කෙසේ ජීවත් විය යුතුද?

කෙසේ ජීවත් විය යුතුද?

වරක් “ආලවකයා” බුදුරජාණන් වහන්සේට මුණ ගැසුන මොහොතක ප‍්‍රශ්න කීපයක්ම විමසූ බවත් බුදුරදුන් ඊට නිසි පිළිතුරු දුන් බවත් ඔබ දන්නා කරුණකි. එහිදී ඔහු නැගූ එක් පැනයක් අද අප සියලු දෙනාටම අතිශයින්ම වැදගත් වේ. එනම්

“කථං ජීවිං ජිවිත මාහු සෙට්ඨං”

වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේ ජීවත්වීම ද? ඊට බුදුරදුන් ලබා දුන් පිළිතුර අද යුගයේ ජීවත්වන ලොකු කුඩා හැමදෙනාටම අතිශයින්ම වැදගත් වන්නකි.

“පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං”

ප‍්‍රඥාවෙන් ජීවත්වීම ශ්‍රේෂ්ඨය. ප‍්‍රඥාව ලෞකික ලෝකෝත්තර යනුවෙන් දෙයාකාර වේ.

කෙනෙකුගේ පිරිසුදු බව කෙසේ විය යුතුද? යන ප‍්‍රශ්නයට (කථංසු පරිසුක්‍ධති) දෙන පිළිතුරද එසේම රමණීය වේ. පඤ්ඤාය පරිසුජ්ඣති. ප‍්‍රඥාවෙන් පිරිසුදු බව ලැබිය යුතුය.

ඉහත සඳහන් න්‍යාය මාර්ග දෙක පිළිබඳව අපේ අවධානය යොමු කරමු. 1970 දී යුනෙස්කෝ සංවිධානයේ යෝජනාවක් අනුව අධ්‍යාපනයේ සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික කොමිසමක් පත් කෙරුණි. අද ඇති සමාජ අභියෝගතා වලට මුහුණ දීම සඳහා අධ්‍යාපනය තුළ කළ යුතු ප‍්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම එම කොමිසමට පැවැරුණු වගකීමයි. එම කොමිෂන් වාර්තාව “දිවි පැවැත්ම සඳහා ඉගෙනීම” ඹ්ඥචපදඪදඨ බධ ඡඥ යනුවෙන් නම් කරනු ලැබීය. වෙනස් වන ලෝකයට ඔරොත්තු දෙන පුද්ගලයන් තැනීම එහි අරමුණ වේ. කෙසේ ජීවත් විය යුතුද? යන ආලවක ගේ ප‍්‍රශ්නයට දුන් පිළිතුරත් වත්මන් බුද්ධිමතුන්ගේ පිළිතුරත් අතර විශාල සමීප බවක් ඇත.

බෞද්ධ දර්ශනයට අනුව ප‍්‍රඥාව ලබන ක‍්‍රම මෙසේය

1. සුතමය පඤ්ඤා
2. චින්තාමය පඤ්ඤා
3. භාවනාමය පඤ්ඤා

ඇසීමෙන් හා පොත පත කියවීමෙන් ලබන ඥානය යමක් පිළිබඳව නිවැරැදිව සිතීමෙන් ලබන ඥානය, භාවනා කිරීමෙන් සිතේ ඇතිවන ඉහළ මානසික තත්ත්වය නිසා ඇතිවන ඥානය ආදී වශයෙන් පියවර තුනක් ඔස්සේ පුද්ගලයාගේ ප‍්‍රඥාව වැඩේ. මින් සුතමය ඥාන පහසුය. එහෙත් චින්තාමය ඥාන අසීරුය. ඊට හේතුව ‘සිතීම’ හැමෝටම කළ හැකිය. එහෙත් හරියට සිතීම කළ හැක්කේ කීයෙන් කී දෙනාට ද?

සිදුහත් කුමාරයා පමණක් නොව අපි සියලු දෙනාම සතර පෙරනිමිති දකින්නමෝ වෙමු. සිදුහත් කුමරු ඒ සිදුවීම් දැකීමෙන් හා ඒ අනුව නිවැරැදිව සිතීමෙන් ප‍්‍රඥාව ඇතිකර ගත්හ. අපි දු ඒවා නිරතුරුවම දකිමු. එහෙත් අප ලබන ඥානයේ ප‍්‍රතිශතය කෙසේ විය හැකිද?

“අයිසෙක් නිව්ටන්” ඇපල් ගෙඩියක් බිම වැටෙන ආකාරය දැක සිතීමට පටන් ගත්තේය. ඔහුට ඒ පිළිබඳ විශේෂ ඥානයක් පහළ විය . (ගුරුත්වාකර්ෂණය) අපිදු එවැනි දේ ඕනෑ තරම් දැක ඇත්තෙමු. එහෙත් අපට “”අයිසෙක් නිව්ටන්” කෙනෙකු වීමට නොහැකි වී ඇත. බත්කුරෙකු අහසේ පියාසර කරන ආකාරය දැක “හෙළිකොප්ටරයක්” නිර්මාණය කිරීමට පෙළඹී ඇත. එහෙත් අප එවැන්නකට සූදානම් නැත. “යසෝධරා” තෙරණිය පහන් සිළුවක් දෙස ඕනෑකමින් බලා සිට විමුක්ති ඥානය ලබා ගත් බව කියැවේ. අපට එය කතන්දරයක් පමණි. මේ කරුණු සියල්ලම ඉදිරිපත් කෙළේ යමක් පිළිබඳව හරියට සිතීමට අප සියලු දෙනාම සූදානම් නැති බව පෙන්වීමටයි.

දැකීමෙන් හා ඇසීමෙන් (සුතමය ඥානය) ඇති කරගත් ඥානය අමු අමුවේ භාවිතා කිරීම දහමට එකඟ නොවේ. ගුවන්විදුලි, රූපවාහිනි, සිනමා පත්තර සඟා ආශි‍්‍රතව අප ලබන සුතමය ඥානය මනා විමසීමකින් තොරව භාවියට ගැනීම නිසා සිදුවූ සමාජ විපත් වල ප‍්‍රමාණය අසීමිතය. ඇසීමෙන් හා දැකීමෙන් ලබා ගත් අරමුණුවල “තාරබර” ඉවත් කිරීමට නම් ඊට සරිලන ඥානයක් තිබිය යුතුය. එවැනි චින්තාමය ඥනයක් නොමැති අය “තාරබර” සහිතවම එම අරමුණු පරිභෝජනයට ගනු ලබයි.

අරමුණක් තිබූ පමණින් හෝ සිතක් තිබූ පමණින් ඒ අරමුණ පිළිබඳව නිවැරැදිව සිතා “චින්තාමය ප‍්‍රඥාවක්” ඇතිකර ගත හැක්කේ කීයෙන් කී දෙනාටද?

බුදු දහමේ පෙන්වන “ප‍්‍රඥාව“ තම තමා විසින්ම පුහුණු කරගත යුතු හදා වඩා ගත යුතු දෙයකි. ඉහත සඳහන් ක‍්‍රම වේද යටතේ එය වැඩි දියුණු කළ හැකිය. එහෙත් ප‍්‍රඥාවේ වෙස් ගෙන අඥාන කමට පෙනී සිටීමටද හැකියාව ඇත. ප‍්‍රඥාව වැඩෙන්නේ මිනිසාගේ සිතෙහිය. එයද චෛතසික විශේෂයකි. “මෝඩකම” හෙවත් “අඥාන කමද” මතු වන්නේ සිතෙහිමය. එයද චෛතසිකයකි.

එදිනෙදා ජීවිතයට මුහුණ දෙන අයට අත්‍යවශ්‍යම දේ හැටියට “ප‍්‍රඥාව“ පෙන්වා දිය හැකිය. ප‍්‍රඥාව හීනවීයාමෙන් පවුලේ ප‍්‍රශ්න වැඩි දියුණු වන ආකාරය ඉතා පැහැදිලිය. සමාජ ප‍්‍රශ්නද වැඩි දියුණු වන්නේ ප‍්‍රඥාව හීනවී යාම නිසාය. රටේ ප‍්‍රශ්න විසඳීමේදී රජතුමා පුරෝහිත බමුණන්ගේ සහාය ගන්නේ ඒ නිසාය. මහෞෂධ ප¾ඩිතුමා රජතුමාට රට පාලනය පිළිබ¼ඳ ප‍්‍රඥාව ලබා දීමට නිරතුරුව කි‍්‍රයා කළ චරිතයකි.

රටක් වශයෙන් අපි සියලු දෙනාම සුවිශාල අර්බුදයකට ගමන් කරමින් සිටිමු. අතීතයේ ජීවන සම්ප‍්‍රදායයන් වෙනුවට නව තාක්‍ෂණයේ දායකත්වය බහුලව යොදා ගනිමින් සිටිමු. ඒ නිසාම අවශ්‍යතා බහුල වී ඇත. එනිසාම වැඩියෙන් වියදම් කිරීමට සිදුව ඇත. අතීතයේ අපට තිබූ නීරෝගීකමද අහිමි වෙමින් පවතී. ලෙඩ රෝග බහුල වීම නිසාද, අලුත් ලෙඩ රෝග පැතිරීයාම නිසාද, ඒවාට වියදම් කිරීම නිසා ආර්ථිකයද දුර්වල වෙමින් පවතී. මේ අනුව අලුත් ජීවන රටාවට හුරු පුරුදු වීමෙන් අලුත් ප‍්‍රශ්න රාශියක් මතු කරගෙන ඇත. ප‍්‍රශ්න වලට සමාන්තරව විසඳුම් සොයා ගෙන නොමැත.

මීට දශක දෙක තුනකට පෙර පාසල්වල නොතිබු අර්බුද දැන් දැන් මතුවෙමින් පවතී. රටේ ආරක්‍ෂාවද අනතුරුදායක තැනක පවතී. සදාචාරයද, සෞඛ්‍යද, අධ්‍යාපනයද, ආරක්‍ෂාවද ආර්ථිකයද රටක ජනතාවට අතිශයින්ම වැදගත් වේ. එහෙත් මේ සියල්ලෙහි ඇත්තේ අවිනිශ්චිත බවකි. ව්‍යාකූල බවකි. “අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිකා පජා, තං තං ගෝතම පුච්ඡාමි කො ඉමං විජට යෙජටං”

ඇතුළත් අවුල් පිටතත් අවුල් මේ හැමම අවුලෙන් අවුලට යමින් පවතී. මෙය විසඳන්නේ කවුද? මේ එක්තරා දෙවියෙකු නැඟූ ප‍්‍රශ්නයකි. බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර නූතනයන්ගේ අවධානය යොමු කරන්නේ නම්, අද අප වෙළා ගෙන තිබෙන ප‍්‍රශ්න වලින් අපට එතෙර වීමට වරම් ලැබෙනු ඇත.

“සීලෙ පතිට්ඨාය නරෝ සපඤ්ඤෙ¤
චිත්තං පඤ්ඤංච භාවයං”

ශීලයක පිහිටි නුවණැති මනුෂ්‍යයා මේ ප‍්‍රශ්නය විසඳන බව බුදුරදුන් පෙන්වා දෙති. එය තව පැත්තකින් විග‍්‍රහ කොට බැලුවොත් ශීලය නැති නිසා, ප‍්‍රඥාව නැති නිසා මේ සියලු ප‍්‍රශ්න මතු වී ඇති බව ඉන්කියැවේ.

ව්‍යාකූලත්වයට පැමිණි කෙලෙස් සිතිවිලි සහිත මනස නිරතුරුවම සංඛාර උපදවමින් අනාගත සසර පිළියෙළ කරනු ලබයි. දුක් සහිත ව්‍යාකූල වූ සසර ගමන අතරමග නතර කර දැමීමට හැකියාව ලබන්නේ ශීලය හා ප‍්‍රඥාව නිසාය. සසර පමණක් නොව මෙලොව ජීවිතයද අවුලෙන් අවුලට ගෙන යන්නේ ශීලය නැති, ප‍්‍රඥාව නැති “සිතක්” විසිනි.

එපමණක්ද නොව අප ඉහතින් සඳහන් කළ පරිදි රට වැසියාගේ සදාචාරයද, සෞඛ්‍යයද, අධ්‍යාපනයද, ආරක්‍ෂාවද, ආර්ථිකයද, ව්‍යාකූලත්වයට ගෙනු යනු ලබන්නේ ඉහත සඳහන් අධ්‍යාත්මික වටිනාකම් හිඟවීම නිසාය. නැතහොත් ශීලය හා ප‍්‍රඥාව නැති නිසාය. මේ අධ්‍යාත්මික සංකල්ප දෙක රටක් ගොඩ නැගීමට ඇති යෝධ දොඹකර දෙකක් ලෙස සලකා ගත යුතුව ඇත.

ශීලය යනු විනය යි. එනම් හික්මීමයි. නැතහොත් තමා විසින් තමා පාලනය කර ගැනීමයි. තමා පාලනය කර ගැනීමේදී “තමා” යනු කවරෙක් දැයි වටහා ගත යුතුව ඇත. “තමා” යනු නාම රූප දෙකයි. නාම යනු සිතයි. නැතහොත් සිත හා සිතිවිලිය. රූප යනු ශරීරයයි. තමා පාලනය කර ගැනීම යනු සිත හා ශරීරය පාලනය කර ගැනීමයි. සිත පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් සදාචාරයද, සෞඛ්‍යද, අධ්‍යාපනයද, ආරක්‍ෂාවද, ආර්ථිකයද අසරණ වී යන අඳුරු බව විසින්ම තර්කානුකූලව මෙනෙහි කොට අවබෝධ කට යුතුය. එහි අනෙක් පැත්තද එබඳුමය. සිතට වහල්වීමෙන් සදාචාරයද, සෞඛ්‍යද, අධ්‍යාපනයද, ආරක්‍ෂාවද, ආර්ථිකයද, දුර්වල වී යන හැටි තේරුම් ගත යුතුය.

කෙනෙකුගේ ශීලය, විනය, මතුවන්නේ කරුණු දෙකක් නිසාය. එකක් ශ‍්‍රද්ධාවයි. අනික ප‍්‍රඥාවයි. ශීලය පිළිබඳව ඇති විශ්වාසය (ශ‍්‍රද්ධාව) නිසා කෙනෙකු සිල්වත් වෙයි. එසේම අවිනය නැතහොත් දුස්සීල භාවයේ ඇති ආදිනව මෙනෙහි කොට සිල්වත් වෙයි. ආදීනව මෙනෙහි කිරීම යනු සිතීමෙන් ලබන ප‍්‍රඥාවයි. ආදිනව දැකීම ප‍්‍රඥාවකි. (ආදිනව දස්සාව)

සිතේ හා ශරීරයේ එකතුවට මම යන අදහස භාවිතයට ගෙන ඇත. තමා විසින් තමා පාලනය කැරගැනීමේදී සිතද ගතද පාලනය කර ගැනීමට සිදුවේ. ගතද සිතද පාලනය කරගැනීමට සිදුවේ. ගතද සිතද පාලනය කරගැනීම යනු ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සුදුස්සෙකු වීමය. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සුදුස්සෙකු කිරීමය. මානසික ශික්‍ෂණයේ උපරිම තලය ප‍්‍රඥාව ලෙස නම් කළ හැකිය.

සමාජයේ ඇතුළත පිටත අවුල්ව තිබෙන මේ යුගයේ එය විසඳීමට නිරවුල් කිරීමට විනය සහිත ප‍්‍රඥාව සහිත පුද්ගලයෙකු අවශ්‍යව පවතී.

“පඤ්ඤා නුයාතං විරියං වදන්ති
සම්මත්ථි සිද්ධි ගඟහණ ගහත්ථං”

ප‍්‍රඥාව අනුව ගිය වීර්ය ඇති පුද්ගලයාට සියලු අරමුණු සාක්‍ෂාත් කළ හැකි බව ඉන් කියවේ. වරක් බුදුරජාණන් වහන්සේ වදාළේ ප‍්‍රඥාව මිනිසාට මැණිකක් වන බවයි. “ප‍්‍රඤ්ඤා නරානං රතනං”

චින්තාමය ප‍්‍රඥාව වැඩි දියුණු කිරීමේදී බුදුදහම කදිම අත්වැලක් ඊට සපයයි. “නිසම්ම කාරිනො” යනුවෙන් පෙන්වන්නේ එම අත්වැලයි. නිස්සම්ම කාරි යන්නෙහි තේරුම තමාගේ සියලු කි‍්‍රයාකාරකම් වලට ඊළඟ මොහොතේ සිට ලැබෙන ප‍්‍රතිඵල ගැන විමසා ඊට ලැබෙන ප‍්‍රතිඵල හොඳනම් පමණක් එය කි‍්‍රයාවට නගන ලෙසයි. අප බොහෝ දෙනා “කි‍්‍රයාව“ තනි කරනු ලබන බව පෙනේ. කි‍්‍රයාව තනිකළ යුත්තක් නොවේ. එය නිදැල්ලේ තිබිය යුත්තක් නොවේ. එය සකී‍්‍රය වීමට පෙර ප‍්‍රතිඵල ගැන විමසා බලා සූදානම් පමණක් නම් කි‍්‍රයාවට නගන ලෙසද බුදුදහම උපදෙස් දෙනු ලබයි. මේ කරුණු සලකා බැලීමෙන් මෙලොව යහපත පරාලොව යහපත හා ආත්ම විමුක්තිය උදාකර ගැනීමට ප‍්‍රඥාව කොතරම් අවශ්‍යද යනු පැහැදිලිය. බුදුවරු මිනිසුන්ට දෙනු ලබන හොඳම තෑග්ග වන්නේ ශීලය හා ප‍්‍රඥාවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා