අපි අපට ආදරේ නැත

අපි අපට ආදරේ නැත

අපගේ රුධිරයෙන් තෙත් වූයුදබිම ද ආත්මය වෙලාගත් විශ්වය ද සාක්ෂි දරනු ඇත.

"අප ආදරය කරනුයේ අපට නොව රටට ය"

 

මාතෘ භූමිය නිදහස් කරගත් රණවිරුවෝ එසේ සිතති

එය කලක් සිහිනයක්ව පැවතුණි. දැන් එය සැබෑ වූ සිහිනයකි. ත‍්‍රස්තවාදය පිළිකාවක් විය. පිළිකාව බෝකල ත‍්‍රස්තවාදියා ලෝකයේ දරුණුම ගණයේ ත‍්‍රස්ත නායකයෙකි. ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා ප‍්‍රභාකරන් නම් වූ ජන ඝාතකයා විනාශ කරන්නට අපේ රණවිරුවන් මැවූ සිහිනය අද සැබෑ කරගෙන ඇත.

1975 පසු මේ රට කරවන්නට භාරගත් කිසිම රාජ්‍ය නායකයකුට ප‍්‍රභාකරන්ට එරෙහිව සටනක් දීමේ සෘජු ප‍්‍රතිපත්තියක් තිබුණේ නැත. විනිවිද භාවයක්ද නොතිබුණි. දේශීය හා ජාත්‍යන්තර බලවේගවලට යටවී සියලු මෙහෙයුම් අතරමග නතරකොට දෑත් අකුලා ගත්හ.

මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති හැටියට පත් වූ විගස තමා කෙරෙහි තමාම ලොකු විශ්වාසයක් ඇතිකර ගත්තේය. නමුත් පත්කරන නිලධාරින් ගැන දැඩි විශ්වාසයක් ඇතිව කටයුතු ආරම්භ කළේය.

ඔහුට පැහැදිලි න්‍යාය පත‍්‍රයක් තිබුණි. එම න්‍යාය පත‍්‍රය පෞද්ගලික සකස් කර ගත් එකක් නොවේ. ජාතිය වෙනුවෙන් පිළියෙළ කර ගත්තකි. වසර තිහක බිහිසුණු මිනිස් ඝාතන දේපල විනාශය රටට ආදරය කරන දේශපාලනඥයන් මහ මග මරා දැමීම සියලු ත‍්‍රස්ත කි‍්‍රයා නතර කර ගැනීමට ජනාධිපතිතුමා ප‍්‍රභාකරන්ට විවෘත ආරාධනාවක් කළේය. සාමයට අත දිගු කළේය.

එහෙත් ප‍්‍රභාකරන්ට රුධිරයම අවශ්‍ය විය. මිනිස් ඝාතන නතර කළේ නැත. මීට කලින් රට කළ අයමෙන්ම ප‍්‍රභාකරන් මහින්ද රාජපක්ෂ නම් වූ සේනාධිනායකයාද ගණන් ගත්තේ නැත. අහිංසක මිනිසුන් නොමරා තමා සමඟ මුහුණට මුහුණ කතාබහට එන්නට යළි යළිත් ඇරියුම් කළේය.

එදා මුලින්ම කළේ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය කෙරෙහි විශ්වාසයක් තැබීමය. විශ්වාසවන්ත ආරක්ෂක ලේකම්වරයකු පත්කර ගත්තේය. මෙරට ඇතැම් මාධ්‍ය උඩ පැන දඟලන්නට වූයේ ආරක්ෂක ලේකම් පදවියට ගෝඨාභය රාජපක්ෂ පත්කිරීම ගැනය. ප‍්‍රභාකරන් ගැති මාධ්‍ය ප‍්‍රභාකරන්ගේ පඩි ලැයිස්තුවේ පඩි ගත් මාධ්‍යකරුවන් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ ප‍්‍රභාකරන් ගෝඨාභයට විරුද්ධ වූයේ රණබිම හුරු සටන්වලට කැමැති මෙහෙයුම්වලට අණදුන් රණවිරු නිලධාරියකු ආරක්ෂක ලේකම් තනතුර භාර ගැනීම ත‍්‍රස්තවාදයට කොකා හැඬීමක් බව දන්නා නිසාය. රාජ්‍ය නායකයා ඊළඟට කළේ ලෝකයා දැනුවත් කිරීමය. හංගන්නට කිසිවක් තිබුණේ නැත.

ඔහු විදෙස් සමුළුවලදී සිංහලෙන් දෙමළෙන් සහ ඉංග‍්‍රීසියෙන් කතාකොට කීවේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව ත‍්‍රස්තවාදයට එරෙහිව ගන්නා පියවර ගැනයි. ත‍්‍රස්තවාදයට තේරෙන භාෂාවෙන් කතා කළ යුතු බවය. රාජ්‍ය නායකයාට තමන් ගැන තිබුණේ විශ්වාසයකි. ආරක්ෂක ලේකම් ගැන නොබිඳෙන විශ්වාසයකි. ති‍්‍රවිධ හමුදාවද එසේමය. මෙම ගමනේද පොලිස්පති සහ සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජෙනරාල් ද අමතක කළේ නැත.

බටහිර බලවේග නැගී සිටියේය. විපක්ෂ නායකයා කේලාම් කියන්නට සෝල්හයිම් මුණ ගැසුණි. ශ‍්‍රී ලංකාවට එන විදේශික නෑදෑයින් ආපසු යැවුයේ සියලු දේ ගැන දැනුවත් කරමිනි. සියල්ල සැලසුම් කලා සේ අකුරට ඉටුවිය. විදෙස් කුමන්ත‍්‍රණකාරයෝ නිරුත්තර වූයේ ආණ්ඩුවේ ගමන් මගට හරස් වී වැඩ නතර නොකරන බව දන්නා නිසාය.

රණවිරු පුතුන් මාස ගණනක් ගෙදර ගියේ නැත. සමහරු රට වෙනුවෙන් දිවිපිදූහ. තවත් අය ඇස්, අත්පා දන් දුන්හ. මාතෘභූමිය වෙනුවෙන් ඔවුන් කීවේ “අපි අපට ආදරේ නැත” කියාය. අවසානයේ සිහිනය සැබෑවිය. ප‍්‍රභාකරන් නොඑන ගමන් ගියේය. රටත් දෑස් අයා නොඉවසිල්ලෙන් බලා සිටි මොහොත උදාවිය. මාතෘභූමිය සිපගත් වැළඳගත් රාජ්‍ය නායකයා සිය දූත මෙහෙවරේ ප‍්‍රධාන අදියර නිමා කළේය. මාතෘ භූමිය නිදහස් කර ගත් ජනාධිපතිතුමාට, ආරක්ෂක ලේකම්තුමාට, ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට අපේ උත්තමාචාර මෙසේ පුද කරමු. නිහඬ සේවයක් කළ පොලිස්පතිතුමාට සහ සිවිල් ආරක්ෂක ප‍්‍රධානියාට අපේ නිහතමානී ගෞරවය පුද කරමු.

රණවිරු පුතුනි, ඔබට මේ ජනතා උත්තමාචාර..

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්