දැයට කිරුළ විවෘත පාපැදි තරගය හෙට ඇරැඹේ

දැයට කිරුළ විවෘත පාපැදි තරගය හෙට ඇරැඹේ

දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයට සමගාමීව කී‍්‍රඩා අමාත්‍යංශය කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරන විවෘත රේසිං පාපැදි සවාරි මේ මස 5 වැනි දින පෙරවරු 8.00 ට පිළියන්දල පොලිසිය ඇසළින් ආරම්භ වෙයි.

මුදල් අමාත්‍යංශයේ සංවර්ධන ලොතරැයියේ අනුග‍්‍රහය ඇතිව පැවැත්වෙන මෙම විවෘත රේසිං පාපැදි තරගය “දැයට කිරුළ ජාතික පාපැදි සවාරිය” ලෙසින් නම් කැර තිබේ.

අදියර තුනකින්

මෙම පාපැදි සවාරිය අදියර තුනකින් යුතුව දින තුනක් තිස්සේ පැවැත්වෙයි. පළමු දිනයේ තරග අදියර දෙකකින් යුතුව පැවැත්වෙයි. හෙට (5) පෙරවරු 8.30 කී‍්‍රඩා අමාත්‍ය ගාමිණි ලොකුගේ සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහත්වරුන්ගේ ආරම්භක සංඥාවෙන් පිළියන්දලින් ආරම්භ වෙන තරගය මොරටුව, කටුකුරුන්ද, කළුතර පුරන්අප්පු උද්‍යානය දක්වා සාම ගමනක් ලෙස පැවැත්වීමට නියමිතය.

මොරටුවෙන් නිල වශයෙන් ආරම්භ වෙන තරගය පාණදුර, කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල පසුකරමින් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිටින් පළමු අදියර ලෙසින් අවසන් වෙයි. නැවත සවාරියේ පළමු දිනයේ දෙවැනි අදියර කොග්ගලින් පස්වරු 2.30 ට ආරම්භ වී මාතර, දෙවුන්දර, කැකුලුගමුව ඔස්සේ තංගල්ල දක්වා පැවැත්වීමට නියමිතය. පළමු අදියරේ දුර කි. මී. 181.4 කි.

දැයට කිරුළ විවෘත පාපැදි සවාරියේ දෙවැනි අදියර පෙබරවාරි 6 වැනි දින තංගල්ල බස් නැවතුම්පළ අසලින් පෙරවරු 7.00 ට ආරම්භ වෙන අතර නෝනගම, තුංකම, උඩවලව, ඇඹිලිපිටිය, කහවත්ත, පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ ඔස්සේ අවිස්සාවේල්ල දක්වා පැමිණීමට නියමිතය. එදින තරගයේ දුර කි. මී. 154.2 කි.

දැයටකිරුළ පාපැදි සවාරියේ තෙවැනි සහ අවසන් අදියර 7 වැනි දින පෙරවරු 7.00 ට අවිස්සාවේල්ල තානායම අසලින් ආරම්භ කර තල්දූව ඔස්සේ රංජිත් සියඹලාපිටිය ඇමැති කාර්යාලය අසලට පැමිණෙයි.

ඉන් අනතුරුව තරගය රුවන්වැල්ලේ සිට ආරම්භ වී කොටියාකුඹුර, ගලිගමුව, තෝලංගමුව, වරකාපොල, පස්යාල, නිට්ටඹුව, කඩවත පසුකර පෑලියගොඩ පොලිසිය අසලින් නිමාවට පත් වේ.

දැයට කිරුළ පාපැදි සවාරියේ සමස්ත ජයග‍්‍රාහක පැපැදි ශූරයාට සංවර්ධන ලොතරැයියේ අනුග‍්‍රහයේ මුදලින් රුපියල් එක්ලක්‍ෂ විසිපන්දහසක් ද, දෙවැන්නාට ලක්‍ෂයක් ද, තෙවැන්නාට හැත්තෑපන්දහසක් ද, සිව්වැන්නාට පනස්දාහක්ද, පස්වැන්නාට හතළිස්දාහක් ද, හයවැන්නාට තිස්දාහක් ද, හත්වැන්නාට විසිදාහක් ද, අටවැන්නාට පහළොස්දාහක් ද, නවවැන්නාට දහදාහක් ද, දහවැන්නාට හත්දහස් පන්සියයක් ද, මුදලින් තිළිණ පිරිනැමේ.

අදියර ජයග‍්‍රාහකයින්ට රුපියල් පන්දහසක්, තුන්දහසක් සහ දෙදහසක් බැගින් ද කණ්ඩායම් සුරයන්ට රුපියල් දහදාහක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් රථවාහන පොලිසියේ සහයෝගයෙන් මෙම දැයට කිරුළ පාපැදි සවාරිය පැවැත්වෙයි. ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනයේ පාපැදි තරග වර්ගීකරණයට අයත් සුපිරි තරගකරුවන්ට සහ බලපත‍්‍රලාභී රේසිං තරගකරුවන්ට මෙම තරගය විවෘත වෙයි. තරගයට සහභාගි වෙන සියලුම තරගකරුවන් 5 වැනි දින උදේ 7.30 ට තරග ආරම්භයට වාර්තා කළ යුතු බව පාපැදි සම්මේලනය පවසයි.

නම් දැරූ පාපැදි සූරයන්

මෙම පාපැදි සවාරිය සඳහා ජාතික මට්ටමේ සිටින සුපිරි පාපැදි තරගකරුවන් සියලු දෙනාම වාගේ සහභාගි වීමට නියමිතය.

තරග අදියර තුනේම ස්පි‍්‍රන්ට් ජයග‍්‍රහණ හයක් නම් කර ඇති අතර තරගය දින තුනේදීම වේගවත් රටාවක් ගනු ඇතැයි පාපැදි සම්මේලනය සඳහන් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා