ජාගරියානුයෝගය

ජාගරියානුයෝගය

අපණ්ණක ජාතක දේශනාව අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන “අපණ්ණක පටිපදා” (අපණ්ණක ප‍්‍රතිපදා) වේ තුන්වන අංගය යි මේ. මෙහිලා “අපණ්ණක පටිපදා” යන්න මදක් විමසා බැලීම යෝග්‍යයයි සිතමි.

මේ පිළිබඳව අමතර විස්තර දක්වන අංගුත්තර නිකාය අට්ඨකථාව (මනොරථපූරණී අටුවාව) “ජාගරියං අනුයුත්තො” යනු රෑ දවල් කොටස් හයකට බෙදා කොටස් පහක් භාවනාවෙහි යෙදෙමින් නිදි වැරීම මින් අදහස් කැරෙන බව දක්වයි. “සීහ සෙය්‍යං කප්පොති” යන්න අටුවාව පැහැදිලි කරන්නේ මෙසේය. “වම් පාදය දකුණු පාදය මත සමසේ තැබීමෙන් දණ දෙකක් ගොජ මස හා ඇස්වටය (තෙනි දණ්ඩ) එකට එක තෙරපීමෙන් වේදනාවක් ඇතිවිය හැකි බැවින් දකුණු පාදය මත වම් පාදය මදක් ඈත් මෑත් කොට තබාගෙන සිංහයකු මෙන් දකුණු ඇලයෙන් සැතපීම සුදුසු ය.”

බුදුරජාණන් වහන්සේද රාති‍්‍රයේ වත්මන් ව්‍යවහාර පැයවලින් පැයකට වඩා සයනය නොකරන බව උන්වහන්සේගේ දින චරියාව විමසන විට පැහැදිලි වේ. ලෝකයේ දියුණුවට පත් සෑම පුද්ගලයකු ම අඩුවෙන් නිදාගෙන උට්ඨාන වීර්යයෙන් එසේ දියුණු වූ බව කිය හැකිය. ජාතික වීරවරයකු වූ ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමා ද අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කළ කෙනකු බව එතුමාගේ ලියැවිලිවලින් හැඟේ. නිද්‍රා බහුල වීම මෙලොව වශයෙන් පිරිහීමට හේතු වන බව බුදුරදුන් “පරාභව“ සූත‍්‍රයෙහි ද දේශනා කර තිබේ.


හිත්තැටිය
රාජමහා විහාරාධිපති,
ගොඩගම
චූලාලංකාර නාහිමි

පෘථග්ජන ලෝකයෙහි සමහරු රූපයට ඉතා ඇලුම් කරති. ඒ අය රූප ගරුකයෝ ය. සමහරු ශබ්දයට – විශේෂයෙන් ගී සින්දු ආදී මිහිරි ශබ්දයට ඉතා ඇලුම් කරති. සංගීත සංදර්ශන සොයා සොයා ගොස් ඒවාට කාලය නාස්ති කරති. ඒ ශබ්ද ගරුකයෝ ය. සමහරු මිහිරි සුගන්ධයට ඉතා ඇලුම් කරති. සුවඳ විලෙවුන්වලට අතිශයින් මුදල් වියදම් කරති. නිතරම සුවඳ විලෙවුන් ගල්වාගෙන සිටිති. ඒ (සු)ගන්ධ ගරුකයෝ ය. සමහරු මිහිරි රසයට ඉතා ඇලුම් කරති. මිහිරි රසවත් ආහාරපාන සඳහා අතිමාත‍්‍ර ලෙස මුදල් වියදම් කරති. ඒ රස ගරුකයෝ ය. තවත් සමහරු ස්පර්ශ කාමයෙන් පෙළෙමින් එහි අතිමාත‍්‍ර ලෙස ඇලුම් කරමින් එයින් තෘප්තිමත් වීමට කි‍්‍රයා කරති. ඒ ස්පර්ශ ගරුකයෝ ය. මේ සෑම එකකින්ම සිදුවන්නේ තම සිත්හි ලොභ චෛතසික වැඩිදියුණු වීමයි. මේ අනුව ස්වර්ග මෝක්‍ෂ දෙක තව තවත් ඈත්වේ. කාමච්ඡන්දය නීවරණයක් වන්නේ මේ නිසාය.

ව්‍යාපාද නීවරණය යනු දැඩි ක්‍රෝධයයි. බද්ධ වෛරයයි. දශ ආඝඝාත වස්තු ද මෙයට ඇතුළත් ය. අමනාපය, ක්‍රෝධය, කෝපය, වෛරය යනාදී විවිධ නම්වලින් ඒ එ් අවස්ථාවන්හිදී හැඳිවෙනුයේ ද්වේෂ චෛතසිකය යි. මෙය නොයෙක් අකුශල කි‍්‍රයාවන්ට මුල් වන බැවින් අකුශල මූලයක් ලෙස ද සැලකේ. නිදසුනක් ගතහොත්, තමාට අපි‍්‍රය හෝ වරදක් සිදු කළැයි හඟිමින් තවත් පුද්ගලයකුට අසභ්‍ය වචනයෙන් බැණ වදී. අපහාස කරයි. පරුෂ වචන කියයි. ඔහුට විරුද්ධව කේළාම් කියයි. උසාවියේ බොරු සාක්‍ෂි දෙයි. මෙය වචනයෙන් සිදුකර ගන්නා අකුසල් ය. ඇතැම් විට විරුද්ධවාදියාට පහර දෙයි. තුවාල කරයි. ජීවිත හානි කරයි. මෙය කයින් සිදුකර ගන්නා අකුසල් ය. මෙසේ ව්‍යාපාදය ස්වර්ග මෝක්‍ෂ දෙකට බාධා කරන බැවින් නීවරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ථීන මිද්ධ නීවරණය - “ථීන” යනු සිතේ පසුබස්නා ගතියයි. සිත කුසලට යොමු නොවන ගතියයි. මෙය අභිධර්මය අනුව තුදුස් අකුශල චෛතසිකයන්ගෙන් එකකි. “මිද්ධ” යනු චෛතසිකයන්ගේ පසුබස්නා ගතියයි. මෙද අකුශල චෛතසිකයකි. මේ දෙකම නිතර සම්බන්ධව පවත්නා බැවින් එකක් ලෙස මෙහිදී ගැනිණ. මෙසේ චිත්ත චෛතසිකයන්ගේ අකර්මන්‍යතාව (කුසලට යොමු නොවන බව) ථීන මිද්ධ නමැයි දත යුතු මෙයද ස්වර්ග මෝක්‍ෂ දෙක ආවරණය කරන බැවින් නීවරණයක් වේ.

උද්ධච්ච කුකකුච්ච නීවරණය - මෙහිද “උද්ධච්ච” යනු අභිදහම අනුව තුදුස් අකුශලයන්ගෙන් එකකි. ධර්මය නොදැනීම නිසා සිත් හි පවත්නා නොසන්සුන් ගතිය – තැන්පත් නැතිකම – උද්ධච්චය යි. මෙකල සමාජයේ “ව්‍යවහාර වන ලෙස “උඩඟු බව“ නොවේ” අටුවා ග‍්‍රන්ථවල සඳහන් වන පරිදි අළු ගොඩකට ගලක් ගැසූ විට අළු විසිරෙන්නාක් මෙන් සිත එක අරමුණක රඳවා ගැනීමට බැරි ගතියයි. සුළඟේ ලෙළ දෙන කොඩිය ද මෙයට උපමා ලෙස ඇතැම් තන්හි දක්වා තිබේ. මෙය සිත් හි බලපවත්නා විට කුසලයට සිත යොමු නොවේ.

”කුකකුච්ච” යනු පසුතැවීමයි. මෙයද අකුශල චෛතසිකයකි. තමා විසින් සිදු කරන ලද අකුසල් ගැනත් සිදුකර ගන්ට බැරි වූ කුසල් ගැනත් සිතා පසුතැවීමයි. මෙය සිංහලට “කුකුස” යනුවෙන් බිඳී එයි. (කළ නොකළ උදෙසා - පසුතැවිලි වනු කුකුසා - කාව්‍යශේඛරය) මෙකල සමාජයේ ඇතැම් අය “කුකුස” යනු සැකය ලෙස වරදවා ව්‍යවහාර කරති. මේ දෙකම එක නීවරණයක් සේ ගැනේ. ස්වර්ග මෝක්‍ෂ ආවරණය කරන බැවින් නීවරණයකි.

විචිකිච්ඡා නීවරණය - පිළියම් කිරීමට දුෂ්කර රෝගය (වි + තිකිච්ඡා) න අරුතින් “විචිකිච්ඡා” යි ව්‍යවහෘතය. බලවත් සැකය මින් ගැනේ. විචිකිච්ඡාවද තුදුස් අකුශල චෛතසිකයන්ගෙන් එකකි. මෙයින් යුතු පුද්ගලයා යා යුතු නියම මඟ නොදැන සතර මං සන්ධියකට පැමිණියකුට උපමා කර තිබේ. ඔහු එක් මගක ටික දුරක් ගොස් සැකය මතුවීම නිසා ආපසු පැමිණ වෙනත් මගක යයි. එහිද ටික දුරක් ගොස් ආපසු පැමිණ තවත් මඟක යයි. මේ අනුව තම සිතෙහිවූ බලවත් සැකය නිසා ඔහුට යා යුතු මඟ තීරණය කර ගැනීමට නොහැකිව වෙහෙසේ. පුළුල් වශයෙන් සලකන විට, බුද්ධ – ධම්ම - සංඝ - සික්ඛා (බුදුරදුන් වදාළ ශික්‍ෂා පද) – පුබ්බන්ත (පූර්ව ආත්ම භාවය) – අපරන්ත (මතු ආත්මභාවය හෙවත් පුනර්භවය) – පුබ්බන්තා පරන්ත (පෙර මතු ආත්ම භාව) – පටිච්ච සමුප්පාද යන අටතන්හි සැකය විචිකිච්ඡා යන්නෙන් ගැනේ.

සුධීහු මේ අපණ්ණක ප‍්‍රතිපදාව අනුගමනය කොට සසර කතරින් එගොඩ වී අමෘත මහා නිර්වාණ නමැති ක්‍ෂේම භූමියට පැමිණෙත්වා!

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා