ජයග‍්‍රහණයේ ප‍්‍රගමනය

ජයග‍්‍රහණයේ ප‍්‍රගමනය

මාවිල්ආරු සිට මුලතිව් දක්වා

ඔබේ නෙත ගැටුණු මේ ඡායාරූප කියාපාන්නේ මාවිල්ආරු සිට මුලතිව් දක්වා ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව ගමන්ගත් ජයග‍්‍රාහී මාවතේ කතාවයි. ශ‍්‍රී ලංකා හමුදාවේ කීර්තිමත් ඉතිහාසයට එක්වන අභීත වික‍්‍රමාන්විත සටන්වලින් එය හෙබියේය.

ඒ සමඟම එය මරාගෙන මැරෙන මිනිස් බෝම්බයේ පුරෝගාමීන් මෙන්ම ලෝකයේ සාගරික හා ගුවන් ශක්තියෙන් හෙබි එකම ත‍්‍රස්ත සංවිධානය වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි නමින් හැඳින්වෙන ලෝකයේ කෲර ත‍්‍රස්තවාදී කල්ලියට එරෙහි විසි පස් වසරක සටනේ අවසන් අදියර සනිටුහන් කරන්නකි.

ෆැසිස්ට්වාදී සාහසික කල්ලියකගේ පීඩනයෙන් ජනතාව මුදාගැන්ම සඳහා හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා හමුදාව සිදුකරන මෙම මානුෂික මෙහෙයුමෙන් එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ නොහැකි බවට පැවැති මිත්‍යාව දෙදරවාලීමට හැකිව ඇති අතර ත‍්‍රස්ත මර්දන යුද ශිල්පයෙහි ලා ශ‍්‍රී ලංකා හමුදාව අතිවිශිෂ්ටයන් අතර සමතැන් ගන්නා බව ආදර්ශයෙන්ම තහවුරු කැර තිබේ.

මේ කාච සටහන් ගොනුවේ එන සෑම ඡායාරූපයක් පසුබිමේම ඇත්තේ මාතෘභූමිය වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීම ආරම්භ වූ තැන් පටන්, කිසිවිටෙකත් ආපසු නොහැරුනු, ගිනිය නොහැකි තරම්වන මිනිසුන්, ගැහැනුන්, වීරයින් හා දේශපේ‍්‍රමීන්ගේ ලෙයින් හා දහදියෙන් මෙන්ම ශක්තියෙන්, අභිත බවින්, අධිෂ්ඨානයෙන් සහ ධෛර්යෙන් පිරිපුන් කතාවකි.

මෙහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොවක් සහය ලත් ශ‍්‍රී ලංකා සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභීත නායකත්වය යටතේ අපේ ආරක්ෂක බලකායන් පුදදෙන දායකත්වය මහත් සේ අගයන අතර අපේ මාතෘභූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමට දිවිහිමියෙන් කැපවුණු සියලුම රණවිරුවන්ට මෙම රූපමය අතිරේකය පුදදීම “දිනමිණේ” එකම පැතුමයි.

ඒ සමඟම ආරක්ෂක හමුදාවන්ගේ ජයග‍්‍රහණයන් වෙනුවෙන් ඇපකැපව කටයුතු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් මාෂල් ඩොනල්ඩ් පෙරේරා, හමුදාපති, ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා, නාවික ඛ්මුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයාර් මාෂල් රොහාන් ගුණතිලක සහ පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න යන විරුවන්ට අපි හිස නමා ආචාර කරමු.

රුක්මල් ගමගේ

ඩේලිනිවුස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරුප ශිල්පියා.

මෙහිදී අප දිරිමත් කරමින් මගපෙන්වීම ගැන සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සභාපතිතුමාට හා අධ්‍යක්ෂ මණ්ඩලයට අපේ කෘතඥතාවය හිමිවන්නේ ය.

එකපිට එක ජයග‍්‍රහණ අත්පත්කර ගනිමින් අවසානයේ මුලතිව් දක්වා පැමිණි මේ මානුෂික මෙහෙයුම පුරා අපේ ඡායාරූප ශිල්පියා සමඟ අනන්ත වාරයක් යුද පෙරමුණට ගිය ‘ඩේලිනිවුස්’ ආරක්ෂක වාර්තාකරු රනිල් විජේපාල අතින් මෙම කාච සටහනේ සටහන් පෙළ ගැසිණි.

මේ කාච සටහන් සියල්ල අපේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී රුක්මල් ගමගේගේ කැමරා කාචයේ සටහන් වූ ඒවාය. ඔහුගේ අප‍්‍රතිහත ධෛර්ය හා කැපවීම නොවන්නට මෙවැන්නක් ඔබ අතට පත් නොවනු නොඅනුමානය.

මේ මනහර අතිරේකයේ සංකල්පය ඉදිරිපත් කරමින් මහත් කැපවීමෙන් එය සැලසුම් කළ අපේ සැලසුම් කර්තෘ සමන් මලලසේකරටද ප‍්‍රසාදය පළ කරමු.

ඒ සමඟම මෙම අතිරේකය එළිදැක්වීම සඳහා සහාය දුන් කර්තෘ මාණ්ඩලිකයන් මෙන්ම නිෂ්පාදන හා වාණිජ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ආධාරක සේවාවන්හි නියැලි සියලුදෙනාට තුති පුදමු.

 

 

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා