ක්‍ෂේත‍්‍ර ආඥාපතීන්


 ක්‍ෂේත‍්‍ර ආඥාපතීන්

 

 

“මගේ අනුප‍්‍රාප්තික හමුදාපතිවරයාට
මේ යුද්ධය කිසිසේත් ඉතිරි නොකරමි”

ශ‍්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජෙනරාල්
සරත් ෆොන්සේකා
 

මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, යාපන බල සේනාවේ හිටපු ආඥාපති. 2008 දෙසැම්බර් දක්වා බල සේනා මෙහෙයවන ලදී.


මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය, වන්නි බලසේනා ආඥාපති. වන්නිය මුදාගැන්මේ මෙහෙයුමට නායකත්වය දුනි.


මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ, යාපන බලසේනාධිපති. ති‍්‍රකුණාමලයේ 22 වැනි සේනාංකය මෙහෙයවමින් මාවිල්ආරු හා සාම්පූර් සටනේ ආඥාපති ලෙස කටයුතු කරන ලදී. 2008 දෙසැම්බර් මස යාපන බල සේනා ආඥාපති ලෙස පත්කරන ලදුව මුහාමලෙයි කිලාලි සිට අලිමංකඩ චුන්දිකුලම් දක්වා ප‍්‍රදේශ අත්පත් කැර ගැන්මට නායකත්වය ලබා දුනි.


මේජර් ජෙනරාල් ජගත් ඩයස් - බි‍්‍රගේඩියර් සුමිත් මානවඩුගෙන් පසු 2007 මැද භාගයේදී 57 වැනි සේනාංකයේ බල සේනාධිපති ලෙස පත් කරන ලදී. පසුව මේජර් ජෙනරාල් ධූරයට උසස් කරන ලද ඔහු 57 වැනි සේනාංකය මෙහෙයවමින් මාදු, පලම්පිඩ්ඩි, පෙරියමාදු, තුනුක්කල්, මල්ලාවි, අක්කරායන්කුලම්, ඉරණමඩු, කිලිනොච්චි, රාමනාදන්පුරම් හා විශ්වමඩු ජයග‍්‍රහණයන්ට උර දුන්නේය.


බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න – 53 වැනි සේනාංකාධිපති. මුලදී යාපනයේ 55 වැනි සේනාංකාධිපති විය. මුහාමලේ, කිලාලි කොටි ඉදිරි ආරක්‍ෂක වලල්ල පල්ලායි ඉයාකච්චි හා අලිමංකඩ අල්ලා ගැනීම සඳහා ඔහු 53 වැනි සේනාංකය මෙහෙයවීය. 2009 දී ඔහුගේ නායකත්වයෙන් 53 වැනි සේනාංකය මාන්කුලම්වලට යැවිණ.


බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත – 59 වැනි සේනාංක ආඥාපති. 2008 ජනවාරියේ වැලිඔය මෙහෙයුම්වලින් පසු ඔහු කොටි බලකොටුවක් වන මුලතිව් අල්ලා ගැනීමේ සටන් මෙහෙයවන ලදී. මීට කලින් ඔහු 57 වැනි සේනාංකයේ නියෝජ්‍ය ආඥාපති විය. 59 වැනි සේනාංකය එල්. ටී. ටී. ඊ. යේ සුප‍්‍රසිද්ධ වන් ෆෝ බේස් සංකීර්ණය ඇතුළු මුලතිව් වන බිමත්, තන්නිමුරුප්පුකුලම්, නයාරු, කුමුලාමුනෙයි, අලම්පිල්, මුලියාවලි හා තන්නියුට්ටු ප‍්‍රදේශත් අල්ලා ගන්නා ලදී.


බි‍්‍රගේඩියර් චාගි ගාල්ලගේ – කාර්ය සාධක බලකායේ සේනාධිපති ලෙස 2007 දී නැඟෙනහිර තොප්පිගල හා මන්නාරම් සිලාවතුරෙයි මුදාගැන්මේ සටන් මෙහෙයවීය. දැන් ශී‍්‍ර ලංකා හමුදාවේ පුහුණු කටයුතු අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරයි.


බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා - පසුකලෙක 58 වැනි සේනාංකය බවට පත්කරන ලද කාර්ය සාධක බලකාය 1 මෙහෙයවමින් මන්නාරමේ “සහල් බඳුන” ප‍්‍රදේශය ඇතුළු සමස්ත මන්නාරම් දිස්ති‍්‍රක්කයම මුදාගත් අතර 2007 සැප්තැම්බර් මෙහෙයුම්වලින් විදතලතිව් ඉල්ලුපක්කඩවායි වෙල්ලාන්කුලම් ප‍්‍රදේශ මුදාගන්නා ලදී. ඉන්පසු 58 වැනි සේනාංකය මුලන්ගාවිල්, පුනරින් හා පරන්තන් ජයග‍්‍රහණ අත්පත් කැර ගත්තේ ඔහුගේ නායකත්වය යටතේය. කිලිනොච්චි හා අලිමංකඩ ජයග‍්‍රහණ සඳහා ද 58 වැනි සේනාංකය දායක විය. ඉන් පසු එල්. ටී. ටී. ඊ. යට එරෙහි අවසන් සටනට දායක වෙමින් ඒ – 9 මාර්ගයේ නැඟෙනහිරින් පිහිටි කර්මාපුරම් හා විසුවාමදු ප‍්‍රදේශවල 58 වැනි සේනාංකය මෙහෙයවන ලදී.


බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා - වත්මන් 55 වැනි සේනාංකාධිපති නගර්කෝවිල්, චුන්ඩිකුලම්, කේවිල් වෙට්ටිලායිකර්නි ග‍්‍රහණයෙන් පසු චලායි දකුණු ප‍්‍රදේශයේ මෙහෙයුම් සිදුකරයි. 2006 හා 2007 දී සාම්පූර් හා වාකරේ හි විශේෂ බලකා සේනාධිපති ලෙස සටන් මෙහෙයවන ලදී.


බි‍්‍රගේඩියර් සුමිත් මානවඩු - 57 වැනි සේනාංකයේ පළමු සේනාධිපති 2007 පෙබරවාරියේ කල්මදු ප‍්‍රදේශයේ සිට වන්නිය මුදාගැන්මේ මුල්ම සටන මෙහෙයවීය.


බි‍්‍රගේඩියර් රෝහණ බණ්ඩාර - දෙවැනි කාර්ය සාධක බලකාය මෙහෙයවීය. 2008 මැද භාගයේදී ඕමන්තේ වයඹ දිග මන්දුමුරිප්පු මෙහෙයුම් අරඹන ලද්දේ මෙම සේනාංකයයි. එම ප‍්‍රදේශය හා පසුව පුලියන්කුලම් කනකරායන්කුලම් මුට්ටියන්කට්ටිකුලම් හා දකුණු විශ්වාමඩු අල්ලා ගත් සේනාංක මෙහෙයවීය.


බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ - තෙවැනි කාර්ය සාධක බලකාය මෙහෙයවීය. 2008 දෙවැනි භාගයේදී මාන්කුලම් වයඹ ප‍්‍රදේශයේ මෙහෙයුම් අරඹන ලදී. මාන්කුලම් ඕලුමඩු අම්පකමාම් හා ඉරණමඩු ගුවන් පථ දෙක අල්ලා ගැන්මට ඔවුහු සමත් වූහ.


කර්නල් නිශාන්ත වන්නිආරච්චි – හතරවැනි කාර්ය සාධක බලකායේ සේනාධිපති ලෙස නෙදුන්කර්නි, ඔඩ්ඩුසුඩාන් හා එම ප‍්‍රදේශයේ ප‍්‍රධාන කොටි කඳවුරු ග‍්‍රහණය සඳහා හමුදාව මෙහෙයවීය.


 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා