ඉන්ද්‍රිය ගුත්තද්වාරය

ඉන්ද්‍රිය ගුත්තද්වාරය

භාරතයේ බුදුන්වහන්සේගේ පහළ වීමත් සමග, බුදුදහමද ඇතිවිය. ලෝකය පිළිබඳ යථා තතු අවබෝධ කිරීමෙන් සිදුවන්නේ පුද්ගලයාගේ දුක නැතිකිරීමෙන් විමුක්තිය ලැබීමයි. බුදුන්වහන්සේ හා ශ‍්‍රාවක භික්ෂු පිරිස, සත්ත්වයාගෙන් යථා තතු දැකීමේ මහඟª ධර්මය ප‍්‍රචලිත කිරීමට ගම්, නියම්ගම්වල ගමන් කරමින් වෙහෙස මහන්සි විය. බුදුදහමේ විමුක්තිය ලැබීමට පුද්ගලයෙකුට තමන් විසින්ම කළ යුතු, පිරිය යුතු ධර්මයන් ඇත. යහපත් දේ පූරණය කිරීමත්, අයහපත් දේ බැහැර කිරීමත් සිදුකළ යුතුය. මේ සියලුම ධර්ම ඉඳුරන් මගින් අප වෙත ඇතුළු වෙයි. මෙසේ ඇතුළුවන ධර්මයෙන් සිත අසංවර භාවයට පත්වේ. මෙහිදී අප මුලින්ම ඉඳුරන් යනු කවරේදැයි විමසා බැලීම වටී.


ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහෝපාධ්‍යය, මලිදුව
විමලවංශ හිමි

බුදුදහමේ භෞතික වශයෙන් ඇස, කණ, දිව, නාසය, ශරීරය වශයෙන් පහක්ද, මනස වශයෙන් අධ්‍යාත්මිය ඉන්ද්‍රියයක්ද පෙන්වා දී ඇත. මෙම ඉඳුරන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර අරමුණු සමග ගැටීම් මත සිතක අසංවර භාවය ඇතිවෙයි. මේ පිළිබඳව මජ්ම නිකායේ මධුපිණ්ඩික සූත‍්‍රයේ මෙසේ උගන්වයි.

“චක්කුඤ්චාවුසො පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සො පස්ස පච්චයා වේදනා යං වේදෙති තං සංජානාති යං, සජ්ජානාති තං විතක්කෙති යං විතක්කෙති තං පපඤ්චෙති”

ඇවැත්නි, ඇසත්, රූපයත් හේතුවෙන් චක්ඛු විඤ්ඤාණය ඇතිවේ. ඒ දෙදෙනාගේ එකතුවෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශයෙන් බිඳීම ඇතිවේ. යමක් විඳීද එය දකී. යමෙක් දකීද එය විතර්ක කරයි. යමෙක් විතර්ක කරයිද එය ප‍්‍රපංචකරයි. (කෙලෙස්)

කණ, දිව, නාසය, ශරීරය පිළිබඳව මෙසේ කෙලෙස් ඇතිකිරීමෙන් ඉඳුරන්ගේ අසංවර භාවය ඇතිවෙයි. මෙසේ අසංවර භාවයට පත් පුද්ගලයා දුක් ස්පර්ශ කර, සංසාරයේ දිගින් දිගටම ගමන් කරයි. මෙය සත්‍යයේ ඇති ස්වාභාවික ගුණයකි. බුදුදහම කියන්නේ, විමුක්තිය ලැබීමට ප‍්‍රධාන ලෙස ඉඳුරන් සංවර කරගත යුතු බවයි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වනුයේ, ඉඳුරන්ගේ සංවරභාවය පිළිබඳ අවබෝධය ලබාදීමයි.

“කායෙන සංවරෝ සාධූ
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධූ”

මෙම ගාථා පදයන්ද විවරණය කිරීමේදී, කායෙන සංවරෝ සාධූ මෙම පදයේ ඇස, කණ, නාසය, දිව, ශරීරය යන අංශවලින් ගනු ලබන රූපාදී අරමුණු පිළිබඳ තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් ගැනීම තුළ ප‍්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය ආදී කායික අසංවර භාවය ඇතිකිරීමට බලපායි. වාචා සිත සංවරයටද, ඉඳුරන් බලපාන ආකාරය විමසීමේදී අප ඉඳුරන් මගින් ගනු ලබන අරමුණ පිළිබඳ ඇලීමෙන් ඇතිවන කෙලෙස් ධර්මයෙන් ප‍්‍රිය වස්තූ පිළිබඳ මමය, මාගේය යන ආත්මවාදී හැඟීම් ඇතිකර ගනියි. මේ කෙරෙහි තමා ලැබූ ප‍්‍රිය වස්තුව වෙනත් කෙනෙකු අයිතිකර ගැනීමට පෙළඹුන විට, පරුෂ වචනද තමා ආසාකරන වස්තුව ලැබීමට කේලාම් කීම ආදියෙන් වචන අසංවර භාවයට පත්වෙයි. ඉඳුරන් මාර්ගයෙන් මනසට ඇතුළුවන යහපත් දේ සහ අයහපත් දේ මඟින්, සිතේ නොසන්සුන්, අසංවර භාවය ඇතිවේ. මෙය ඉතා වේගයෙන් අප ඉඳුරන්හි ඇතිවන කි‍්‍රයාවලියකි.

සත්ත්වයාගේ සහ ඉඳුරන්ගේ අසංවර භාවය නැතිකර විමුක්තිය ලැබීමට, ඉඳුරන් පිළිබඳව යථාර්ථය දැකිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක. මෙම ඉඳුරන්ගේ යථාර්ථය නම්, ඇස ආදී ඉඳුරන් මගින් ගනු ලබන අරමුණු තුළ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන එහි ඇති අනිත්‍ය භාවය, අස්ථිර භාවය, නුවණින් දැකිය යුතුය. මෙම කියමන බුදුන් වහන්සේ “දාරුචීය” තවුසාට දුන් අවවාදවල ගැබ්වේ.

“දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සතී
මුතෙ මුත මත්තං භවිස්සතී
සුතෙ සුත මත්තං භවිස්සතී
විඤ්ඤාණෙ විඤ්ඤාණ මත්ථං භවිස්සතී”

ඇසින් දුටු දේ දැක්වූ දෙයක් පමණක් ලෙසද, දැනුන දේ දැනීමක් පමණද, ඇසූ දේ ඇසූ පමණටම හික්මිය යුතු බවය.

පුද්ගලයෙකු දුකට පත්වීමට, තමා දුටුදේ ස්ථිර ලෙස බැඳගැනීමත්, ඇසුන දේ ආදිය පිළිබඳව තෘෂ්ණා, දෘෂ්ටි ලෙස බැඳගැනීමත් හේතු වෙයි. තම දහමේ උගන්වන ආකාරයට, පුද්ගල මානසික, වර්ගයේ මූලාරම්භය වන, සිහිය පිහිටුවීමට ප‍්‍රබල ලෙස උපකාරී වේ. ආර්ය තත්ත්වයට පත්වීම අපේක්ෂා කරන පුද්ගලයකු විසින් තම ඉඳුරන්ගෙන් ලැබෙන ආරම්මනයන්, පිළිබඳව සිහියෙන් යුතු විය යුතුය.

මේ ආකාරයට සිහියෙන් යුතු වූ විට හොඳ දෙය නරක දෙයින් වෙන්කර ගැනීමට හැකියාව ලැබෙයි. එවැනි පුද්ගලයාට පමණයි, නිවන නැමැති ක්ෂේමභූමියට යාමට හැකියාව ඇත්තේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා