මාතර හිත්තැටියේ රජ මහා විහාරය

මාතර හිත්තැටියේ රජ මහා විහාරය

දකුණු පළාතේ මාතර කඩවත් සතර පිහිටි ‘හිත්තැටිය’ නම් ග‍්‍රාමය එකල දැනට වඩා විශාල ප‍්‍රදේශයක පැතිරී තිබිණි. ජනගහනය වැඩිවීමත් සමග හිත්තැටිය නැගෙනහිර, හිත්තැටිය මැද, හිත්තැටිය බටහිර, වැලිවේරිය සහ ගොඩගම යනුවෙන් ග‍්‍රාම සේවක වසම් කීපයකට මේ ගම බෙදී වෙන්වී ඇත.

හිත්තැටියේ ගම මැදින් වැටී තිබෙන මාතර - දෙණියාය මහා මාර්ගයේ පළමුවන සැතපුම් කණුව අසල එම මහා මාර්ගයේ වම් පස හිත්තැටියේ බටහිර, මෙම හිත්තැටිය රාජමහා විහාරය පිහිටා ඇත. මෙහි මූලාරම්භය කවර කලෙක සිදු වූයේ දැයි හරිහැටි කීමට නොහැකිය.

දැනට මෙම විහාරස්ථානයේ වැඳුම් පිදුම් කරන බෝධි වෘක්ෂය, වසර දහසක් තරම් පැරැණි බව තතු දන්නෝ හෙළි කරති. මුලදී මෙම බෝධි වෘක්ෂය අසල ටැම්පිට බුදු මැදුරක් තිබූ බවත් එය කි‍්‍ර. ව. 1760 දී ගැලූ මහ ගංවතුරකින් විනාශ වූ බවත් දැනට ඇති බුදුමැදුර එම වර්ෂයේදී තැනවූ බවත් විහාරය සන්තක ලියවිල්ලකින් පෙනෙයි.

දැනට බුදු මැදුරේ තැන්පත් කර ඇති බුදු පිළිමය, එම කුඩා බුදු මැදුරේ තිබුණු බුදු පිළිමය බවත් හෙළිවී තිබේ. මෙම පිළිමය සඳුන් බුදු පිළිමය යයිද ව්‍යවහාර කෙරෙන අතර සඳුන් අරටුවෙන් තනා පිටතින් බදාමය ආලේපකර ඇතැයි පිළිගැනෙයි. පැරැණි ස්වරූපයෙන් යුත් මෙය සිරස්පත සමග අඩි 3 1 / 2 ක් පමණ උසය. මෙම බුදු මැදුර වැව ඉන්දසාර හිමියන් විසින් හෝ උන් වහන්සේගේ ශිෂ්‍ය වැලිවිටියේ සංඝරක්ඛිත හිමියන් විසින් තනවන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. බුදු මැදුරේ ඇතුළ්මාලයේ දහ අට රියන් සැතපෙන බුදු පිළිමයක්ද වටේ සූවිසි බුදුවරුන්ගේ රූපද අඹා තිබේ.

කි‍්‍ර. ව. 1894 දී එවකට විහාරාධිපතිව වැඩ සිටි වේපතඉර සුමංගල හිමියන් විසින් බුදු මැදුර ප‍්‍රතිසංස්කරණය කර මහ බුදු පිළිමයේ නේත‍්‍ර ප‍්‍රතිෂ්ඨාපනය කරවූ බව ඇතුළ්මාලයට පිවිසෙන වම් දොරකඩ උළුවස්සේ ඇති උඩෙලිපතෙහි සටහන් කර ඇත.

බුදු මැදුරේ ආලින්දය මුලදී තිබුණේ රවුම් ලොකු බදාම කණු පහක් මත බෑවුම් පියස්ස සහිතවය. කි‍්‍ර. ව. 1963 දී එවකට විහාරාධිපති කඩවීදියේ කීර්ති ශ‍්‍රී අරියජෝති හිමියන් විසින් දර්ශනීය මකර තොරණක් සහිතව බුදු මැදුර ඉදිරිපස අලංකාරවත් කෙරිණි. මෙම නාහිමියන් විසින්ම කි‍්‍ර. ව. 1945 දී ඇතුළ්මාලයේ සායම් ආලේප කරවා නේත‍්‍ර ප‍්‍රතිෂ්ඨාපනයක්ද සිදු කරවන ලදී.

විහාරස්ථානයට ඇතුළුවන මාර්ගය කලින් තිබුණේ බුදුමැදුර ඉදිරිපිටිනි. දැනට වඩා මාතර ප‍්‍රදේශයට යාර 50 ක් පමණ නැඹුරුවය. විහාරය ඉදිරිපිටින් වාහන වලින් පැමිණීම නුසුදුසු සේ සැලකු ඉහත සඳහන් කඩවීදියේ අරියජෝති හිමියන් විසින්ම මෙම ප‍්‍රවේශ මාර්ගය වෙනස් කර දැන් තිබෙන ප‍්‍රවේශ මාර්ගයක් දර්ශණීය යකඩ ගේට්ටුවක් යොදන ලදී. එසේම මහා මාර්ගය අසල ප‍්‍රාකාරය දුර්වලව තිබුණෙන් එහි අලුතින් ප‍්‍රාකාරයක්ද කරවන ලදී.

බුදුමැදුර හා චෛත්‍යයට ඇතුළුවන සේ ඉතිරි තුන්පැත්තේ ප‍්‍රාකාරය විහාරාධිපතිත්වය දැරූ අහංගම ධම්මානන්ද හිමියන් විසින් සැදැහැවතුන්ගේ දායකත්වයෙන් කි‍්‍ර. ව. 1903 දී කරවන ලද බව විහාරයේ ඇති කුඩා සෙල් ලිපියක සඳහන් වෙයි. දැනට පවතින අඩි 60 ක් පමණ උස ඝණ්ඨාර කුලුනත් මුන් වහන්සේ විසින් තනවන ලද්දකි.

මෙම විහාරයේ ‘පෝය සීමාව‘ පිහිටුවා තිබෙන්නේ වැව ඉන්ද්‍රජොති හිමියන්ගේ ප‍්‍රධාන ශිෂ්‍ය වැලිවේරියේ සංඝරක්ඛිත හිමියන් විසින් බවත් කි‍්‍ර. ව. 1813 දී සඳහන් කර ඇති සෙල්ලිපියක දැක්වෙයි. මුලදී උඩුවහලක් සහිතව තණා තිබූ මෙය පසු කල්හි දිරාපත්වීම නිසා දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්තිය සිහිවීම පිණිස කඩවීදියේ ශ‍්‍රී අරියජෝති නාහිමිපාණන් විසින් වඩාත් අලංකාර ලෙස ස්වකීය ආචාර්යවරුන් වන අත්තුඩාවේ සීලානන්ද, වැලිපිටියේ ශ‍්‍රී දේවානන්ද, යන හිමිවරුන් සිහිවීම පිණිස කි‍්‍ර. ව. 1957 – 04- 17 වැනි දින තනවා නිම කර ඇති බව එහි සඳහන් කර ඇති කිරිගරුඬ පුවරුවේ දැක්වෙයි.

දැනට බුදු මැදුර ඉදිරිපිට තනා ඇති අඩි 30 ක් පමණ උස සාංචි ක‍්‍රමයේ දර්ශනීය තොරණ වැව ඉන්දසාර හිමියන්ද, වැලිපිටියේ ශ‍්‍රී දේවානන්ද නාහිමි පාණන්ද, අත්තුඩාවේ ශ‍්‍රී ශීලානන්ද හිමිපාණන් සහ කඩවීදියේ ශ‍්‍රී අරියජෝති හිමිපාණන්ද සිහිවීම පිණිස වත්මන් හිත්තැටියේ රජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති ගොඩගම චූලාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් විසින් කි‍්‍ර. ව. 1989 – 01 – 11 වැනි දින තනවා නිම කර ඇත.

බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය සඳහා බෞද්ධ පාසලක් එවකට මෙම ප‍්‍රදේශයේ නොතිබූ බැවින් අත්තුඩාවේ ශීලානන්ද, සහ කඩවීදියේ අරියජෝති නාහිමිවරුන්ගේ අනුග‍්‍රහයෙන් විහාරස්ථානයට අයිතිබිම් කොටසක කි‍්‍ර. ව. 1928 දී ‘ධර්මරාජ විද්‍යාලය’ නමින් පාසලක්ද පිහිටුවා ඇත. දැනට එම පාසල රජයට පවරාගෙන ඉතා දියුණු තත්ත්වයකින් පවත්වාගෙන යනු ලැබෙයි. වසර ගණනාවකට පෙර ගිහි ප‍්‍රභූන් කිහිප පොළක් ඉදිරිපත්වී දහම් පාසලක් ආරම්භ කර කලක් පවත්වාගෙන ගියත් පසුව එය අභාවයට පත් විය.

හිත්තැටිය ප‍්‍රදේශයට ඉරු දින දහම් පාසලක අවශ්‍යතාව වැටහුන බැවින් 1976 දී ‘ශ‍්‍රී දේවානන්ද දහම් පාසල’ නමින් දහම් පාසලක් ගොඩගම චූලාලංකාර හිමියන් විසින් ආරම්භ කරන ලදී. එය රජයේත් කොළඹ තරුණ බෞද්ධ සමිතියේත් ලියාපදිංචි කරනු ලැබ මේ දක්වා ඉතා සාර්ථකව පවත්වාගෙන යයි. දැනට එහි ලැයිස්තු ගත ශිෂ්‍ය සංඛ්‍යාව පන්සියයකට ආසන්නයි. ඒ සඳහා පැරැණි ධම¢ ශාලාව ඉඩමදි වූයෙන් නව විහාරාධිපති ගොඩගම චූලාලංකාර හිමියන් විසින් සැදැහැවතුන්ගේද ආධාර ලැබ ‘වැව ඉන්දසාර ශාලාව‘ නමින් අඩි 80 ය 22 ශාලාවක් 1997 දී සාදවා විවෘත කරන ලදී.

එහි ආචාර්ය මණ්ඩලයට ප‍්‍රධානාචාර්ය හිමි වශයෙන් වර්තමාන විහාරාධිපති රාජකීය පණ්ඩිත මාතර හම්බන්තර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක ගොඩගම චූලාලංකාර හිමියන්ද පාඨශාලාචාර්ය ඩබ්ලිව්. එම්. පියල් සමන්ත මහතා ඇතුළු ගිහි පැවිදි 21 දෙනෙක් ඇතුළත්ය.

රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති ගොඩගම චූලාලංකාර නායක ස්ථවිරයන් රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන කඹුරුපිටියේ විද්‍යානිකේත විශ්ව විද්‍යාල පිරිවෙන, මාතර ශ‍්‍රී සුදර්ශී විශ්ව විද්‍යාල පිරිවෙන, යන ආයතනයන්හි පරිවේනාධිපති ධුරය දරා දැනට විශ‍්‍රාම සුවයෙන් පසු වෙයි. ඒ හැරෙන්නට උන් වහන්සේ සසුන දියුණු කිරීම සඳහා ශාස්ත‍්‍රපති අග‍්‍රහැරේ කස්සප හිමියන් ඇතුළු තවත් හිමිවරුන් පස් දෙනෙක් සසුන් ගත කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා