රහතන් වහන්සේ ගේ කතා සහ උදාන ගීත

රහතන් වහන්සේ ගේ කතා සහ උදාන ගීත

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමග ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි. ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරැයුම කරයි.

“ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත‍්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස්ය. සමාපත්තිවලට සමවදිති. ප‍්‍රඥාවන්තය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

ඇයි අම්මේ අඬන්නේ ?

මිදුල ඇමදීම අවසන්කළ ඇය ගෙපිලේ හිඳ සිටින සිය සැමියා දෙස බැලුවාය. ඔහු බලා සිටින්නේ ඇගේ සත් මස් දරු ගැබ දෙසය. ඒ ඇස්වල වූයේ බැරෑරුම් පෙනුමකි.

ඇය සිනාසුණාය.

‘බය වෙන්න දෙයක් නැහැ. තාම මාස හතයි නේ. ඔබ පියකුවන්ට තව මාස දෙකකටත් වැඩිය කාලය තියෙනවා’

ඔහු සිනාසුණේ නැත.

‘සිටු තුමාගේ තාප්පය බැඳීමේ වැඩ ඉවරද ?’ ඇය ඇසුවාය.

‘ඔව්, ඒ තාප්පය බැඳීම නිසා පසුගිය මාසයම අපි ජීවත් වුණා. දැන් ඉතින් වෙන තැනක වැඩ හොයා ගන්න ඕනෑ’ ඔහු කීවේය.

සැවැත්නුවරට නුදුරු ගමක දිළිඳු ගොවියකුගේ පුතකු වූ ඔහුට ඔහු දැන් ජීවත්වන මේ නිවස තනා ගැනීමට ඉඩම් කෑල්ලක් ලැබුණේ ද ඒ සිටුතුමාගෙනි. සිටුතුමාගේ කුඹුරුවල ද ගොඩ ඉඩම් වල ද වැඩ ඇති විට ඔහු ඒවාට සම්බන්ධ වී බඩ වියත රැක ගත්තේය. සිය බිරිය ද රැක්කේය.

‘දැන් දරුවකුත් ලැබෙන්න එනවා. මා තවත් වෙහෙසෙන්න ඕනෑ. දරුවෙක් ගැන මා හිතුවේ නැහැ. ඒ වුණාට මේ ගෑනිට දැන් දරුවකු ලැබෙන්න එනවා’ යි සිතමින් ඔහු නැගී සිටියේය.

‘කොහේද යන්නෙ ?’ ඇය ඇසුවාය.

ඔහු පිළිතුරු දුන්නේ නැත. ඇය ඔහු යන දෙස බලා සිටියාය. ඔහු පිළබඳව ඇගේ සිත දුකෙන් පිරිණි. පොළොවේ පය ගැසීමට හැකි වූ දා සිට අනුන්ට බැල මෙහෙවර කිරීමෙන් ම පණ ගැට ගසා ගත් මගේ සැමියා විවාහයෙන් පසු මගේ බරත් කරට ගත්තා. දැන් ඔහුට දාව මගේ කුසේ දරුවෙක්. දැන් ඉතින් දරුවා ගේ බරත් ඔහුගේ කරට. මාස කීපයකට පෙර මා ඔහුට කීවා දැන් ඔබ පියෙක් වෙන්න යනවා කියා. ඔහු තිගැස්සුණා. බියට පත් වුණා. මා හිතුවා ඔහු සතුටු වෙයි කියා. මං එහෙම දෙයක් හිතුවේ නැහැ. ඔහු සුසුමක් හෙළමින් කීවා. මා නිහඬ වුණා. මගේ ඇස් කඳුළෙන් පිරුණා. ඔහු මිදුල කෙළවරට ගොස් පාර දෙස බලා සිටියා. මගේ දරු ගැබ දෙස අදත් ඔහු බලා සිටියේ දුකෙන්. කොතැනක හරි කුලී වැඩක් කොට අද හැන්දෑවට ඔහු හාල් ටිකකුත් අරගෙන ඒවි’.

ඇය ඉදල ගෙය පිටුපසට ගෙන ගොස් බිත්තියට හේත්තු කොට තබා ගෙට ආවාය. ඔහු පානය කොට ඉතිරි කළ කැඳ කෝප්ප භාගය අතට ගත්තාය. එය ට ඇගේ කඳුළක්ද වැටිණ. එදා හැන්දෑවේ ඔහු ආවේ නැත. ඇය පහනක් දල්වා ගෙන පිලට වී බලා සිටියාය. නොනින්ද නිසා රිදුණු ඇසට පසු දා උදෑසන හිරු රැස් වැටිණ.

‘ඔහු පාරේ යන ගැල් කණ්ඩායමකට එකතුව ඈත රටකට ගියා’ පාරට බැස මගියකුගෙන් ඔහු ගැන විමසූ ඇයට අසන්නට ලැබිණ.

එදා ඉර මුදුනට එන තුරු ඇය හැඬුවාය. පසුව ඇය සිත දැඩි කර ගත්තාය.

‘මේ හැඬීම මගේ දරුවාට හොඳ නැහැ. මා කොහොම හරි දරුවා හදා ගෙන ඉන්නවා. ඔහු කවදා හරි ආවොත් පිළි ගන්නවා. නැත්නම් මා දරුවා සමග තනිවම ඉන්නවා’.

ඇය සිටු මැදුරට ගියාය. සිටු දේවිය ඇය දෙස බලා මෙසේ කීවාය.

‘නුඹට වැඩ කරන්නට බැහැ. දරු ගැබකුත් ඔසවාගෙන නුඹ කොහොමද වැඩ කරන්නේ ?’

‘අර අංගනය පිරිසුදු කරන්නම්. කුස්සියේ වැඩට උදවු වෙන්නත් මට පිළිවන්’ ඇය කීවාය.

‘ඒ වැඩ කිරීමට මෙහි සේවකයන් ඉන්නවා’

ඇගේ ඇස් කඳුළෙන් පිරිණි. සිටු දේවිය ඇය මුළුතැන්ගෙයට කැඳවාගෙන ගියාය.

‘ඉස්සෙල්ල කෑම කාලා ඉඳපන්. දරුවා ලැබෙන්න තව කොච්චර කල් තියෙනවද ?’

‘තව මාස දෙකක් විතර තියෙනවා’

‘හොඳයි එහෙනම් කෑම කාලා අර භාජන ටික පිරිසුදු කරලා තබනවා. අර මැස්ස උඩ ඒවා අඩුක් කරනවා’

‘හොඳමයි’

ඇය සිටු මැදුරේ සේවිකාවක් වූවාය. ඉඳ හිට දිනෙක ඇය සිය නිවසට ද ගොස් ආවාය. දරුවා ලැබුණු පසු ඇය සිය නිවසේ නතර වූවාය.

‘දරුවා ලොකු වෙන තුරු වැඩට එන්න ඕනෑ නැහැ. මා නුඹට කෑමට අවශ්‍ය දේ එවනවා’ සිටු දේවිය කීවාය.

‘මගේ දරුවාගේ වාසනාව‘ ඇය සිතුවාය.

සානු යන නම දරුවාට තැබිණි. සය මසකට පමණ පසු ඇය පුතා සමග සිටු මැදුරට ගියාය. පුතු පසෙකින් තබාගෙන ඇය මුළුතැන් ගෙයි වැඩෙහි යෙදුණාය. හැන්දෑවට හාල් ටිකක් ද ගෙන නිවසට ආවාය.

‘කෝ අම්මේ මගේ පියා ?’ දිනක් සානු ඇසුවේය.

‘පියා දුර රටක ඉන්නෙ. දවසක කහවනු ගොඩකුත් අරගෙන පුතා බලන්න පියා එයි’ ඇය කීවාය.

ඔහු ඉන් පසු ඒ ප‍්‍රශ්නය නැඟුවේ නැත. පුතා කල්පනාකාරීය. නිහඬය. සන්සුන්ය. අනෙක් මෙහෙකාරියන්ගේ දරුවන් මෙන් රණ්ඩු දබරවලට නොගියේය.

‘සානු මේ අනෙක් ළමයින්ට වඩා වෙනස්. මෙයා හොඳයි ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ ළඟට ගියොත් මේ දරුවා හොඳ භික්ෂූන් වහන්සේ නමයි වෙයි’ දිනක් සිටු දේවිය කීවාය.

ඒක හොඳයි සානුගේ මවට ද සිතිණි. පුතා ගිහි ජීවිතයේ සිටියොත් සිටු මැදුරේ මෙහෙකාරයෙක් වෙයි. එපමණයි. පැවිදි වුණොත් මගේ පුතා උත්තමයෙක් වෙයි. දැනටමත් මගේ පුතා අනෙක් ළමයින්ට වඩා වෙනස්. ඤාණවන්තයි. කරුණාවන්තයි. ශාන්තයි. මගේ පුතා හොඳ පැවිදි ජීවිතයට තමයි. ඇයට සිතිණ.

ඇය සිය පුතු සමග සැවැත්නුවර ජේතවනාරාමයට ගියාය. එහි වැඩ සිටි භික්ෂූහූ සානු බාර ගත්හ. දැන්සානු පැවිදි බිමේය. සානු සාමනේර නමින් උන් වහන්සේ ප‍්‍රකට විය. වහ වහා බණ දහම් ඉගෙන ගත් උන් වහන්සේ බහුශ‍්‍රැත ධර්මධරයකු වශයෙන් මිනිසුන් අතර මෙන්ම දෙවියන් අතර ද පිළිගැනිණි.

එහෙත් උන් වහන්සේට පසු කලෙක සිවුරු හැර යාමට සිතිණි.

‘අම්මා හමුවීමට ගොස් නිවසේදීම මා සිවුරු අරිනවා’ සානු හිමියෝ සිතූහ.

පෙර භවයක දී මව වූ එක් යකින්නකට සානු හිමියන්ගේ සිත පෙනිණ. ඇය වහාම සානු හිමියන්ගේ මව හමුවූවාය.

‘ඔබේ පුතා දැන් ගෙදර එනවා. ඇවිත් සිවුරු අරිනවා. එය වළක්වන්න’

මව තැති ගත්තාය.

‘මගේ පුතා විනාශ වෙන්නයි යන්නේ. හොඳ ධර්ම දේශකයෙක් වශයෙන් මුළු සැවැත්නුවර පමණක් නොවෙයි කෝශල රාජ්‍යයේම මගේ පුතා ප‍්‍රසිද්ධයි. කොසොල් රජතුමා පවා මගේ පුතාගේ බණ අසන්නට කැමැතියි. ගිහියෙක් වුණාම පුතාට මොකක්ද වෙන්නේ’ ඇය හඬන්නට වූවාය.

සානු හිමියෝ නිවසට වැඩියහ. මව හඬා වැළපෙයි.

‘ඇයි අම්මේ අඬන්නේ ? මා ජීවත් වෙනවා. මැරුණානම් තමයි අඬන්න ඕනෑ’ ඇය හැඬීම මදකට නතර කළාය. බිම වැටී නමස්කාර කළාය.

‘ඔබ වහන්සේ සිවුරු අරින්නට මෙහි පැමිණෙන බව මා දන්නවා. සිවුරු අරින එක මැරෙනවා වගේ තමයි. මා හඬන්නේ ඒ නිසා’

උන් වහන්සේ මහත් කම්පාවකට හසුවූහ. ආපසු ජේතවනාරාමයට වැඩියහ. පැවිදි බිම අත් නොහරිමියි සිතූහ. මාර්ග ඵලයකට පත් නොවී සිටිය හොත් යළිත් සිවුරු හැර යාමේ සිතිවිලි ඇතිවිය හැකියි. කමටහන් ලබා ගෙන මා වහාම භාවනා කිරීම ඇරඹිය යුතුයි. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සානු හිමියෝ වන පෙතකට වැඩියහ. විදසුන් වඩන්නට වූහ. වැඩි දවසක් නොගොස් උන් වහන්සේ රහත් බවට පත්වූහ..

සානු රහතන් වහන්සේ දිනක් සිය යටගියාව සිහිපත් කරමින් සිය උදානය මෙසේ පළ කළහ.

මළ විට හෝ
හුස්මක් නොවැටෙනා විටයි
වෙන අම්මල අඬන්නේ
මම තාමත් ජීවත් වෙමි
ඇයි අම්මේ අඬන්නේ ?’

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා