුර නගරය ඇතුළු ස්ථාන කිහිපයක දැවැන්ත විරෝධතා ව්‍යාපාරයන් පැවැත්වූහ.

ඊයේ උදෑසන 9.30ට පමණ ආරම්භ කළ විරෝධතාව දහවල් 1.00 දක්වා ක්‍රියාත්මක විය. අනුරාධපුර 57 කුරුණෑගල මාර්ගය, 04 පුත්තලම් මාර්ගය, 15 කොළඹ මාර්ගය, 75 පොළොන්නරුව, 853 හොරොව්පොතාන මාර්ගය ඇතුළු මාර්ග අංක රැසක් ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස්රථ 40ක පමණ සේවක සේවකයන් හා අයිතිකරුවන් සියයකට වැඩි පිරිසක් විරෝධතාවට එක්වූහ.

අනුරාධපුර පැරැණි බස් නැවතුම්පොළෙන් විරෝධතාවය ආරම්භ කර සටන් පාඨ කියමින් ප්‍රධාන මාර්ගය ඔස්සේ අනුරාධපුර නව නගර බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ ප්‍රධාන මාර්ගය අවහිර කර ඔවුන් විරෝධතාවයේ නිරත වූහ. විරෝධතා පෙළපාලියට පෞද්ගලික බස් රථ 30ක් පමණ යොදා ගැනීමෙන් අනුරාධපුර ප්‍රධාන මාර්ග රැසක දැඩි වාහන තද බදයක් ඇති විය.

පෞද්ගලික බස් රථ රැසක් කොළඹ සිට අනුරාධපුර මන්නාරම,වව්නියාව, යාපනය ප්‍රදේශවලට අනුරාධපුර නගරය මග හැර අතුරු මාර්ග ඔස්සේ ධාවනය වන බවට විරෝධතාකරුවන්ට තොරතුරු ලැබීමත් සමඟ ඔවුන් අනුරාධපුර 02 කණුව ආසන්නයට ගොස් මාර්ගය අවහිර කළහ. එම බස් රථ නවතා එම බස් රථ වල පැමිණි මගීන්ට පයින් ගමන් කරන ලෙස විරෝධතාකරුවෝ දැන්වූහ.

මේ අවස්ථාවේ මගීන් රැගෙන කුරුණෑගල දක්වා ධාවනය කළ මහව ඩිපෝවේ බස් රථයකට විරෝධතාකරුවන් අතර සැඟව සිටි පුද්ගලයකු කළුතෙල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එම කලුතෙල් ප්‍රහාරයෙන් බස් රථයේ වීදුරුවලට හානි සිදු වූ අතර විරෝධතාවය මැඩ පැවැත්වීමට පැමිණ සිටි පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ නිල ඇඳුම්වලටද හානි සිදුවිය.

විරෝධතාවට එක්වූ රජරට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ලාල් විජේසිරි මහතා,මේ සිද්ධියට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ පසුගිය ආණ්ඩුවේ සිටි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතායි. ඔහු ගමනාගමන මණ්ඩලයට බස් 3000ක් පමණ අලුතෙන් ගෙනැවිත් අතඇරියා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ අඩුව පිරවූ පෞද්ගලික බස් හිමියන්ට මෙය මරු පහරක් වූවා. සමහර අවස්ථාවලදී පෞද්ගලික බස් හිමියන් දිනකට රුපියල් 6000ක පමණ පාඩුවක් ලබනවා. පාරක යන්න බෑ ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් සී.ටී.බී බස් අපිව වට කරනවා.

ඡායාරූප- @අනුරාධපුර මධ්‍යම විශේෂ සහ අමිල ප්‍රභාත් වනසිංහ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා