ජීවිතය හා යථාර්ථය

ජීවිතය හා යථාර්ථය

සැබෑ චරිතයක මුහුණු දෙකක් තිබෙන්නට බැරිය. එහි ඇත්තේ සැබෑ මුහුණකි. එක චරිතයකි. බොහෝ විට තමන් මතුවීමට ජනප‍්‍රියවීමට පින් කරන අය ද සමාජයේ බහුලය. මෙහි මුඛ්‍යාර්ථය වන්නේ තමන් මහා දානපතියකු හෝ දානපතිනියක් ලෙස ද සියලු කෙලෙස් ප‍්‍රහීණ කළ තැනැත්තකු හෝ තැනැත්තියක් බව හුවාදැක්වීමට ය. මෙය එක් අතකින් අර්ථ ශුන්‍ය වෑයමකි.

නුෂ්‍ය ආත්මයක් ලබන්නේ ඉතාම කලාතුරකිනි. එය උපමා කරන්නේ කනකැස්බා විය සිදුරෙන් අහස බලන්නාසේ යන්නට ය. ඉතාම අමාරුවෙන් ලබාගන්නා මේ ජීවිතයේ යථාර්ථය අප හොඳින් තේරුම් ගන්නේ ද. එම ජීවිතයෙන් නික්මෙන්නට උත්සහගන්නේ ද, සමාජය දෙසට බලන විට නම් බොහෝ අය මේ ජීවිතය තේරුම් ගෙන නැති බව පෙනේ.

ජීවිතය හා මනුෂ්‍යත්වය යනු එකක් නොව දෙකකි. බොහෝ අය සිතන්නේ එකක් ලෙසය. එහෙත් එය දෙකකි. ජීවිතයෙන් මනුෂ්‍යත්වය මතුවන්නට නම් මිනිස්කම් රැකිය යුතුය. මානුෂික ගුණාංග මත පදනම් වූ ජීවිතයේ යථාර්ථය තත්ත්වාකාරයෙන් අවබෝධ කරගත යුතු ය. සමාජයේ බොහෝ අය තේරුම් නොගන්නේත් මෙයයි.

ජීවිතයට යා යුතු අන්තයක් ඇත. ඒ අන්තය බුදුරදුන් හැඳීන්වූයේ ‘මැදුම් පිළිවෙත’ හෙවත් ‘මධ්‍යම ප‍්‍රතිපදාවයි’. යමක දැඩිව එල්බ නොගෙන මැදහත් සිතින් යුතුව කි‍්‍රයාකළ යුතුය. අන්තවාදී නොවී, ආධානග‍්‍රාහීව ද නොවී, ගතානුගතිකව ද නොසිතා අදීන ප‍්‍රතිපත්ති රටාවක් අනුගමනය කළ යුතු ය. බුදුරදුන් මෙය හැඳින්වූයේ ‘නිදහස් සසුන් පෙත’ ලෙසිනි.

නිරන්තරයෙන් ම අප මරණය ගැන මෙනෙහි කළ යුතුය. සදාකාලික වශයෙන් ජීවත්විය නොහැකිය යන ආකල්පයේ අප පසුවිය යුතු ය. සමාජයේ බොහෝ අය සිතන්නේ සදාකාලික වශයෙන් ජීවත් වන්නට හැකිය යන්නයි. මෙයට මූලික හේතුව මෝහයයි. බලය පතුරවන්නට, ලොව පවතින සියලු දෑ තමන් සන්තක කරගන්නට යත්ත දැරීමෙන් සිදුවන්නේ තණ්හාව තවදුරටත් පොදි බැඳ ගැනීමකි.

අනුන් හෙළාදැකීම

තණ්හාව - ක්‍රෝධය- වෛරය – ඊෂ්‍යාව - අනුන් හෙළා දැකීම – අන් අයට මතුවන්නට ඉඩ නොදී යටපත් කිරිම - බොරුව - කේලම - සොරකම් කිරීම – වංචාව - භේද කිරීම යන නරක ගුණාංග නිසා ජීවිතය යටපත්වේ. මනුෂ්‍යත්වය මතුනොවේ. අයහපත් දේවලට වඩා යහපත් දේ ජීවිතයෙන් වර්ණවත් විය යුතු ය. මානුෂික ගුණාංග මතුවන්නේ එවිටය.

‘තමන්ගේ තරම දැනගන්නට නම් කැඩපතක් සමීපයට යන්න’ යනුවෙන් කියුමක් ඇත. ජීවිතයෙන් ප‍්‍රසාදිත ලක්ෂණය මතුවන්නේ ද යන්න සම්බන්ධව හොඳ තක්සේරුවක් ඒ මගින් කළ හැකිය.

අපට කළ හැකි හොඳම දෙය තමයි ‘සිනහවෙන්’ කවුරු හෝ පිළිගැනීම. මේ සඳහා කිසිදු මුදලක් වැය නොවේ. එහෙත් බොහෝ අය සිනහසෙන්නට ද ඇකැමැතිය. මෙයින් මතුවන්නේ පුද්ගල චෛතසිකයේ පවත්නා රළු ස්වරූපයයි. සිනහවෙන් මුළු ලොවක් අපට අල්ලාගත හැකිය. ඒ හේතුව නිසාම බරෙන් අපට නිදහස් විය හැකිය.

දාන පාරමිතාව

බුදුරදුන් දස පාරමිතා ධර්මයේ දී ‘දාන පාරමිතාව‘ මුලට යෙදුවේ දන් දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකි නිසා ය. මෙය මැදටත් නොදමා අගටත් නොදමා මුලට යෙදුවේ දීමෙන් තමන් කෙරෙහි පවතින තෘෂ්ණාව දුරුවන හෙයිනි. අන් අයට දිය යුතු ය. තමන්ට හැකි ප‍්‍රමාණයෙන් යමක් දීම තමයි අපේක්ෂාව විය යුත්තේ.

යමකුට යමක් දීමෙන් තමන්ට කිසියම් සතුටක් ලැබිය හැකිය. ඒ සතුට අසීමිතයි. පුන පුනා සතුටුවිය හැකිය. ඒ අනුව තවත් දීමට පෙළැඹේ.

ජීවිතය යනු පොදු වස්තුවකි. සර්වනාමයකි. මනුෂ්‍යත්වය යනු ඒ සර්වනාමයෙන් මතුවන ලක්ෂණයි. ජීවිතය ඔපවත් වන්නේ, වර්ණවත්වන්නේ එම ජීවිතයෙන් මතුවන ගුණාත්මකභාවය මතය.

දෙබිඩි චරිත

බොහෝ ජීවිත දෙබිඩි නැත්නම් චරිත දෙකක් බවට පත් වී ඇත. මතුපිටින් මතුවන චරිතයට වඩා ඉඳුරාම වෙනස් චරිතයක් අභ්‍යන්තරයෙන් මතු වේ. මතුපිටින් සාධුත්ව චරිතයක් මතු කළ ද අභ්‍යන්තර චරිතය දුෂ්ඨ, ජඩ ගති ලක්ෂණවලින් උපයුක්තය. මෙවන් චරිත සමාජය රැවටීමටත් වඩා තමන් රවටා ගැනීමකි. මේ චරිත මෙලොවටත්, පරලොවටත් ඵලක් නොමැත.

සැබෑ මුහුණ

සැබෑ චරිතයක මුහුණු දෙකක් තිබෙන්නට බැරිය. එහි ඇත්තේ සැබෑ මුහුණකි. එක චරිතයකි. බොහෝ විට තමන් මතුවීමට ජනප‍්‍රියවීමට පින් කරන අය ද සමාජයේ බහුලය. මෙහි මුඛ්‍යාර්ථය වන්නේ තමන් මහා දානපතියකු හෝ දානපතිනියක් ලෙස ද සියලු කෙලෙස් ප‍්‍රහීණ කළ තැනැත්තකු හෝ තැනැත්තියක් බව හුවාදැක්වීමට ය. මෙය එක් අතකින් අර්ථ ශුන්‍ය වෑයමකි.

බුදුසමය මූලිකත්වය දෙනු ලබන්නේ ‘ආමිස පූජාවට’ නොව ‘ප‍්‍රතිපත්ති පූජාවටය.’ තමන් කරන දේ න්‍යායාත්මක නොව ප‍්‍රායෝගික විය යුතු ය. සැබෑ මානුෂිකත්වයෙන් මතුවන්නේ ත්‍යාගශීලිත්වයයි. සර්ව සාධාරණ හා යුක්තිගරුකභාවය ජීවිතයක කැඩපත වේ.

පරමාදර්ශිබව

තමන්ගේ ජීවිතය සෙස්සන්ට පරමාදර්ශිවිය යුතු ය. එම ජීවිතයෙන් උකහාගත යුතු කරුණු බොහෝ තිබිය යුතු ය. සමාජයේ සෙස්සන්ට ආදර්ශයක්වනසේ තමන් ජීවත් විය යුතුය.

ජීවිතයේ ස්වභාවය, ස්වරූපය මැනවින් අවබෝධකොටගත් තැනැත්තා ගැඹුරු ජලයමෙනි. පිරුණු කළයක් සෙලවෙන්නේ නැත. සෙලවෙන්නේ හිස් කළයයි. නොගැඹුරු මුහුද නිතරම චංචලවේ. ගැඹුරු වූ මුහුද එසේ චංචලවන්නේ නැත. මානුෂීය ගුණාංගවලින් යුක් ජීවිතය ඉතාම තැන්පත්, ඉවසීමේ ගුණයෙන් උපයුත්තය.

ජී – වි – ත – ය යන අක්ෂර හතරෙන් සුසංයෝග වූ වදනින් මතුවන්නේ පෘථුලාර්ථයකි. පෘථුලාර්ථ දනවන මේ වදන පාදක කරගෙන වෙළුම් කිහිපයකින් සමලංකෘත මහා ග‍්‍රන්ථයක් ලිවිය හැකි ය. එතරමට ම එම වදන සුගැඹුරු ය.

‘ජී’ යන අක්ෂරයෙන් ගම්‍යවන්නේ ජීවන දෘෂ්ටියයි. ජීවිතය දෙස ගැඹුරින් නෙත් හෙළීමයි. මිනිසා අතින් සිදුනොවන්නේත් මෙයයි. පෘථුලාර්ථ ලෙස බැලිය යුතු ව තිබිය දී සරලාර්ථව බැලීමෙන් සිදු වී ඇත්තේ ජීවිතය තව තවත් ආපස්සට පියනැඟීමය. ඉදිරියට යා යුතු ජීවිතය ආ පස්සට යාම ජීවිතය හෑල්ලුවට ලක්කරන්නකි. ජීව ගුණය, ජීවාත්මය, ජීවනෝපායයන්, ජීවාන්තය යනාදි වශයෙන් මෙය විවරණය කළ හැකි ය.

‘වි’ යන්නෙන් අර්ථ නිරූපණයවන්නේ විඥානයයි. ජීවිතයට එබී බලන්නට ඥානයක් තිබිය යුතු ය. එසේ නොමැති නම් පුද්ගලයා මංමුළාවේ. අනවරතයෙන් ම යා යුතු මඟ නොදැන නිෂ්කී‍්‍රය චරිතයක් බවට පත්වේ. එබැවින් පුද්ගලයා කෙරෙහි විඥානයක් නිරන්තරයෙන් ම තිබිය යුතුය.

‘ත’ යන්නෙන් නිරූපිතවන්නේ තත්ත්වාකාරයයි. ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. යථාවබෝධ ඥානයක් පුද්ගලයා කෙරෙහි අනිවාර්යයෙන් ම තිබිය යුතු ය. එවැන්නක් නොවුණහොත් ජීවිතයෙන් ජය ගැනීමට නොහැකිවේ. සදාකාලික වශයෙන් ජීවිතය පරාජයට පත්වේ.

යහපත් අංග

‘ය’ යන අක්ෂරයෙන් විදහාපාන්නේ යහපත් අංග ජීවිතයට ඇතුළත් කර ගැනීමයි. යහපත හා අයහපත යනුවෙන් දෙකොටසකි. මේ දෙකොටසින් මතුවන්නේ, මතුවිය යුත්තේ යහපතයි. යහපත් ගුණාංගවලින් ජීවිතය පෝෂිත කළ යුතු ය. අයහපත් දේ ඉවතලා යහපත් දේ පමණක් ඈඳ්‍ර ගත යුතුය.

අප බොහෝවිට යත්ත දරන්නේ අන් අයගේ දෝෂ සෙවීමට ය. තමන් කෙරෙහි දෝෂ සමුදායයක් තිබිය දී අන් අයගේ දෝෂ සෙවීමට පෙළඹීම දුර්වලකමකි. තමන්ගේ අඩු පාඩු අකා මකාගන නිවැරැදි මාර්ගයේ යාමට නිතරම උත්සුක විය යුතු ය. අන් අය ගැන සොයන්නට යොදවන කාලය තමන් ගැන සොයන්නට යෙදවිය යුතු ය. එයයි ප‍්‍රඥාගෝචර කාරිය.

නිවන් මඟට පිවිසෙන්නට තමන් උත්සහ ගත යුතු ය. අන් අයට තමන් නිවන් මඟට ප‍්‍රවේශ කළ නොහැකි ය. එය තමා විසින් ම කළ යුතු කාරියකි. භවය කෙමෙන් කෙටිකර ගත යුතුව තිබිය දී දිගු කරගන්නට යොමුවන්නේ ජීවිතය යථාර්ථයෙන් පසක්කොට නොගත් අයයි.

වැරැදි මාර්ග වෙත ගොස් අවසානයේ කනස්සල්ලට පත්වන්නේ අපම ය. නිවැරැදි මාර්ගයේ ගිය හොත් ජීවිතයට සතුටක්, සැනසිල්ලක් අත්වේ.

නෙළුම මඩෙහි හටගත්ත ද මඩ හා නොගෑවී මඩෙන් ඉස්මතු වී පිපේ. එහි ප‍්‍රභාෂ්වර තත්ත්වය විදහාපායි. මනුෂ්‍යත්වය ද එසේ මැයි. මිනිසුන් අතර ජීවත්වුව ද නෙළුම නැත්නම් අරවින්දය මෙන් මිනිස් සමාජයෙන් මතු වී ජීවත්වීමට පරමාර්ථකොට ගත යුතු ය.

සැබෑ බෞද්ධයා

බෞද්ධයා හා සැබෑ බෞද්ධයා වශයෙන් දෙවර්ගයකි. බෞද්ධකම නමට පමණක් ආවේණික වූ අය අතින් ජීවන දෘෂ්ටිය මනුෂ්‍යත්වය, යථාවාදි අයුරින් ගම්‍යවේදැයි සැකසහිතය. නිහඬ නිසල ජීවන මාර්ගය යා යුතු අන්තය කුමක් ද යන්න දැනගෙන දිවිගෙවයි. පින්කරන්නේ ලොවට දකින්නට නොවේ. සමාජයේ බහුතරයක් පින්දහම් කරන්නේ ප‍්‍රසිද්ධිය පතා ය. සැබෑ බෞද්ධයන් පින් කරන්නේ අප‍්‍රකටවය. මෙයයි සැබෑ බෞද්ධයාගේ ගතිලක්ෂණ.

පන්සල් යා යුතු ද, සිල්ගත යුතු ද, බුදුරදුන්ට මල් පිදිය යුතු ද, සුවඳ දුම් ඇල්ලිය යුතු ද, බුදුරුව තනා එයට නමඳින්නට කියා නියතයක් නොමැත. සියල්ල තැන්පත් වී ඇත්තේ සිතෙහිය. සිත පිරිසුදු නම්, පාරිශුද්ධභාවයෙන් යුක්ත නම් තමන්ගේ ජීවිතය පිළිබඳව බිය විය යුතු නැත.

තමා කවරෙක් ද, කළ යුත්තේ කුමක් ද. යන්න සම්බන්ධයෙන් මනාවබෝධයක් පුද්ගලයා කෙරෙහි තිබිය යුතු ය. එවන් අවබෝධයක් නොවූ කළ මංමුළාවේ. ඒ අනුව ජීවිතයට අරමුණක් නොමැති ව අයාලේ යාමක් ඇතිවේ. ඒ අනුව මනුෂ්‍යත්වය මතුනොවේ.

ජීවිතය හා යථාර්ථය අතර පවත්නා සමමිතිකභාවය මතයි භවයේ සරුඵල ගෙනදෙන්නේ. ආත්මය නැත්නම් භවය කෙබඳු ස්වරූපයක් ගන්නවාද යන්න තීරණය කරන්නේ පුද්ගලයාගේ විඥානයයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා